ශ්‍රී ලංකාව පශ්චාද් දේශපාලන, සමාජ සහ සංස්කෘතික අවස්ථාවක් දක්වා පරිවර්තනය වීමට අදාළ මූලික පියවර මෙම මැතිවරණයත් සමඟින් ගොඩනැංවී ඇති බවත්, මෙය ඉතිහාසය තුළ මෙතෙක් ගොඩ නොනැඟුණු හැරවුම් ලක්ෂයක් බවත්, ඒ තුළ සාම්ප්‍රදායික මුහුණුවර යටතේ ගොඩනැගුණු ද්විපාර්ශ්වික දේශපාලන ක්‍රියාවලියෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවත් දැකිය හැකි වේ. මැතිවරණය යනු යුරෝ රාජ්‍යත්වයෙහි ප්‍රමුඛ ක්‍රියාවලියක් වන බවත්, එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා සබැඳෙන බවත්, එය 17 වැනි සියවස දක්වා ඈතට ගමන් කරන බවත් ද්‍ැකගත හැකිය. ඒ තුළ ආණ්ඩුව නමැති ක්‍රමවේදය මූලිකව නිල කාර්යභාර සහ තනතුරු ගොඩනගා ගන්නා සහ බෙදා ගන්නා ප්‍රවේශය පමණක් නොව ඒ තුළ සමාජ සංවර්ධනයෙහි ක්‍රමවේදී සැලසුම් නිර්මාණය, කාර්යභාර ආදිය ගොඩනංවන ක්‍රියාකාරී ප්‍රවේශ බවට ද පරිවර්තනය වන බවත් කිවයුතුය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙහි ආධිපත්‍යයික හැඩගැස්ම බවට ද පත්වන බවත් පැහැදිලිය. තන්ත්‍ර යනු පාලනය යන්න වන බවත් ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පාලනය වන බවත් එයට දිගු ඉතිහාසයක් ඇති බවත් එම ඉතිහාසය යුරෝපය දක්වා ගමන් කරන බවත් පැහැදිලි වේ.
මෙම ප්‍රජාතන්ත්‍රවාදී මෙවර මැතිවරණය තුළින් සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේද අවසන් වී ඇති බවත්, මෙතෙක් ගොඩනැඟුණු සියලු ප්‍රභූත්ව පාක්ෂික දේශපාලනික අදහස් පරදවමින් ශ්‍රී ලාංකික මහජන අපේක්ෂා ප්‍රබල වී ඇති බවත් දැකිය හැකිය. සමාජ පාලනයෙහි ශ්‍රී ලාංකික මෙම දේශපාලනික ද්විපාර්ශ්වික හැඩගැසීමෙහි ක්‍රමවේදය ඉතිහාසයෙහි සිට වර්ධනය වී ඇති බවත්, එය බිඳ වැටෙන්නේද බටහිර නව නිදහස් ආර්ථික ක්‍රියාවලියෙහි බලපෑම සමගින් බවත්, මෙම මැතිවරණය ඒ සඳහා එක් නිදසුනක් පමණක් බවත් පැහැදිලිය. මෙම ඓතිහාසික සමාජ දේශපාලන හැඩගැස්ම අප ජාතික ආර්ථික සංකල්පයට ප්‍රබල අභියෝගයක් වූ අතර එය ජීවිතයෙහි සෑම දිශානතියකටම ප්‍රබල ලෙස බලපෑම් කළ බවත් පැහැදිලිය. රටක නිෂ්පාදන ආර්ථිකය ජාතික ආර්ථිකය බවට පත්වන විට නිෂ්පාදන ආර්ථිකයෙහි දේශීය හැඩගැස්ම ජාතික ආර්ථික ප්‍රවර්ධනයට විශාල ඉඩක් ගොඩනඟන බවත් සඳහන් වෙයි.
මෙම මැතිවරණය තුළ නොමැකෙන සංධිස්ථාන කිහිපයක් සනිටුහන් කරන්නේ ද මහජන අපේක්ෂාවන්ගේ වර්ධනය මූලිකවය. මෙතෙක් ශ්‍රී ලාංකික සමාජ ඉතිහාසය තුළ වැඩිහිටි පරම්පරාව තාරුණ්‍යය වෙනස් කළත්, මෙවර මැතිවරණය තුළින් තාරුණ්‍යය වැඩිහිටි පරම්පරාව වෙනස් කරන ලද ආකාරය පැහැදිලි වේ. පක්ෂ දේශපාලනික සාම්ප්‍රදායික ඡන්දදායකයන් බොහෝ දුරට ඡන්දය නොදී ඇති බවත් දැකිය හැකිය. ප්‍රභූත්ව පක්ෂ දේශපාලනය ශ්‍රී ලාංකික මැතිවරණ ඉතිහාසය තුළ මෙවර අවසන් වන්නේ 2/3 ට අධික මහජන බලයකින් බවත්, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් ආසන 159 කින් සහ 6,863,186 කට අධික ඡන්ද ප්‍රමාණයකින් එනම් 61.56% කින් බවත් අවබෝධ කරගත හැකි වේ. වැඩිම ඡන්ද කොට්ඨාස ජයග්‍රහණය කිරීමත්, වැඩිම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමත්, වැඩිම ඡන්ද ලබා ගැනීමත්, ආදී සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගොඩනගා ගැනීම තවද සුවිශේෂී වේ.
2/3 පමණ වූ මහජන පාර්ලිමේන්තු බලය ශ්‍රී ලාංකික ඉතිහාසය තුළින් මින් පෙර දක්නට ලැබෙන්නේ කේවල ඡන්ද නියෝජන ක්‍රමය (පැරණි මැතිවරණ ක්‍රමය) යටතේ බවත්, එනම් ජූනියර්ස් රිචඩ් ජයවර්ධන (1906 - 1996) ජනාධිපතිතුමාගේ කාලයෙහිදී බවත්, ඒ තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ රටෙහි මැතිවරණ නීතිය වෙනස් කිරීම ආදිය දැකිය හැකි වූ බවත් පැහැදිලිය. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පාර්ලිමේන්තුව 2/3 බලය ලබාගන්නේ මෙවර බවත්, මෙයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළ 2/3 ක බලය තිබූ බවත්, එය තනි පක්ෂයක් ලෙස ලබාගත් සංයුතියක් නොවන බවත්, එය පසුව ක්‍රමයෙන් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කර ගන්නා ලද්දක් බවත් දැකිය හැකිය.
මෙම 2/3 බල ව්‍යුහය තුළ ජාතිවාදය, ආගම්වාදය ආදී සංස්කෘතික විරෝධී හැඩගැස්සීම් ප්‍රතික්ෂේප වී ඇති බවත්, මෙම ‘ජන බලවේගය’ ජාතික ව්‍යාපාරයක් ලෙස රටෙහි ඉතිහාසය වෙනස් කොට ඇති බවත්, එම වෙනස අත්‍යවශ්‍ය බවත් පැහැදිලි වේ. මෙය රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල භාවිතය අවම වූ මැතිවරණයක් බවත්, බලයෙහි භාවිතය ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් යෙදිය යුතුය යනුවෙන් ගොඩනැගෙන සංකල්පත් සමාජයෙහි නිවැරදි චින්තන ගොඩනැගීම සඳහා වැදගත් වන බවත් දැකිය හැකි වේ.
මෙවර පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ප්‍රබල වී ඇති බවත්, එය ද ජාතික කාර්යභාරයක් බවට පත්වන බවත්, මෙම සමාජ හැඩගැස්ම පිළිබඳ කාරණාව කාලීන සහ ක්‍රමික වර්ධනය වීම අත්‍යවශ්‍ය බවත් පැහැදිලි වේ. මෙවර කාන්තා නියෝජනය මන්ත්‍රීවරියන් 22 කින් සමන්විත වන අතර එයින් 20 ක්ම ‘ජාතික ජන බලවේගයෙහි’ නියෝජිතවරියන් බවට පත්වීම ද දැකිය හැකි වේ. ශ්‍රී ලංකාවෙහි ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස රුවන්වැල්ල කොට්ඨාසය නියෝජනය කරමින් 1931 ඇඩ්ලින් මොළමුරේ මහත්මිය පත්වූ අතර, ප්‍රථම කැබිනට් ඇමැතිවරිය ලෙස 1956 දී විමලා විජයවර්ධන මහත්මිය දැකිය හැකි වූ බවත්, 1960 වන විට පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත් වූ අයුරුත් පැහැදිලි වේ.
අවුරුදු පහකට දේශපාලන ස්ථාවරත්වය මේ වන විට තහවුරු වී ඇති බවත්, මේ තුළ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගාගත යුතු බවත්, සමාජ සංවර්ධනයෙහි ප්‍රබලතම උපකරණය ආර්ථිකය වන බවත් අපට මෙහිදී පැහැදිලි කරගත හැකි වේ. මානව ජීවිතයෙහි කිසිවකට අද්‍යතනයෙහි ආර්ථිකයෙන් වියුක්ත විය නොහැකි බවත්, එය ගෝලීය වශයෙන් හෙවත් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වී ඇති බවත් පැහැදිලි වේ. ගෝලීය ආර්ථික ක්‍රමවේදය පසුගිය කාල පරිච්ඡේදය තුළ විවෘත ආර්ථික ක්‍රමවේදය යටතේ ශ්‍රී ලාංකික ප්‍රජාව ප්‍රබල ආර්ථික සහ සමාජ අභියෝගයකට ප්‍රවේශ ගන්වා තිබූ බවක් දැකිය හැකි වන අතරම, එය විවෘත ආර්ථික සංකල්පයෙහි ගැටලුවක් නොවන බවත් පැහැදිලිය. විවෘත ආර්ථික සංකල්පය ජාතික ආර්ථික ක්‍රමවේදීය මූලධර්ම යටතේ භාවිත නොකිරීමේ ගැටලුව තුළින් එම අභියෝගයට සහ අපට අප සතු කර ගැනීමේ නොහැකියාවේ ගැටලුවට අපි මුහුණ දී සිටියෙමු. ඒ තුළ ඩොලරයෙහි ආධිපත්‍යය දේශීය මූල්‍ය ඒකක අභියෝගයට ලක් කරමින් ගොඩනැගීම සරල නොවන බවත්, එය දේශීය මූල්‍ය සහ සංවර්ධන ක්‍රමවේද පිළිබඳ පැවති දේශපාලන පාලක පන්තීන්හි විද්‍යාත්මක චින්තනයෙහි ගැටලුවක් බවත්, එම අවිද්‍යාත්මක බවට ප්‍රජාව වින්දිතයන් බවට පත් වූ ආකාරයත් පසුගිය කාලය තුළින් පැහැදිලි කරගත හැකි වේ.
ඒ අනුව විවෘත ආර්ථික සංකල්පයට දොස් නැගිය නොහැකි බවත්, විවෘත ආර්ථික සංකල්පය ඉතා වැදගත් ප්‍රවේශයක් වන බවත්, එය අවිද්‍යාත්මකව භාවිතයෙහි ගැටලුව ශ්‍රී ලාංකික සමාජය තුළ පසුගිය කාලය තුළ දැකිය හැකි වූ බවත් පැහැදිලිය. විවෘත ආර්ථික සංකල්පයෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුග ගණන් දක්වා ගමන් කරන බවත්, එහි උරුමය ආසියාවට හිමිවන බවත් අප පැහැදිලි කරගත යුතුය. විවෘත ආර්ථික සංකල්පය ප්‍රජාතාන්ත්‍රීය උරුමයෙහි ප්‍රබල පද්ධතියකි. එහි නිවැරදි හැඩය නිවැරදි මානව සමාජ උරුමය දක්වා ව්‍යාප්ත කළ හැකිය. ගෝලීය ආර්ථිකය, දේශපාලනය සහ බලය ආදිය පිළිබඳ විද්‍යාත්මක අවබෝධය නොමැති වන තාක් කල් ජාතික රාජ්‍යය ලෙස පැවතීමේ නොහැකියාව ගොඩනැගෙන බවත්, එය ඩොලරයෙහි ආධිපත්‍යය ආදිය මූලිකව ජාතික රාජ්‍ය බිඳවැටෙමින් යැපීම් ආර්ථික රටාවක ස්ථාවරත්වය ගොඩනැගෙන බවත්, ඒ සඳහා ලෝක බැංකුව ද උපකාරී කළ හැකි බවත්, එම මූල්‍ය උපකරණය බලයෙහි උපකරණයක් බවට පත් විය හැකි බවත් අපට ද්‍ැකගත හැකිය.
ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය ආධාර වැඩපිළිවෙළ, ඩොලරය, ඇමෙරිකා ආදී රටවලට සහ එහි ක්‍රමවේදවලට විරුද්ධ වීමක් නොව මේ පිළිබඳ නිවැරදි දැනුම් ගොඩනඟා ගනිමින් ආර්ථික තාක්ෂණික දේශපාලනික ශක්‍යතා නිර්මාණය කර ගනිමින් ජාතික රාජ්‍යයක් ලෙස ඉදිරියට ගොඩනැගීම අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස අපට හඳුනාගත හැකි වේ. එය මෙතෙක් ඉතිහාසයේ තිබූ දිගුවක් නොවිය යුතු බවත්, ඒ තුළ ප්‍රබල වෙනසක් ගොඩනගා ගත හැකි බවත් පැහැදිලි වේ.
එම දැනුම් බිඳවැටෙන විට ජාතික රාජ්‍යයන්හි පාලිත ප්‍රජා කණ්ඩායම් අභියෝගයට ලක්වන බවත්, ඒ තුළ පාලක පන්තිය ද අභියෝගයට ලක්වන බවත්, ඒ බව මැතිවරණ ප්‍රතිඵල තුළින් දැකිය හැකි වූ බවත්, එහි ප්‍රතිඵල ලෙස ප්‍රබල මැති ඇමැතිවරුන් රාශියකට තම දේශපාලන භූමිකාව අහිමි වූ බවත් පැහැදිලි වේ. සෑම වසර සීයකට පමණ වරක් ලෝකයේ ආර්ථිකය ප්‍රබල වෙනසකට භාජනය වනවාක් මෙන්ම, ලෝකයෙහි තාක්ෂණය ද සෑම වසර පනහකට පමණ වරක් ප්‍රබල ලෙස වෙනස් වන බැව් ලෝක ඉතිහාසය පිළිබඳව විමර්ශනය කරන විට පැහැදිලි වේ. වර්තමානය වෙනස්කම් ගොඩනැගෙන ප්‍රබල අවධියක් ලෙස ද හඳුනාගත හැකි වේ. ලෝකය තුළ බටහිර බලය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත්, ඉන්දියාව, චීනය, රුසියාව ආදී රටවල ආර්ථික ආකෘතීන් ලෝකයට එකතු වන අවධියක් බවට ද වර්තමානය පත් වී ඇති බවත් දැකිය හැකිය. ඇමෙරිකාවෙහි කමලා හැරිස්ගේ පරාජයත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 47 වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ගොඩනැගෙන ජයග්‍රහණයත් බටහිර ආර්ථිකයෙහි සහ බලයෙහි බලපෑමත් සමඟින් සිදු වූ ප්‍රබල ක්‍රියාවලියක් වූ බවත් පැහැදිලිය.
ඇමෙරිකාවෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තර ජන මතය නියෝජනය කළ අතර කමලා හැරිස් බොහෝ දුරට පාලක පන්ති මතය නියෝජනය කරන ලද ආකාරයත්, ඒ තුළ ඡන්ද ව්‍යාපෘතික කාර්යය සිදු කළ අයුරුත් පැහැදිලි වේ. ජන මතය යන්න ජනතාවම මුහුණ දෙන ප්‍රශ්නවලින් ගොඩනැගෙන්නක් වන බවත්, ඒ අනුව දේශපාලන ප්‍රතිපත්ති සහ සැලසුම්කරණ මෙම ජන මතයට අනුකූල විය යුතු බවත් පැහැදිලි කරගත යුතුය. ඉහළ දේශපාලනික මත සහ ජනමාධ්‍ය මතය යනු ජන මතය නොවන බවත්, ඒ අනුව ජනමාධ්‍ය යනු ජන මතයෙහි නියෝජනායතනය නොවන බවත් අපට ශ්‍රී ලංකාවෙහි පමණක් නොව ලෝක ජනමාධ්‍ය තුළින් ද පැහැදිලි කරගත හැකි වේ.
ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් පසුගිය කාල පරිච්ඡේද තුළින් ජන මතය වෙනස් කිරීමට නොහැකි වූයේ ඒ පිළිබඳ පාලක පන්තියට නිවැරදි වූ දැනුමක් නොමැති වූ බැවිනි. ආදායම් පරතරය, ආර්ථික බෙදී යාමේ අසමානතා ගැටලු, ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න ආදී වශයෙන් රට අභ්‍යන්තරික ආර්ථික ගැටලුවලට අවධානය යොමු කරමින් මැතිවරණ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ ‘ජාතික ජන බලවේගය’ නැමති පක්ෂය සාකච්ඡා කළ අතර, අනෙකුත් පක්ෂ දේශපාලනය විසින් ලෝක බැංකු ආර්ථික ණය ආදී ක්‍රම පිළිබඳ සාකච්ඡා කළ අතර එය ජන මතය ගොඩනැගීමට උපකාරී නොවූයේ සැබෑ ජීවන ප්‍රශ්න දක්වා එයට ළං විය නොහැකි වූ බැවිනි. ඒ අනුව ‘ජාතික ජන බලවේගය’ මානව ජීවිතයෙහි සැබෑ ජීවන ප්‍රශ්න සමඟ සම්බන්ධ වූ බවත් පැහැදිලිය. මින් පැහැදිලි වන්නේ ‘දේශපාලන සන්නිවේදනය’ පිළිබඳ ගැඹුරු දැනුමෙහි සමාජ කාර්යභාරය සරල නොවන බව පමණක් නොව ගෝලීය දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ආදී සමස්ත පද්ධතිකකරණය පිළිබඳවම ගොඩනැගෙන දැනුමෙහි සමාජ කාර්යභාරය ප්‍රබල බවයි.