2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

මරණය කියන ඔරලෝසුව

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:02 172

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප සියලු‍ දෙනාටම නියත වශයෙන්ම යාමට සිදුවන ගමනකි මරණය. ඒහෙත් මිනිසුන් ලොව ජීවත් වන්නේ මරණය බොහෝ විට අමතක කොට දමාය. නමුත් මිනිසුන් තුළ තමන්ගේ මරණය පිළිබඳ යම් අනාවැකියක්, අසා දැනගැනීමට ඇති නොතිත් ආශාව පුදුම සහගතය. ශිෂ්ඨාචාරය පුරාවටම මරණය නිශ්චය කොට කීමේ හැකියාව අත්පත් කර ගැනීම වෙනුවෙන් සිදු වූ පර්‌යේෂන අපමණය. දැන් මරණයට අනාවැකි කියන්නට කෘතිම බුද්ධියද පෙරටවිත් තිබේ.

කෘතිම බුද්ධිය (AI)  ඔස්සේ බලගැන්වෙන ”‍මරණයේ ඔරලෝසුව”‍  ( Death Clock )  නම් දුරකථන යෙදවුම මෑතකාලීනව ලෝකයේ ඉහළ අවධානයක් දිනාගෙන තිබේ. ගූගල් සහ ඇපල් දුරකථන, පරිගණක මෙවලම් හරහා බාගත කර හැකි මෙම යෙදවුම ඔබගේ මරණය අනාවැකි කීමට දක්වන සමත්කම සුවිශේෂීය. 

Death Clock  යෙදෙවුම කෘතිම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය කර ඇත්තේ සහභාගීවන්නන් මිලියන 53ක පිරිසක් ආවරණය වන පරිදි දත්ත තොරතුරු එක් රැස් කරමින් සිදු කරනු ලැබූ ජාත්‍යන්තර ආයු අපේක්ෂා අධ්‍යයන 1,200ක තොරතුරු භාවිත කරමිනි. මරණයේ ඔරලෝසුව භාවිතයෙන් , පුරෝකථන ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන්නේ මූලික වශයෙන්ම සෞඛ්‍ය දත්තය. ඒ අනුව පුරෝකථනය කිරීම සඳහා කොලෙස්ටරෝල් මට්ටම, රුධිර සීනි මට්ටම, ව්‍යායාම චර්යාවන්, නින්ද, ජලය පානය කිරීම ආදී අපගේ සෞඛ්‍ය තොරතුරු භාවිත කරයි. ඊට අමතරව පෞද්ගලික සබඳතාවල ගුණාත්මකභාවය වැනි තොරතුරු පිළිබඳවද මරණයේ ඔරලෝසුව සැලකිලිමත් වේ.

තවද මානසික මට්ටම පිළිබඳ තොරතුරු ලබාගැනීමටත් , පවුලේ වැඩිහිටියන්ගේ ජීවන තොරතුරු රැස් කිරීමටත් මෙම යෙදෙවුම කටයුතු කරයි. කෙසේ වෙතත් මරණයේ ඔරලෝසුව භාවිත කරන්නන් විසින් ඊට අවංකවම නිවැරදි තොරතුරු ලබාදීම අතිශය වැදගත් වේ. කෙසේ වෙතත් වඩාත් ඵලදායී අනාවැකි දැනගැනීමට ලැබෙන්නේ වඩාත් නිවැරදි සහ පිළිගත හැකි තොරතුරු පරිශීලකයන් විසින් එය වෙත සපයා දීමත් සමඟයි.

සැලකිය යුතු තරම් විශාල දත්ත කට්ටලයක් භාවිත කරමින් විශ්ලේෂණ සිදුකොට මරණය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව මරණයේ ඔරලෝසුව අත්පත් කර ගැනීමට උත්සාහ දරන බව ඉතා පැහැදිලි කරුණකි. දත්ත සහ තොරතුරු මත පදනම්ව

පර්යේෂණාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මේ ඉදිරිපත්වීමම හේතුවෙන් , මෙම ව්‍යාපෘතිය පිළිබඳ සෞඛ්‍ය අංශ පමණක් නොව ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ ද අවධානය යොමුව ඇති බව කියැවේ.
ඊට තවත් හේතුවක් වී ඇත්තේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC)  වැනි බලයලත් මූලාශ්‍රවල පර්යේෂණ මගින් යෙදුමේ කෘතිම බුද්ධිය වෙත දත්ත සැපයීමයි. මරණයේ ඔරලෝසුවේ සංවර්ධකයින් ප්‍රකාශකයන් සඳහන් කරන පරිදි මේ සඳහා යොදාගෙන ඇති දත්ත පිළිගත හැකි මූලාශ්‍ර භාවිත කරමින් පරීක්‍ෂණාත්මකව ඔප්පු කරන ලද ඒවාය. 

ඒ නිසාම මරණයේ ඔරලෝසුව නම් මෙම පුදුම සහගත වැඩසටහනේ සංවර්ධකයා වන බ්‍රෙන්ට් ෆ්‍රැන්සන් පවසන්නේ එය හුදෙක් රෝගීන් මතම පමණක් භාවිත වන්නක් නොවන බවයි. බ්‍රෙන්ට් ෆ්‍රැන්සන් යනු ඇමරිකානු සෞඛ්‍ය පද්ධතිය තුළ රැක්‍ෂෙමින් මේ පිළිබඳ කටයුතු කරන ලද අයෙකි.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවෙ වෙසෙන බ්‍රෙන්ට් හට, මෙම නිර්මාණය සඳහා අදහස ඇතිවී ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සිය මිතුරන් ඇසුරේය. ජීවිතයේ මෙවන් ගැටලු‍වලට දීර්ඝකාලීන විසඳුම් ලබාදීම ඔහුගේ අභිප්‍රාය වී ඇති බව කියැවේ. මිනිසුන්ට සිය සෞඛ්‍යමය චර්යාවන් සම්බන්ධව අවධානය යොමු කරගනිමින්, ජීවිතය පිළිබඳ බිය ඇති කර ගත හැකි යෙදවුමක් නිර්මාණය කර ගැනීම ඔහුගේ අරමුණ වී තිබේ.

“මරණයේ ඔරලෝසුව යනු ඔබව බිය ගැන්වීමට පමණක් නොවේ. අපි ඔබට ඔබේ සෞඛ්‍යය පිළිබඳ ඇගයීමක් ලබා දෙනවා”‍ 

පසුගිය සතියේ ෆ්‍රැන්සන් ඩේලිමේල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුණි. ඔහුට අනුව මෙම යෙදුම සෞඛ්‍ය සහ ජීවිත රක්‍ෂණ සමාගම්වල අධ්‍යයනවලින් ලබාගත් උසස් AI ඇල්ගොරිතම සමඟ සාම්ප්‍රදායික දීර්ඝායුෂ දත්ත ඒකාබද්ධ කර නිර්මාණය කොට තිබේ. 

මරණයේ ඔරලෝසුව හුදෙක් මරණය පිළිබඳ පුරෝකථන සිදුකොට මිනිසුන් බියගන්වා පසකට නොවනන බවද සඳහන් කළ යුතුය. මරණ අනාවැකි සමඟ, එය ආයු කාලය දීර්ඝ කිරීම සඳහා පුද්ගලාරෝපිත නිර්දේශ ද සපයයි. උදාහරණයක් ලෙස එක් අයහපත් චර්යාවක් දීර්ඝකාලීනව නතර කිරීම හරහා තමන්ගේ ආයු අපේක්ෂාව වර්ධනය වන ආකාරය මරණයයේ ඔරලෝසුව ඔස්සේ පරිශීලකයන්ට පෙන්වා දෙනු ලබයි. එසේම ශරීරයේ පවතින විවිධ පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඒවයෙහි ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සඳහාද මරණය ඔරලෝසුව දායකත්වය වැදගත්ය.

මරණය පිළිබඳ අනාවැකි ආගමික සහ ගුප්ත ශාස්ත්‍ර පදනම් කරගෙන මෙතෙක් කල් කියැවෙනු දැක ගත හැකිවිය. පසුකාලීනව නූතන විද්‍යාවේ දියුණුවත් සමඟම පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ආයු අපේක්ෂාව පිළිබඳ ගණනය කිරීම් දත්ත සහ තොරතුරු භාවිතා කොට ජීවන වගු ඇසුරේ ගණනය කෙරුණි.

එහෙත් කෘතිම බුද්ධිය භාවිත කරමින් සිදුකෙරෙන මෙම උපකල්පන ඊට තරමක් වෙනස්ය ජීවන වගු ජනගහන මට්ටමේ ආයු අපේක්ෂාව පුරෝකථනය කරන නමුත් මරණ ඔරලෝසුව පිරිනමන්නේ තනි පුද්ගල-විශේෂිත විශ්ලේෂණයන්ය. මෙහි සංවර්ධකයන් පෙන්වා දී ඇති ආකාරයට පෝෂණය සහ මානසික සෞඛ්‍යය මරණයේ ඔරලෝසුවේ ඇල්ගොරිතමයට ඇතුළත් කිරීමෙන්, යෙදුමේ අරමුණ ලෙස ඉස්මතු කොට ඇත්තේ ”‍මරණ දිනයන් ගල් ගැසී නොමැති බව”‍ මනුෂ්‍ය සංහතිය වෙත පෙන්වීමයි.

කෙසේ වෙතත් මෙම යෙදවුම නොමිලේ භාවිත කළ හැක්කේ දින කිහිපයක් පමණි. අනතුරුව මරණය පිළිබඳ තවදුරටත් දැනුවත් වෙමින් තමන්ගේ සෞඛ්‍යමය චර්යාවන් වෙනස් කර ගනිමින් කටයුතු කිරීමට නම් මුදල් ගෙවීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න පරිශීලකයන් ප්‍රමාණයක් මරණයේ ඔරලෝසුව වටා එකතු වෙමින් සිටින බව පෙනී යති.

කෙසේ වෙතත් සිතු සිතුදේ නොමවන නොසිතූ දෙයක් වන ලෝකය තුළ මරණය පිළිබඳ නිශ්චිත අනාවැකි කීමේ හැකියාව සැබවින්ම තවදුරටත් ප්‍රශ්න සහගතය. සෞඛ්‍යමය කරුණු පමණක් නොව ජීවිතය කෙරේ බලපාන තවත් සාධක බොහොමයකි. කෙසේ වෙතත් මරණය පිළිබඳ අවධානයෙන් සිටීම , ජීවත් වන ටික කාලය නිවැරදිව භාවිත කිරීම සඳහා යහපත් අභිප්‍රේරකයකි. ඒ උදෙසා මරණයේ ඔරලෝසුවද කදිම ශක්තියක් බව පෙනීයයි.

• චමිඳු නිසල් ද සිල්වා 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05