ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ දීමනා සහ වරප්‍රසාද කප්පාදු කරන බව අලුත් ආණ්ඩුව ප්‍රකාශ කරයි. එය මැතිවරණයට පෙර ඔවුන් ලබාදුන් පොරොන්දුවකි. මැති ඇමැතිවරුන්ගේ දීමනා සහ වරප්‍රසාදවලට අමතරව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමිවන දීමනා සහ වරප්‍රසාද කප්පාදු කිරීමට ද ආණ්ඩුව තීරණය කර තිබේ. මහජන සේවය යනු ගරු සේවයකි. එහෙත් මහජන සේවය සඳහා ජනතාව නියෝජනය කරන බව පවසමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද වෙනුවෙන් වැය වන්නේ ජනතා සුබසාධනය සඳහා වැය කිරීමට ඇති මුදල්ය. එහෙයින් මැති ඇමැතිවරන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ වරදක් නොමැත. මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ.
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
“හිටපු ඇමැතිවරු නිවාස භාරදීලා තියෙනවා. අපේ ඇමැතිවරු කිසිවෙක් නිවාස ඉල්ලලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තියෙන දිනවල නවතින්න මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් දෙනවා. ඇමැතිවරයා විදියට මට V8 වාහන තුනක් ලැබෙනවා. නමුත් ඒ කිසිවක් මම පාවිච්චි කරන්නේ නෑ. වැටුප මන්ත්‍රීවරුන්ට හිමියි. හැබැයි විශ්‍රාම වැටුප නම් අනිවාර්යෙන්ම අහෝසි කරනවා. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිත කරන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මහජන මුදල් අසීමිත ලෙස නාස්ති කරමින් මැති ඇමැතිවරුන්ට වරප්‍රසාද ලබා දීම අවම කිරීම වැදගත්ය. පසුගිය කාලයේ මැති ඇමැතිවරුන්ට හිමි වැටුපට අමතරව තවත් බොහෝ දීමනා හිමි විය. එලෙස දීමනා සහ වරප්‍රසාද ලබාගත් ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී තමන් නියෝජනය කළ ජනතාව වෙනුවෙන් එක් දිනයක හෝ කතා කර නොමැති බවද දැකිය හැකිය. එය හැන්සාඩ් වාර්තාවලින් සනාථ කළ හැකිය.
මේ වන විට පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්ද පවත්වා නොමැති හෙයින් ඒවායේ මන්ත්‍රීවරුන් නොමැත. දැනට ක්‍රියාකාරීව පවතින්නේ පසුගියදා මැතිවරණයක් පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි. එහි සභිකයන් ගණන 30 කි. සාමාන්‍යයෙන් මේ සියලු ආයතන ක්‍රියාකාරීව පවතින්නේ නම් රටේ සිටින සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5068 කි. ඉන් 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. පළාත් සභා මන්ත්‍රීන් ගණන 455 කි. නගර සභා මන්ත්‍රීන් ගණන 445 කි. මහ නගර සභා මන්ත්‍රීන් ගණන 417 කි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණන 4386 කි. මේ සියල්ලන් නඩත්තු කළ යුත්තේ මහජන බදු මුදලිනි.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසික වැටුප ලෙස රුපියල් 54,285 ක්, පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක දීමනාවක්, පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන් රුපියල් 2,500 ක දීමනාවක්, කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් 100,000 ක දීමනාවක්, රුපියල් 1,000 ක සංග්‍රහ දීමනාවක්, රජයෙන් වැටුප් ලබන රියැදුරකු නොමැති නම් රුපියල් 3,500 ක දීමනාවක්, එක් එක් මන්ත්‍රීවරයා තේරී පත්වුණු දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර අනුව ගෙවනු ලබන ඉන්ධන දීමනාව (වැයවන ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොළ මිල ගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලීටර් 283.94, ගම්පහ සහ කළුතර ලීටර් 355.58), ස්ථාවර සහ ජංගම දුරකථන සඳහා මසකට රුපියල් 50,000 ක දීමනාවක්, කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව. අඩි 900 ක දෙමහල් නිවසක්), ඩොලර් 50,000 ක් වටිනා තීරුබදු රහිතව වාහනයක්, (මෙම වාහන බලපත්‍රය වසර 5ක් යනතුරු විකිණීමට නොහැකි බවට වූ ක්‍රමවේදය ඉවත් කර එම වාහනය විකිණීමට අවස්ථාව ලබා දී ඇත. බොහෝ විට තීරුබදු රහිත වාහනයක් කෝටි 2 ½ ක පමණ මුදලකට අලෙවි කෙරේ.) සම්බාහන පහසුකම් සහ විශේෂඥ වෛද්‍යවරයකු නියම කරන ඖෂධ නොමිලයේ ලබාගත හැකිය. ලිපි ද්‍රව්‍ය, ලැප්ටොප් පරිගණකයක්, හා ෆැක්ස් යන්ත්‍රයක් නොමිලයේ ලැබේ. විදේශ සංචාර හා දරුවන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව ද හිමිය.
මන්ත්‍රීවරයකු සඳහා වෛද්‍ය රක්ෂණය ලක්ෂ 3,50000 කි. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිව් දෙනකු සඳහා රුපියල් 10,000 ක ප්‍රවාහන දීමනාව, නිදහස් තැපැල් පහසුකම් ලෙස (එක් කාර්තුවකට රු. 43,750/- ක් බැගින්) වාර්ෂිකව රුපියල් 350,000 ක් වටිනා මුද්දර හා අවම මුදලකට පාර්ලිමේන්තුවෙන් ආහාර වේලක් ලබා ගැනීමේ පහසුකමද මැති ඇමැතිවරුන්ට හිමිය. 2000 වසරේ ආහාර වේලක මිල වූයේ රුපියල් 15 කි. 2022 දී එය රුපියල් 300 දක්වා ඉහළ දැමීය. එම මුදලට ලබා දෙන ආහාර වේලක සැබෑ මිල රුපියල් 2000කට අධික බව පැවසේ.
මීට අමතරව විශ්‍රාම වැටුපක් ද මන්ත්‍රීවරයකුට හිමිය. සාමාන්‍ය රාජ්‍ය සේවකයකු වසර 25 ක් 30 ක් පමණ කාලයක් සේවය කොට වයස අවුරුදු 60 න් පසු විශ්‍රාම යාමෙන් පසු විශ්‍රාම වැටුපත් ලැබේ. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු වන්නේ වසර 5 ක් පමණි. පාර්ලිමේන්තු ධුර කාලය නිමකළ විට ඒ වනවිට තමන් ලැබූ මන්ත්‍රී ධුරයට නියමිත වැටුපෙන් 1/3 ක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස ලැබේ. වසර 15 කට වඩා වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් නම් වැටුපෙන් 2/3 ක්ද අනුමත දීමනා ද හිමි වේ. තුනෙන් එකකට ආසන්න අගය වන්නේ රු. 18,095/- කි. විශ්‍රාම වැටුප් හිමියන්ගේ ජීවන වියදම් දීමනාව ද එකතු වූ විට පාර්ලිමේන්තුව මුල්වරට නියෝජනය කරන අනාගත මන්ත්‍රීවරයකුගේ අවම විශ්‍රාම වැටුප රු. 55,270/- ක් පමණ වේ. පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 255 දෙනකුට 2024 පෙබරවාරි මාසයේ රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අසූඑක් දහස් හත්සිය අනූනවයයි ශත හතළිස් හයක් (16,181,799.46) විශ්‍රාම වැටුප් ලෙස ගෙවා තිබේ. ඒ අනුව වසරකට කෝටි 19 ඉක්මවූ විශ්‍රාම වැටුපක් වාර්ෂිකව මහජන බදු මුදලින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් සඳහා වෙන් කිරීමට සිදුවී ඇත.
පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් වචනයක් හෝ කතා කර නොමැති බොහෝ දෙනෙක් විශ්‍රාම වැටුප් ලබති. එහෙයින් විශ්‍රම වැටුප අහෝසි කිරීමට නව රජය තීරණය කර ඇත්තේ ඔවුන් තවදුරටත් ජනතාවට බරක් නොවනු පිණිසය. ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප රුපියල් 79,841.66 කි.
අතීතයේ කිසියම් පුද්ගලයකු දේශපාලනයට පිවිසියේ ජනතාවට සේවය කිරීමේ අරමුණින් හෝ කිසියම් තත්ත්වයක් හෝ අභිමානයක් ලෙස විනා දේශපාලනයෙන් හරිහම්බ කර ගැනීමේ අරමුණින් නොවේ. එහෙත් පසුකාලීනව දේශපාලනය දූෂිත වූ අතර දේශපාලනයට පිවිසි වැඩි දෙනකුගේ අරමුණ වූයේ ජනතාවට සේවය කිරීම නොව දේශපාලනයෙන් හම්බකර ගැනීමය.
මන්ත්‍රීවරුන්ට දීමනා ලබා දීම ආරම්භ වූයේ 1933 රාජ්‍ය මන්ත්‍රණ සභා සමයේ සිටය. එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප සභාපති සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ ඩී.බී. ජයතිලක යෝජනාවක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයකුට රුපියල් 400 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම යෝජනාවට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විරුද්ධ වූ නමුදු ඩී.එස්. සේනානායක ඇතුළු බහුතර නියෝජිතයන් පිරිසක් එම යෝජනාවට සහය පළ කළ බැවින් 1933 වසරේ සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි මන්ත්‍රීවරුන්ට රුපියල් 400 ක මාසික දීමනාවක් හිමි විය. එය 1947 වසර දක්වා අඛණ්ඩව ලැබිණි.
ලංකාවේ පළමු මහ මැතිවරණය 1947 වසරේදී පැවැති අතර එම මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසි මහජන නියෝජිතයන්ට මෙන්ම, පත් කළ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අයට දීමනා රැසක් හිමි විය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී මන්ත්‍රීවරුන්ට ලැබුණු රුපියල් 400 ක දීමනාව රුපියල් 600 ක් දක්වා ඉහළ ගියේය. ඊට අමතරව මන්ත්‍රීවරුන්ට රාජකාරි කටයුතු සඳහා ලිපිකරුවකු වෙනුවෙන් රුපියල් 75 ක දීමනාවක් ද, වාහන බලපත්‍රයක්, ඉන්ධන සඳහා මසකට රුපියල් 50 ක කූපනයක් ද සිය මෝටර් රථය දුම්රියෙන් කොළඹට ගෙන ඒම සහ ආපසු ගෙන යාම සඳහා දීමනාවක් ද, මන්ත්‍රීවරයාට පළමු පන්තියේ දුම්රිය ගමන් බලපත්‍රයක් හා සේවකයාට තුන්වැනි පන්තියේ දුම්රිය ගමන් බලපත්‍රයක් ද, සිය මැතිවරණ බල ප්‍රදේශය තුළ දී දුරකථන, තැපැල්, සහ විදුලි පණිවුඩ වැනි සේවා නොමිලේ ලබා දීම හා රුපියල් 2 ක් වැනි මුදලකට පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව ද හිමි විය.
1958 වසරේ බණ්ඩාරනායක රජය මන්ත්‍රීවරයකුගේ මාසික වැටුප රුපියල් 825 ක් දක්වා ද, ලිපිකරුට ගෙවූ දීමනාව රුපියල් 100 දක්වා ද වැඩි කළේය. ඊට අමතරව පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා දිනකට රුපියල් 50 ක දීමනාවක් හිමි විය. ඉන් වසර 15 ක් යනතුරු යළි මන්ත්‍රී වැටුප වැඩි වූයේ නැත. 1973 වසරේදී සිරිමා බණ්ඩාරනායක රජය විසින් මන්ත්‍රී වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ අතර පාර්ලිමේන්තු සභාවාරයකට සහභාගි වීම සඳහා ලබාදුන් රුපියල් 50 දීමනාව රුපියල් 100 දක්වා වැඩි කළේය.
1977 ජේ.ආර්. ජයවර්ධන රජය මන්ත්‍රීවරුන්ට ලබා දුන් දීමනා ආදායම් බද්දෙන් නිදහස් කිරීමට කටයුතු කළේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවන සෑම අවස්ථාවකම මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කිරීමට තීරණය කෙරිණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ක්‍රමයක් ආරම්භ කළේ ද ජේ.ආර් පාලනය යටතේය. මත්පැන් බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර සහ මගී ප්‍රවාහන බස් සඳහා මාර්ග බලපත්‍ර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මගින් ලබා දෙන ප්‍රතිපත්තියක් ද ක්‍රියාත්මක වූ අතර එමගින් මන්ත්‍රීවරුන්ට අනීතික ලෙස විශාල ආදායමක් උපයා ගැනීමට හැකි විය.
1985 වසරේදී මන්ත්‍රී වැටුප රුපියල් 7,020 දක්වා වැඩි කරන විට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 200 ක් දක්වා වැඩි විය. මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමද ආරම්භ විය. ඊට අමතරව රුපියල් 20,000 කට අධික මිලකින් යුත් ලෑන්ඩ් රෝවර් හෝ පැජරෝ වර්ගයේ ජීප් රථයක් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මිලදී ගැනීමට අවස්ථාව හිමි විය. මසකට රුපියල් 1,500 ක ඉන්ධන දීමනාවක් ද මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේය.
1989 රණසිංහ ප්‍රේමදාස රජය රුපියල් 7,020 ක්ව පැවැති මන්ත්‍රී වැටුප රුපියල් 10,000 ක් දක්වා වැඩි කළේය. ඉන්ධන දීමනාවද රුපියල් 2,000 දක්වා වැඩි කළ අතර 1993 වසරේ මන්ත්‍රී වැටුප යළි රුපියල් 13,250 දක්වා ඉහළ දැමීය.
1993 වසරේ සිට ක්‍රමයෙන් වැඩිවුණු මන්ත්‍රී වැටුප 2005 වසර වන විට රුපියල් 22,100 ක් දක්වා ඉහළ ගියේය. එසේම ඉන්ධන දීමනාව ද රුපියල් 7,500 ක් දක්වා ඉහළ ගියේය. 2006 වසරේදී එය රුපියල් 38,192 ක් දක්වා වැඩි කරන ලද අතර 2007 වසරේදී එම වැටුප රුපියල් 54,285 දක්වා ඉහළ දැමිණි. වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ එම වැටුපය.
(මෙහි අන්තර්ගත ඇතැම් ඓතිහාසික කරුණු Road Media වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.)
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා