විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් අවභාවිත කිරීම පිළිබඳ කතිකාව නැවතත් නිර්මාණය වී තිබේ. මීට ඉහතදී ද මෙම වංචාව පිළිබඳ තොරතුරු රැසක් දේශය අපි අනාවරණය කළෙමු. ඒ අනුව නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ රටවිරු වාහන බලපත්‍ර පිළිබඳ ඇතිව ඇති කතාබහ විමසා බැලීම සුදුසුය.
මෙම මෝටර් රථ බලපත්‍ර අවභාවිතය පිළිබඳ මේ මොහොතේ සංවාදයක් නිර්මාණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළි වූ තොරතුරු හේතුවෙනි. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න ඉකුත්දා සිදු කළ මාධ්‍ය අනාවරණයකට අනුව විදෙස් රැකියාවල නියුතු මෙම බලපත්‍ර ලබා ගැනීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට ද ඉකුත් සමයේ එම අවස්ථාව අහිමිව ගොස් ඇති බව කියැවේ. එහෙත් වංචනිකයන් පිරිසක් ජාවාරමක් ලෙසින් මෙම බලපත්‍ර හරහා ශ්‍රී ලංකාව තුළට විශාල වටිනාකමකින් යුතු මෝටර් රථ රැගෙන ඒමට කටයුතු කර ඇති බව ඉකුත් සමයේ අපට දැන ගැනීමට ලැබුණි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය. ආර්ථික අර්බුදය හමුවේ රටටද ආර්ථික ප්‍රතිලාභ අත්කර දෙමින්, විදෙස් ශ්‍රී ලාංකිකයන් සතු විදේශ විනීමය ශ්‍රී ලාංකාවට වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණ සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
එහෙත් ඉතාම කෙටි කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතියේ අක්‍රමිකතා පවතින බවට මතයක් සමාජගත වූයේය. මේ වන විට එම බලපත්‍ර වැඩපිළිවෙළේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඔවුන් මාසයකට අධික කාලයක් මේ පිළිබඳ විමර්ශන මෙහෙයවා ඇති බවද වාර්තා වේ. මේ පිළිබඳ සිදු කරනු ලැබූ විගණනයට අදාළ, විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට මේ වන විටත් භාර දී තිබේ. එම වාර්තාව පිළිබඳ ආසන්න දිනක පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වෙනු ඇත. මෙම වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇති බවද දැන ගැනීමට ලැබේ.
රුපියල් බිලියන ගණනක වංචාවක් පිළිබඳ සාකච්ඡාවක් සඳහා පසුබිම නිර්මාණය වී ඇති පසුබිමක මෙහි පෙර අපර සන්ධි ගලපා ගැනීමට අප උත්සාහ දැරීම වැදගත්ය.
විගමනික ශ්‍රමිකයන් විසින් 2022 මැයි 01 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ඇරඹුණි. ආර්ථික අර්බුදය උග්‍රව පැවති සමයේ ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා විකල්ප යෝජනාවක් ලෙස මෙම ක්‍රමවේදය භාවිතයට ගැනිණි. මෙම ක්‍රමවේදය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන් තම ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට යෝජනා විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමට නම් ඔවුන් ඇ.ඩො. 20,000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කළ යුතුව තිබුණි. ඒ අනුව ශ්‍රමිකයන් හට රු. මිලියන 12 දක්වා සුඛෝපභෝගී මෝටර් රථ බදු සහනය ලබා දීම සිදුවිය. මෙය පළමුවරට ක්‍රියාත්මක වූයේ 2023 පෙබරවාරි 10 නිකුත් වූ ගැසට් පත්‍රය හරහාය. ඒ අනුව යෝජනා ක්‍රමයේ කාලය 2023 මැයි 31 දින නිකුත් කළ ගැසට් පත්‍රය, 2024 ජනවාරි 24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දීර්ඝ කිරීමට එවක ආණ්ඩුව කටයුතු කළේය.
මේ පිළිබඳ ගැටලුව පළමු වරට කරළියට පැමිණියේ මෙම ක්‍රමවේදය නැවතත් දීර්ඝ කිරීමට ඉකුත් රජය ගනු ලැබූ උත්සාහය හේතුවෙනි. මේ අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම ක්‍රමය පිළිබඳ ගැටලුව දේශපාලන සංවාදයක් බවට පත්විය. විදේශ ප්‍රේෂණ සැලකිය යුතු මට්ටමින් ලැබී තිබේද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිප දෙනකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න පිළිබඳව රාජ්‍ය මුදල් කාරක සභාවේදී සංවාදයක් ඇති වූයේය.
පැහැදිලිවම මෙහි අභ්‍යන්තරයේ ගැටලුවක් පවතින බව පෙනෙන්නට තිබුණි. ඉහළ පෙළේ දේශපාලනඥයන්, ඔවුන්ගේ අනුග්‍රහය ලද දැවැන්ත ව්‍යාපාරිකයන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද මෙම අක්‍රමිකතාව පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වන්නට විය. එහෙත් වගකිවයුත්තෝ ඊට ප්‍රමාණවත් අවධානයක් ලබා නොදුන්හ.
පළමුව අනාවරණය වූ පරිදි ඉකුත් අප්‍රේල් මාසය වන විට මෙම බදු සහනය මගින් රු. මිලියන 100 සිට වාහන ගෙන්වා තිබුණි. ඒ වන විට බලපත්‍ර 1019 ක් ලබා දී ඇති බවත් ඇ.ඩො. මිලියන 109.8 ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී අනාවරණය විය. එසේම ලබා දී ඇති බලපත්‍රවල වටිනාකම ඩොලර් මිලියන 46 ක් බවද නිලධාරීහු පැවසූහ. මෙම ප්‍රේෂණ මුදල් එකවර ගිණුමට එක් වුවද විදෙස් ශ්‍රමිකයන්ට මෙම පහසුකම සඳහා සුදුසුකම් ලැබීම තුළ අක්‍රමිකතා සිදුවන බව මේ අනුව පෙනී ගියේය.
මේ ක්‍රමය හරහා විවිධ ජාවාරම්කරුවන්ට මුදල් විශුද්ධිකරණය සඳහා ද අවකාශය සැලසෙන බවට තොරතුරු හෙළිදරව් වන්නට විය. ඒ අනුව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වාර්තාවක් ද කැඳවීය. දේශපාලනය තුළද මේ පිළිබඳ කැළඹීමක් නිර්මාණය විය. මේ අතර ගෙවිය යුතු බදු වංචා කිරීම පිළිබඳ තොරතුරු ගලා ආවේය. විද්‍යුත් වාහන වටිනාකම අඩුකොට වෙනත් රටවල ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, බදු වංචාවක් සිදු කරමින් මෙරටට ඒවා ගෙවීමට පිරිසක් කටයුතු කරමින් සිටින බව ඒ අනුව අනාවරණය විය.
මෙහිදී වාහන ආනයන ක්‍රමවේදය උල්ලංඝනය කර ඇති බවටද බරපතළ චෝදනාවක් නිර්මාණය වූයේය. වාර්තා වූ පරිදි සිදුව ඇත්තේ මෙම විදුලි මෝටර් රථ ඒජන්තවරුන් හරහා මිල දී නොගෙන ෆැසිලිටේටර් නම් පිරිසක් හරහා ගෙන්වා ගැනීමයි. ඒ අනුව වාහන ආනයනය කරන ෆැසිලිටේටර්වරුන් මුල් සමාගමෙන් මෝටර් රථය ලබාගෙන වෙනත් රටකට ගෙන ගොස් වටිනාකම අඩුකර නැවත ලියාපදිංචි කර මෙරටට ආනයනය සිදුකර තිබුණි. මෙම ක්‍රමවේදය මගින් මෙම වාහන ආනයනයේදී රේගුවට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බව පෙනී ගියේය.
මෙය ඉතා බරපතළ සංකීර්ණ ගැටලුවක් වන බව පෙනී ගිය අතර බලධාරීන් නිද්‍රාවට පත් වූ ආකාරයෙන් සිටීම සැක සංකා මතු කළේය. විදේශ රැකියා සම්බන්ධ වූ අමාත්‍යංශය සහ තවත් ඉහළ ආයතන කිහිපයක දේශපාලන බලය දැරුවන් වෙත සැකය යොමු වූ බව අමතක කළ යුතු නැත. සියලු ගනුදෙනු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ මුදල් හදල් ගැවසෙන පිරිස් අතර සිදු වූ බැවින් ඒවාට දේශපාලන ආශිර්වාදයද හිමි වූ බවට සැකයක් පවතී. මේ අතර ඉකුත් සමයේ දැන ගැනීමට ලැබුණු තවත් තොරතුරක් වූයේ, විද්‍යුත් මෝටර් රථ ගෙන්වා දෙන බවට පවසමින් ඇතැම් ජාවාරම්කරුවන් පාරිභෝගිකයන් රවටා අත්තිකාරම් මුදල් ද ලබාගෙන ඇති බවකි.
කෙසේ නමුත් මේ වන විට ජාතික විගණන කාර්යාලය මේ පිළිබඳ මාසයකට අධික කාලයක් සිදු කළ පුළුල් විමර්ශනයේ වාර්තාව පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ. දැන් සිදුවිය යුත්තේ කඩිනමින් එම තොරතුරු රටට හෙළිදරව් කිරීමය. තොරතුරු හෙළිදරව් කොට වංචාවක් කියමින් රංගනයක නිරත වීමද ප්‍රතිඵල විරහිත බව අවධාරණය කළ යුතුය. තොරතුරු හෙළිදරව් කිරීමට සමගාමීවම නීතිමය ක්‍රියාමාර්ග ගෙන චෝදනා ඔප්පු කොට වරදකරුවන්ට කඩිනම් දඬුවම් ලබාදීම ද සිදුවිය යුතුමය. අලුත් ආණ්ඩුව පිළිබඳ මිනිසුන්ට අපේක්ෂාවක් තබාගත හැකි වන්නේ එවන් විටකදී පමණි.
• චමිඳු නිසල් ද සිල්වා