2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ගංවතුරට කොටුවෙලා පැය 14 ක් කුඹුරේ පැලක වහළෙ උඩ හිටියා

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:05 154

“එකපාරට ආව වතුර පාරත් එක්ක මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මම හිටිය පැලට නැග්ගා ජීවිතේ බේර ගන්න ඕන නිසා.” 65 හැවිරිදි ගණපතිපිල්ලේ සෝමසුන්දරම් තමන් මුහුණ දුන් ‘බියකරු’ අත්දැකීම පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත එලෙස අදහස් දැක්වීම ආරම්භ කළේය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ජල ගැලීම් තත්ත්වය හමුවේ ගංවතුරට කොටුවී සිටි ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරාගනු ලැබුවේ, පසුගියදා (නොවැම්බර් 27) දහවල් කාලයේදීය.
අම්පාර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කරමින් පියාසර කරමින් තිබූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් වාලච්චේන, තොළුවිලච්චිය ප්‍රදේශයේදී මෙම මුදා ගැනීමේ මෙහෙයුම සිදු කරනු ලැබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.

• ‘මට මරණ බයක් දැනුණා’

තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ගණපතිපිල්ලේ සෝමසුන්දරම් කියා සිටියේ, තමන් කුලී සේවකයකු ලෙස සේවය කරන බවය.

“මගේ රස්සාව අලින්ගෙන් කුඹුරු රකින එක. මේ රස්සාවට සතියකට රුපියල් 5000 ක් දෙනවා. මට පවුලේ ළමයි 04 දෙනෙක් ඉන්නවා. අපේ පවුලේ ඔක්කොම 06 දෙනෙක් ඉන්නවා බිරිඳත් එක්ක. හැම සතියකටම එක දවසක් මඩකලපුව, වන්දාරමුල්ලේ තියෙන ගෙදරට එනවා පවුලේ අයව බලලා යන්න. මම ගිය ඉරිදා උදේ ගෙදර ගිහින් ආපහු කුඹුරට ගියා පැල් රකින්න කියලා. ඒ යද්දී උයන්න කෑම බඩු එහෙම අරන් යනවා සතියක් එහෙ ඉන්න ඕන නිසා. කුඹුර තියෙන්නේ කැලයක් ළඟ. කුඹුර තියෙන්නේ මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 10 ක් වගේ දුරින්.” ඔහු පැවසුවේය.

දිවයිනේ නැගෙනහිර වෙරළ කලාපයට ඔබ්බෙන් ඇතිවූ පීඩන අවපාතය සමඟ ඇදහැළුණු දැඩි වර්ෂාපතනය සමඟ සෝමසුන්දරම් පැල් රකිමින් සිටි වාලච්චේන, තොළුවිලච්චිය ප්‍රදේශයට මෙන්ම නොවැම්බර් 26 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට අම්පාර, මඩකලපුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකටම ක්ෂණික ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය.

“එකපාරම රෑ 12.00 ට වගේ මම කුඹුරේ පැලට වෙලා ඉද්දි වතුර පාරක් ආවා. ඒ වෙද්දීත් හොඳටම වහිනවා. මට කරන්න දෙයක් ගැන හිතාගන්න බැරි වුණා. එන්න එන්න වතුර පාර වැඩිවුණු නිසා මම පැලේ වහළට නැග්ගා. වැස්ස නිසා පැලේ තිබුණු කුඩයක් අරන් වහළට වෙලා හිටියා. කිසිම දෙයක් පෙනුණේ නැහැ. වැස්ස එක්ක හුළඟ විතරයි. මම ඇත්තටම බය වුණා. ඒ වෙලාවේ හිතුණා ගංවතුරට අහුවෙලා මැරෙයි කියලා.” ඔහු තමන් මුහුණ දුන් ‘බියකරු’ අත්දැකීම පිළිබඳව එලෙස විස්තර කළේය.

• ‘කුඩය වනලා මම කෑ ගැහුවා’

ජල ගැල්මට කොටු වූ තමන් පැය 14 කට අධික කාලයක් පැලේ වහළය මත සිටි බව ඔහු පැවසීය.

“එකදිගට වහින වැස්සත් එක්ක මම පැය 14 කට වැඩිය කාලයක් පැල උඩට වෙලා හිටියා. උදේ වෙද්දී අඩි 4 කට වැඩිය වතුරෙන් යට වෙලා තිබුණා ඒ පැත්තම. සීතලත් එක්ක බඩගින්නක් තිබුණා. කන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. එහෙම ඉද්දි දවල් මම දැක්කා හෙලිකොප්ටරයක් යනවා. ඒ වෙද්දී වැස්ස ටිකක් පායලා තිබුණේ. මම කුඩේ වනලා කෑගැහුවා. හෙලිකොප්ටරය වටයක් කැරකිලා මම හිටිය තැනට ආවා. ඊට පස්සේ ඒකෙන් කෙනෙක් පහළට බැහැලා මාවත් අරන් ආපහු උඩට ආවා. ගොඩක් ලොකු සතුටක් දැනුණා මට. හෙලිකොප්ටරේ හිටපු ගුවන් හමුදාවේ අය මට කන්න බිස්කට් වගේම වතුරත් දුන්නා.” ගණපතිපිල්ලේ සෝමසුන්දරම් තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේය.

එමෙන්ම, තමන්ව මුදා ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාවේ නිලධාරීන් අවශ්‍ය ප්‍රථමාධාර දුන් අතර, යළිත් මඩකලපුවේ පිහිටි නිවස වෙත පැමිණීම සඳහා අවශ්‍ය මුදල් ද ලබාදුන් බව ගණපතිපිල්ලේ සෝමසුන්දරම් සිහිපත් කළේය.

• මරණ සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් 28 උදෑසන විට මරණ 6 ක් සහ පුද්ගල අතුරුදන්වීම් 6 ක් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 21 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 145 කට ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර ඉන් පවුල් 98,635 කට අයත් පුද්ගලයන් 330,894 දෙනකු පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.
ආපදා හේතුවෙන් නිවාස 82 කට දැඩි හානි සිදුවී ඇති අතර, නිවාස 1,465 කට අර්ධ හානි සිදුවී තිබේ. අවතැන්වූවන් සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන 267 ක් පවත්වාගෙන යන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ. එවැනි සුරක්ෂිත මධ්‍යස්ථානවල පවුල් 8,358 ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

• නාය යාම් සහ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් පිළිබඳ රතු නිවේදන කර තිබේ.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගම්පහ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නාය යාමේ, ඉවුරු කඩා වැටීමේ අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ. මේ අතර උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දැදුරු ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

• ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයට

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය නොවැම්බර් 28 පෙරවරු 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දිගින් පැවතිණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ උතුරු පළාතේත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටියි.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) මේ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-50 ත් පමණ වන අතර සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

• BBC