මේ වන විටද ශ්‍රී ලංකාව මුහුණපා සිටින බරපතළම ගැටලුවක් වී ඇත්තේ ඖෂධ හිඟයයි. අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් රෝහල්වල පවතින බව කාලයක සිටම ඇසෙන කතාවකි. ඖෂධ හිඟය කෙහෙළියගේ වැඩක් යැයි පෙන්වා දුන් අය දැන් ඒ සඳහා දඩමීමා ලෙස ගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණය. කෙහෙළිය ගියත් රමේෂ් ආවත් දැන් නව රජයේ සෞඛ්‍ය ඇමැතිවරයෙක් පත්කර සිටියත් හිඟය නොසැපිරෙන්නේ කාගේ වරදකින්ද යන්න හැමෝම අසන ප්‍රශ්නයකි.
ජාතික විගණන කාර්යාලයට අනුව අප රටේ වැදගත් අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන අයිතම වශයෙන් රෝහල් සඳහා භාවිත කරන ඖෂධ වර්ග සංඛ්‍යාව 1146 කි. ශල්‍ය ද්‍රව්‍ය සංඛ්‍යාව 8648 කි. රසායනාගාර සංඛ්‍යාව 3900 කි. එක්ස්රේ අයිතම සංඛ්‍යාව 44 කි. කෙසේ වුවද (2022) මැයි මස 13 වැනිදා වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 241 ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880 ක හිඟයක් පැවති බැව් ඒ ආයතනය කියා තිබුණි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සැපයුම්වලින් 80% ක් ආනයනය කිරීමත් ඒ සමඟ මෑත කාලයේදී හටගත් ආනයන සීමා හේතුවෙන් 2022 අප්‍රේල් මාසයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පවතී. 2021 දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 815 ක ඖෂධ ආනයනය කළ නමුත් 2022 මැයි මාසය වන විට ආනයනය සඳහා ගෙවීමට තිබුණේ ඩොලර් මිලියන 25 ක පමණ විදේශ සංචිතයක් නිසා ඖෂධවලින් අතිමහත් බහුතරයක් හිඟ වූ හෝ සම්පූර්ණයෙන්ම ලබාගත නොහැකි තත්ත්වයට පත් විය. රජයේ රෝහල් තුළ 2024 අගෝස්තුව වන විටද ඖෂධ වර්ග 52 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පිළිගෙන තිබුණි. එම ඖෂධ ඇණවුම් කර ඇති බව හා මෙම හිඟ ඖෂධ අතර ජීවිත ආරක්ෂක ඖෂධ කිසිවකගේ හිඟයක් නැති බවද ඇමැතිවරයා කියා තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862 ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250 ක හිඟයක් පැවති බවත් දැන් එය 52 ක් බවත් ඔහු කියා තිබුණේ ඖෂධ හිඟය මෑතකදී අවම වී ඇති බව පෙන්වීමටය. එම හිඟ ඖෂධ 52 සඳහා ද ආදේශක ඖෂධ මෙරට තුළ පවතින බවත්, තවද ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල පවතින බවත්, ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වී යන බැවින් ඉදිරි කාලයේදී ඖෂධ හිඟය මගහැරී යනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කර තිබුණි. මැතිවරණ හා... හෝ...ව, නිසා ඖෂධ හිඟය පිළිබඳ මේ කතාබහ තාවකාලිකව යට ගොස් තිබුණද ඒ හේතුවෙන් රෝගීන් ලත් පීඩාව අවම නොවීය. දැන් මැතිවරණ රැල්ල බැස යද්දී ඖෂධ හිඟය පිළිබඳ රැල්ල නැවත නැගීවිත් තිබේ.
වත්මන් ඖෂධ හිඟය ගැන දේශයට අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, ඇමැති මුහුණු මාරු වූවාට නිලධාරී මාරුවක් සිදු නොවීම මේ ඖෂධ හිඟය සඳහා බරපතළ ලෙස බලපා ඇති කාරණාව බව පෙන්වා දෙයි. එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අනුව ඖෂධ 300 කට ආසන්න ප්‍රමාණයක හිඟ තත්ත්වයක් පවතින බව ඔහු කියයි. මීට හේතු වී ඇත්තේ ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය අඩාල කර තිබීම බව ඒ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලතලවල රැඳී සිටින නිලධාරීන් මගින් නිසි පරිදි වෛද්‍ය සැපයුම් ජාලය සම්බන්ධව පුරෝකථනය කොට අඩු මිලට ඖෂධ ඇයැදුම් නොකිරීම නිසා මේ තත්ත්වය ඇරැඹුණු බව ඔහු කියයි. ඖෂධ ඇණවුම් කිරීමට නිසි ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමට බාධා පමුණුවන නිලධාරීන් තවමත් සිටී නම් ඔවුන් ඉවත් කිරීමටද පියවර ගත යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය ලේකම් විසින් නිකුත් කරන ලද බාල ඖෂධවලට සම්බන්ධ ලිපිවල පිටපත් ලද එහෙත් ඒ අවස්ථාවේදී අක්‍රියව සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද වෛද්‍ය සැපයුම් ඒකකයේද රාජ්‍ය ඖෂධ සංස්ථාවේද ඖෂධ නියාමන අධිකාරියේද ඇතැම් ඉහළ නිලධාරීන් තවමත් එම නිලතලවල රැඳී සිටියදී එය සෞඛ්‍ය පද්ධතියේ අනාගතය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීම විශාල බාධාවක්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
කලක් තිස්සේම පැවති ඖෂධ හිඟය හේතුවෙන් නිසි ලෙස වාර්තා නොවූ මරණ රැසක් ද සිදුවන්නට ඇති බවත්, එබැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නව රජය පියවර ගත යුතුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.
• සුගත්