2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අධික පොලියෙන් පාරිභෝගිකයාට පොකට් ගහන ක්‍රෙඩිට් කාඩ්

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:02 165

ණය කාඩ්පත් (Credit card) පිළිබඳ යළිත් කතාබහක් ඇතිව තිබෙන්නේ බැංකු පොලී අනුපාතය විශාල ලෙස අඩු වූ පසුබිමක ක්‍රෙඩිට් කාඩ් පොලිය නොසෙල්වී සිටින නිසාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පොලී අනුපාත අඩකින් පමණ අඩු වී ඇති බව පෙනේ. මෙලෙස බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පතුවලට ගෙවන පොලිය සහ ණයකරුවන්ගෙන් අය කරන පොලිය අඩු කරන ලද්දේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අපේක්ෂාවෙනි. සාමාන්‍යයෙන් කවදත් ණය පොලිය සහ තැන්පතු පොලිය අතර වෙනස පවතින්නේ සියයට 2 – 3 ක මට්ටමේය. මේ වනවිට ණය කාඩ්පත්වල පොලිය සියයට 28 – 29 මට්ටමේ පවතී. එසේ වුවද කාඩ්පත් පරිහරණයේ වැඩිවීමක් මිස අඩුවක් දක්නට නැත. පාරිභෝගිකයන් වැඩි කොටස ග්‍රහණය කර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම මූල්‍යායතනද මේ වනවිට සමත් වී සිටී.

මුදල්වලින් ගනුදෙනු පියවීම වෙනුවට චෙක්පත් භාවිතය පුරුදු වූවා මෙන් මුදල් හුවමාරුව වෙනුවට මේ වනවිට ණය කාඩ්පත් ඉදිරියට පැමිණ තිබේ. අද වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන ප්‍රමාණය දහනමලක්ෂ තිස්හයදහස් තුන්සිය තිස්හයක් (19,36,336) බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඇතැමුන් කාඩ් කිහිපය බැගින් පරිහරණය කරන නිසා සංසරණය වන කාඩ් සංඛ්‍යාව පාවිච්චි කරන්නන්ට වඩා සියයට 20 කින් පමණ වැඩි වී තිබේ. ණය කාඩ්පත්වලින් ලැබෙන ප්‍රයෝජන කිහිපයකි.

1. ණයට ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීම
2. හදිසි මුදල් අවශ්‍යතාවකදී මුදල් ලබාගත හැකිවීම
3. අයකර ගැනීමේදී දැඩි නීති නැතිවීම
4. එක් අයකුට කාඩ් කිහිපයක් තබා ගැනීමට හැකිවීම
5. ණය කාඩ්පත් හිමියන්ට ඇතැම් බැංකුවලින් විශාල ලෙස වට්ටම් සහ ත්‍යාග වවුචර් ආදිය ලැබීම

මෙම වාසි නිසා බොහෝ දෙනකු කාඩ්පත් පරිහරණය කිරීමට පෙළඹී ඇති බව පෙනේ. ඇතැම් ගෙවල්වල සෑම සාමාජිකයකුටම ක්‍රෙඩිට් කාඩ්පත් තිබේ. බොහෝ අය කාඩ් පරිහරණය කරන්නේ ණය ලබා ගැනීමේ අරමුණෙනි. කිසිදු සුරැකුමක් නැතිව ණය ලබාදීම නිසා මෙම ක්ෂේත්‍රය ජනතාව අතර විශාල ලෙස ජනප්‍රියව තිබේ. පොලී අනුපාතය වැඩි වුවද පරිහරණය කරන්නන් ඒ ගැන නොසලකා දිගටම පාවිච්චි කරනුයේ පොලී ගෙවීම පිළිබඳ විශේෂ කොන්දේසි නැති බැවිනි. එහෙත් බැර කරන මුදල්වලින් මුලින්ම පොලිය කපා ගන්නා නිසා ණය ශේෂය අඩු නොවී දිගින් දිගටම පොලිය ගෙවීමට සිදුවේ. සාමාන්‍යයෙන් බැංකුවකින් ණය මුදලක් ගත් විට ගෙවීමේදී ක්‍රමානුකූලව මුල් ශේෂය අඩුවන නිසා ණයගැතිභාවය කෙමෙන් අඩුවෙන නමුත් ක්‍රෙඩිට් කාඩ්වල එසේ සිදුවන්නේ නැත. පොලිය ගෙවීම ප්‍රමාද වන විට දඩ පොලියක්ද ගෙවීමට සිදුවන නමුත් කාඩ්පත් හිමියා ඒ පිළිබඳ දැනුවත් වීමක් සිදුවන්නේ නැත.

මෙයට දශකයකට පමණ පෙර ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කළේ වරප්‍රසාද ලත් සල්ලිකාර අතළොස්සක් පමණි. එසේම එයින් භාණ්ඩ මිලට ගත හැකි වූයේ නගරයේ ප්‍රධාන පෙළේ වෙළෙඳසල්වලින් පමණි. එහෙත් මේ වනවිට ක්‍රෙඩිට් කාඩ් වැඩිපුර පාවිච්චි කරනුයේ සාමාන්‍ය ජනතාව වන අතර නගරයේ මෙන්ම ගම්බද බොහෝ වෙළෙඳසල්වලින් අවශ්‍ය දේ මිලට ගත හැකිවීම නිසා ඒවා පාවිච්චි කරන්නන් වැඩි වී ඇත. මේ වනවිට ක්‍රෙඩිට් කාඩ් එක පොදු ජනතාවගේ සරල ගෙවීම් ක්‍රමයක් බවට පත්ව ඔවුනට සහනයක් ලබා දීමට හැකි වී තිබේ. එසේම අතමිට හිඟ වූ හදිසි අවස්ථාවකදී ඇතැම් කාඩ්පත්වලින් මුදල් ලබා ගැනීමටද හැකියාව පවතී.

ක්‍රෙඩිට් කාඩ් ණය මුදල ලබා ගැනීමට වඩා උනන්දු වන්නේ පොලිය ලබා ගැනීමටය. ක්‍රෙඩිට් කාඩ් ණයවලින් මාසිකව ගෙවිය යුතු ප්‍රමාණය සියයට 4 දක්වා පසුගියදා අඩු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒවා විශේෂයෙන් දුප්පතා අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහෙත් මෙහිදී සිදුවන එකම අවාසිය වන්නේ දිගින් දිගටම පොලිය හා දඩ පොලිය ගෙවීම නිසා පාරිභෝගිකයා සමාගම්වල සහ බැංකුවල සදාකාලික ණයකරුවකු බවට පත්ව සිටීමය.

ක්‍රෙඩිට් කාඩ්වලින් ජනතාව බැංකු සහ මූල්‍ය ආයතනවල ණයට ගන්නා ප්‍රමාණය මාස්පතා අඩුවීමක් දක්නට නොමැත. සිදුවන්නේ වැඩිවීමක් පමණකි. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියෙන් ඔවුන්ට සිදුවන අසාධාරණය ගැන දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය කටයුතු කරන බවක් දක්නට නැත. අඩු වශයෙන් කාඩ්පත්වල පොලිය ඉහළ යාම ගැන හෝ නිවේදනය නොකරයි. එයට හේතුව එයින් ක්‍රෙඩිට් කාඩ් අලෙවිය පහළ ගියහොත් එයින් බැංකුවල ආදායමට බලපෑමක් සිදුවන නිසාය.

කෙසේ වුවද මේවා අලෙවිය ඉහළ යාමෙන් රටේ අයහපත් ආර්ථික හා මූල්‍ය තත්ත්වය ප්‍රදර්ශනය කෙරෙන බව මූල්‍ය විශේෂඥයෝ කියති. ජනතාවට සදාකාලිකවම ක්‍රෙඩිට් කාඩ් පසුපස යාමට සිදුව තිබේ. මහ බැංකු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත්තේ මේ වනවිට ණය කාඩ්පත්වලින් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 50 ක් පමණ වන බවයි. ඒත් ඒ ගැන නිවැරදිව පැවසීමට සංඛ්‍යාලේඛන නොමැත. මෙසේ ණය වැඩි වී ඇත්තේ ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේදී කිසිදු අරපිරිමැස්මක් නැතිකමයි. නිකම් ගත හැකි නිසා අවශ්‍ය දේවලට වඩා අනවශ්‍ය දේවල්වලින් භාණ්ඩ පැස පුරවා ගැනීමට උනන්දු වෙයි. අම්මලා සමඟ එන කුඩා දරුවන් පවා සෙල්ලම් බඩු, විසිතුරු භාණ්ඩ වැනි විවිධ දේවල් මිලට ගැනීමට උනන්දු වෙනවා දැකගත හැකිය. දෙමාපියන්ද එයට විරුද්ධ නොවන්නේ ඒ විගස මුදල් ගෙවීමක් සිදු නොවන නිසාය.

මේ වනවිට ක්‍රෙඩිට් කාඩ්වල ව්‍යාප්තිය රාජ්‍ය වාණිජ බැංකු කරාද පැමිණ ඇත. මුලදී පෞද්ගලික මූල්‍යායතනවල සහ පෞද්ගලික වාණිජ බැංකුවල පමණක් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම සිදුවුවද වැඩි කල් නොගොස් රාජ්‍ය බැංකුද එම ව්‍යාපෘතියට සම්බන්ධ වූයේ එයින් ලැබෙන පොලී ආදායම වැඩි නිසාය. ජනතාව බලාපොරොත්තු වූයේ රාජ්‍ය බැංකුවලින් අඩු පොලී ප්‍රතිශතයක් අය කරනු ඇතැයි යනුවෙන් වුවද මේ වනවිට රාජ්‍ය බැංකුවල පොලී මට්ටම පෞද්ගලික අංශයට සම හෝ එය ඉක්මවා හෝ ගොස් ඇත. ක්‍රෙඩිට් කාඩ්වලට මේ දෙපාර්ශ්වයම අද අය කරන පොලිය සියයට 28 හා 29 මට්ටමේ පවතී. පසුගිය අවුරුදු කිහිපයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ පොලී අනුපාත අඩු කරනු ලැබුවද එය ක්‍රෙඩිට් කාඩ්වලට බල නොපාන්නේ ඇයිද යන්න ගැටලුවකි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිවිටෙකත් ණයපත්වල පොලිය නියම නොකරන බවය. මහ බැංකුව කරනුයේ උපරිම පොලිය නියම කිරීම පමණකි. එම උපරිම පොලිය අභිබවා කටයුතු කරන්නේ නම් මහ බැංකුවට එයට එරෙහිව කටයුතු කළ හැකිය. අද පොලිය නියම කරනුයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකරණය විසිනි. එයට මහ බැංකුව මැදිහත්වීමක් සිදු නොකරයි.
මේ පිළිබඳ අදහස් දක්වන රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු මෙසේ පවසයි.

“ක්‍රෙඩිට් කාඩ්වලට ජනතාව වැඩි වශයෙන් පෙළඹීමෙන් පෙනෙන්නේ රටේ ආර්ථිකය දුප්පත් වී තිබෙන බවයි. අත්පිට මුදලට මිලදී ගැනීමට නොහැකි නිසා ණයට ගන්නවා. තවමත් අපේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයකයි තියෙන්නේ. එවැනි වාතාවරණයකදී ජනතාව එදිනෙදා වේල පිරිමසා ගන්නටයි උත්සාහ කරන්නේ. මේ කාඩ්වලින් ජනතාව මිලට ගන්නේ එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යයයි. එහෙම නැතුව වෙනත් ප්‍රාග්ධන හා ආයෝජන භාණ්ඩ මිලට ගන්නෙ නැහැ. 2011 වසරේදී තිබුණේ පොලිය සියයට 24 මට්ටමකයි. ජනතාව එය වැඩිය කියලා කෑගැසුවත් අද වනවිට සියයට 28 ක පොලියට ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ ගන්න පුරුදු වෙලා.”

• යසවර්ධන රුද්රිගු