පොහොර ප්‍රශ්නයෙන් බැට කමින් සිටි අහිංසක ගොවි ජනතාවගේ ගොවිතැනට මහ වැස්සෙන් අකුණක් ගැහුවේ හිටිගමන්ය. පිරිසකට පොහොර සහනාධාරය ලැබිලාය. තවත් පිරිසක් තමන්ට පොහොර සහනාධාරය ලැබී නැතැයි පවසමින් මැසිවිලි නගති. රට වටෙන්ම ඇහෙන මෙම අඳෝනාවේ අවසානයක් නැත. මෙවර මහ කන්නය වෙනුවෙන් ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 15 දක්වා අම්පාර නාමල්ඔය ව්‍යාපාරයේ කුඹුරු වැපිරීම කළ යුතුව තිබූ බව ගොවීහු පවසති. එහෙත් ගොවීන් පෙන්වා දෙන්නේ රජයේ පොරොන්දු වූ පොහොර සහනාධාර මුදල් ලැබී නොමැති බවය. කවුඩුළුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පෙන්වා දෙන්නේ ඇතැම් ගොවීන් වී වගාවේ මූලික බිම් සැකසීම, වැපිරීම පවා අවසන් කර ඇතිමුත් මේ වන විටත් පොහොර සහනාධාරය ඔවුන්ටද ලැබී නොමැති බවය. ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන්ගේත් මැසිවිල්ල එයමය. මේ කොයි කවුරුත් පවසනුයේ මඩ පොහොර ටිකවත් මේ වන තෙක් තමන්ට ලැබී නොතිබූ බවය. මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත් වී සිටින බවත් රට පුරා විවිධ ප්‍රදේශවල ගොවීන්ගේ මැසිවිල්ලයි.
වර්තමානයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් එහි ඇත්ත නැත්ත දැන ගැනීමට අපි මේ ගැන සොයා බැලුවෙමු. මේ පොහොර කතාවේ අතීත කතාව පිළිබඳ විමසීමේදී හෙක්ටයාරයකට රුපියල් පහළොස් දහසකට තිබූ පොහොර සහනාධාරය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ පසුගිය ආණ්ඩු සමයේය. ඉන්පසු පැවති ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබුණේ, එසේ රුපියල් විසිපන්දහසකින් ඉහළ නැංවූ පොහොර සහනාධාරය ඔක්තෝබර් මාසයේ සිට ලබා දීමටය. එහෙත් එකී තීරණයට පරහක් හිටියේය. ඒ මැකෝගෙනි. මැතිවරණයක් නිවේදනය කර ඇති අවස්ථාවක මෙලෙස පොහොර සහනාධාරය ලබා දීමෙන් එක් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්වයක් උදා වන හෙයින් මහ මැතිවරණය අවසන් වන තෙක් සහනාධාරය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශයට සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත දැනුම් දුන්නේය. එහෙත් මැකෝගේ තීරණයට ගොවි සංවිධාන උදැල්ල අතට අරන් පාරට බැස්සෝය. ඔවුන් තරයේ කියා සිටියේ මහ කන්නයට පෙර සහනාධාරය තමන්ට ලැබිය යුතු බවය.
ගොවි ජාතික සමුළුවේ සම කැඳවුම්කරු විමල්වත්තුහේවා මහතා පැවසුවේ වපුරනකොට මඩ පොහොර ටිකත්, ඊට පස්සේ සති දෙකක ඉඳන් යූරියාත්, ඊටත් පසුව සති 6 ක් යද්දී බණ්ඩි පොහොරත් ගැසිය යුතු බවත් පොහොර සහනාධාරය පහුවෙලා ලැබී වැඩක් නැති බවත්ය.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ සියලු ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් විසිපන්දහස බැගින් පොහොර සහනාධාරය අනිවාර්යයෙන්ම ලබාදෙන බවය.
නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවසුවේය.
“ලැබෙන මුදල ප්‍රමාදයේ යම් ගැටලුවක් තියෙනවා. එහි අපි ගැටලු කිහිපයක් හඳුනාගෙන තියෙනවා. එක් ගැටලුවක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 19,764 ක නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. ඒත් දැන් ඉන්නෙ 13,761 යි. ගොවීන්ගේ දත්ත එකතු කරගැනීමේදී මෙම නිලධාරී හිඟය බලපානවා. මෙම නිලධාරී හිඟයත් මේ වනවිට විසඳන්න සැලසුම් සකස් කර තිබෙනවා. දත්ත එක්රැස් කරන්නෙ පොතුහැර තිබෙන කෘෂි දත්ත මධ්‍යස්ථානයෙන්. මේ සියලු තොරතුරු ලබා ගැනීමේදී පමාවක් ඇති වෙනවා. මෙය විශාල ක්‍රියාදාමයක්. අපි මේ ගැටලුව හඳුනාගෙන තිබෙනවා. එය අපි ඉක්මනට ලිහනවා. තවත් ගැටලුවක් තමයි සියයට 2 ක් පමණ තාක්ෂණික ගැටලු මත අමාත්‍යංශයෙන් මුදල් දැම්මත් ගොවියාට සිය ගිණුමට මුදල් ලැබී නෑ. එයත් අපි විසඳනවා. පොහොර හිඟයක් නෑ. මඩ පොහොරත් යූරියාත් අවශ්‍ය තරමට තියෙනවා. පොහොරවල මිලත් මේ වනවිට අඩු කර තියෙනවා. යූරියා මිටියක් ගොවිජන මධ්‍යස්ථානවලින් රුපියල් 7500 කට ගන්න පුළුවන්. පෞද්ගලික වෙනත් ස්ථානවල මෙම මිලට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒත් අපි ඉදිරියේදී පොහොර මිල එක මිලක් එන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සැලසුම් හදන්න තීරණය කරලා තියෙනවා. සුළු වාරි කලින්ම වගා කළා. මහා වාරි ප්‍රමාද වුණා. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය ඇතුළත පොහොර මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. වගා කරන ක්‍රමය අනුවයි පොහොර මුදල් නිදහස් වෙන්නේ.” යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා පැවසූ වගා කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් දැන ගැනීමට අපි සිතුවෙමු. වර්තමානයේ උද්ගත වී ඇති පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් එය නිසි වෙලාවට ලැබෙනු ඇති බවත්ය.
එසේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසුවේය.
“මෙවර මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම ආරම්භ කළේ ඔක්තෝබර් 14 වැනිදා. එතැන් පටන් දිස්ත්‍රික්ක 22 ක ගොවීන් එක්ලක්ෂ නවදාහක් වෙනුවෙන් රුපියල් මිලියන 1292 ක් ලබා දී තිබෙනවා. වැඩිම දී තිබෙන්නෙ අම්පාර දිස්ත්‍රික්කයට. ඒ ගොවීන් 19,900 ක් වෙනුවෙන් රුපියල් මිලියන 291 ක්. පළවෙනි අදියරේ හෙක්ටයාර් 1 කට රුපියල් 15000 ක් දුන්නා. දෙවැනි අදියරේ රුපියල් දහදාහ බැගින් දෙන්න සැලසුම් කර තියෙනවා. දිස්ත්‍රික්ක 22 ක් වෙනුවෙන් ගොවීන් 47553 කට සහනාධාර දෙන්න මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා තිබෙනවා. පළමු අදියරේ පොහොර සහනාධාරය අපි ලබාදුන්නේ වැපිරූ කුඹුරුවලට ප්‍රමුඛතාව ලබා දෙමින්. ඒත් ගොවීන් ඉල්ලුවා ඊට කලින් දෙන්න කියලා. ඒ ඉල්ලීමට සවන් දෙමින් කුඹුරේ ප්‍රථම සීසෑම අවසන් වූ බවට අපට දැන්වූ වහාම පොහොර සහනාධාරය ලබා දෙන්න අප තීරණය කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර සහනාධාරය දෙන්න අපට දැනට හැකියාවක් නෑ. ඒකට හේතුව මහා වාරි යටතේ ප්‍රධාන ජලාශවලට ජලය නිකුත් කර දවස් කිහිපයයි. ඒ නිසා ගොවීන්ට කුඹුරුවල වැඩ ආරම්භ කරන්න හැකියාවක් ලැබී නෑ. ඔවුන් කුඹුරු වැඩ ඇරඹූ වහාම අපි කඩිනමින් ඔවුන්ටත් සහානාධාරය ලබා දෙනවා.” යැයිද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.
• සසංක චලන ගිම්හාන