2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ලැමසූරියගම හැදූ ලැමෂියර්ගේ වැඩ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04 946

“ලැමෂියර් කියන්නේ ඉංග්‍රීසි පාලන කාලෙ නුවරඑළියේ හිටපු උප දිසාපති කෙනෙක්. ඔහු ප්‍රංශ ජාතිකයෙක්. එයා රාජකාරි කරන කාලේ උඩහේවාහැට පැත්තේ ජනාවාසයක් අලු‍තින් පිහිටවූවා. ඒකට නම දැම්මේ ලැමෂියර්ගම කියලා. නමුත් පසුව ජනතාව ඒ ජනාවාසය ලැමසූරියගම කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ආවා ඔහුට තමන්ගේ නම ගමට දැම්මා කියලා. ඔහු එවිට පිළිතුරු දුන්නේ ඒ ගමට මුලින්ම ලාහිරු රැස් වැටෙන නිසා ලා සූරිය ගම කියලා කියන අර්ථයෙන් ලැමසූරිය ගම නම දැමූ බවයි.” අප සමඟ එසේ පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය අනුර මනතුංගයි.

ලැමසූරියගම හඟු‍රන්කෙතට නුදුරු පදියපැලැල්ලට සමීපව පිහිටි සුන්දර කඳුකර ගම්මානයකි. හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩ හරහා මෙන්ම මහනුවර මහවැලි රජ මාවත ඔස්සේ ද ලැමසූරියගමට පැමිණිය හැකිය. මහනුවර සිට දුර කි.මී. 47කි. මේ ගමට ආසන්නයෙන් බෙලිහුල්ඔය ගලා බසී. පන්නල් ඔයත් ගම අසලින් ගලා බසින්නේය. කඳුවලින් වටවූ ගමේ පහත්බිමේ හෙල්මළු ආකාරයේ කෙත්යාය පිහිටා තිබේ. වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ අභයභූමි කලාපයට මේ ගම අයත්ය. කුඹුරුයායට ජලය සපයන අමුණ 1893 දී ඉදිකර ඇත්තේ උප දිසාපති ලැමෂියර්ගේ මෙහෙයවීම යටතේය.

තමා සේවය කිරීමට බලාපොරොත්තු වූ ජනතාවගේ නීති, සිරිත් විරිත් සහ සංස්කෘතිය අවබෝධ කර ගැනීම තම යුතුකම බවට පත් කරගත් මිනිසෙක් 1875 ජූලි 8 දා ලංකාවේ සිවිල් සේවයට එක්විය. ඔහු මහාචාර්ය මනතුංග ඉහතින් සඳහන් කළ සී.ජේ.ආර්. ලෙ මෙෂියර් ය. (C.J.R. Le Mesurier).

සිසිල් ජෝන් රෙජිනෝල් ලැමෙෂියර් උපත ලද්දේ 1855 දී අයෝනියානු දූපත්වලදීය. අධ්‍යාපනයෙන් පසුව මේ තරුණයා ලංකාව නම් ඉංග්‍රීසි යටත්විජිතයට නැව් නැංගේය. අනෙක් සිවිල් නිලධාරීන්ට වෙනස් පුද්ගලයකු වූ ඔහු නුවරඑළිය උප දිසාපති ලෙස පත්වූයේ 1889 මාර්තුවලදීය. එකල උප දිසාපති තනතුර ප්‍රාදේශීය පාලකයකු වැනි බලයක් සහිත තනතුරකි. මේ නිසා ලැමෂියර් තමන්ට සුදුසු යැයි සිතෙන දේ ආණ්ඩුවේ අවසරයකින් තොරව ක්‍රියාත්මක කළේය. වරෙක ඔහු සීතල නුවරඑළිය අවට ජලාශවලට යෝග්‍ය මසුන් ඉන්දියාවෙන් සහ එංගලන්තයෙන් හඳුන්වා දුන්නේ ආණ්ඩුවෙන් අහන්නේ නැතිවය. එංගලන්තයෙන් ගෙනා ට්‍රවුට් මසුන් අදටත් නුවරඑළිය හෝටන් තැනිතලාව සහ කඳපොළ අවට ජලාශවල දැකගත හැකිය.

ඔහු ජනාවාස යෝජනා ක්‍රම කිහිපයක්ම ආරම්භ කළේය. බෝධි ඇළ ජනපදය පවුල් 200කට අධික ජනතාවක් පදිංචි කළ අතර ගලබොඩ වාරිමාර්ග යෝජනා ක්‍රමය පැරණි වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කර ඇරඹුණු වැඩසටහනකි.

1893 දී ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයේ භූ විද්‍යාව, වනාන්තර සහ සතුන්, ආගමික උත්සව, කුල බෙදීම්, වී ගොවිතැන, ගම්මාන සහ වාරිමාර්ග, ගස්වැල්, වගාබිම් ගැන තොරතුරු එකතු කර manual of the Nuwara Eliya District  නම් කෘතිය පළ කළේය. එකල දිස්ත්‍රික්කය කොත්මලේ, උඩහේවාහැට සහ වලපනේ යනුවෙන් කොටස් තුනකට බෙදා තිබුණු අතර ඒවා පාලනය කළේ රටේ මහත්වරු යටතේය. රටේ මහත්මයකුගේ වාර්ෂික වැටුප රු. 720 ක් බව ලැමෂියර් සඳහන් කරයි. ඔහුගේ කෘතියේ දැක්වෙන පරිදි එකල උප දිසාපතිගේ වාර්ෂික වැටුප රු. 7200 ක් සහ ගමන් වියදම් විය. කච්චේරියේ ප්‍රධාන ලිපිකරුගේ වැටුප රු. 1300 ක් වන අතර භාෂා පරිවර්තකගේ වැටුප රු. 900 කි.
පසුව සිංහල උගතකු වූ ටි.බී. පානබොක්කේ සමඟ එකතු වී පුරාණ නීති ග්‍රන්ථයක් වන නීති නිඝණ්ටුව ඉංග්‍රීසියට පරිවර්තනය කළේය.

හේවාහැට ප්‍රදේශයේ ජීවත් වන නිල් ඇස් ඇති ලා පැහැති සමක් ඇති සමහර අය තුළ ලැමෂියර්ගේ DNA අදත් දැකිය හැකිය. ඔහු ජීවත් වූයේ සහ සේවය කළේ බොහෝ යටත්විජිත නිලධරයන් ස්වදේශික කාන්තාවන් සමඟ යහනට යාම ගෞරවයක් ලෙස සැලකූ කලකය. ඔහු චතුර ලෙස සිංහල කතා කිරීමට ද ඉගෙන ගත්තේය.

ඔහුගේ සමහරක් පෞද්ගලික දුර්වලතා හැරුණුවිට මේ මිනිසා සුවිශේෂී සිවිල් සේවකයකු බවට සැකයක් නැත. මුඩු ඉඩම් ආඥා පනත සහ කුඹුරු බද්ද ගොවි ජනතාව වෙත එල්ල කරන අහිතකර බලපෑම කෙරෙහි අවධානය යොමුකිරීමේ ඔහුගේ නොපසුබට උත්සාහය ලංකා ජනතාවට ඔහු කළ විශිෂ්ටතම සේවය විය හැකිය.

එවැනි රාජකාරියට කැප වූ මිනිසෙක් යටත්විජිත පාලනයේ වාසියට හේතුවක් සලකුණු කළත් පාලන නීතිවලට ගැති නොවූ ලැමෂියර්ට ආණ්ඩුවෙන් ලැබුණු ත්‍යාගය වූයේ ඔහු සිවිල් සේවයෙන් නෙරපීමයි. 1896 දී වැඩබලන ආණ්ඩුකාර සර් එඩ්වඩ් නොයෙල් වෝකර් මාතර උප දිසාපති ලැමෂියර් වෙතට වැඩ තහනම් කිරීමේ ලිපියක් යැව්වේය. එයට හේතුව වුණේ ඔහු මුස්ලිම් ආගමට හැරී විවාහ වීමයි. එය එකල සිවිල් නිලධාරීන් අතර බොහෝ කතාබහට ලක්වූ කතාවකි. ලැමෂියර් එයට පිළිතුරු දුන්නේ “මගේ ආගම කුමක් වුවත් ලංකා රජයට ඒකෙන් ඇති වැඩේ කුමක්ද?” යන්නයි. ආගම රාජ්‍ය සේවකයකු වශයෙන් තමාගේ කාර්යක්ෂමතාවයට හෝ චරිතයට බලපෑවේද යන්න ඔහු විමසා සිටියේය. Le Mesurier ජීවත් වූයේ වික්ටෝරියානු යුගයේ වුවත් ඔහු තම පළමු බිරිඳගෙන් දික්කසාද වී සිටි බැවින්, සේවයෙන් පහ කිරීම වැනි හදිසි ක්‍රියාමාර්ගක් නුසුදුසු බව එකල කතාබහට ලක්විය.

ඔහු අශ්වයන් පැදවීමටත් සූරයෙක් විය. කොළඹ, කැලණි මිටියාවතේ සහ මඩකලපුවේ පවා අශ්ව රේස්වලට ඔහු එක් විය. 1889 දී කොළඹ ගාලු‍ මුවදොර අශ්ව රේස් පිටියේ පැවැති තරගයකදී තවත් අයෙක් ලැමෂියර්ට චෝදනා කළේ ඔහු පැදවූ අශ්වයා වැරදියට ඉදිරියට පන්නන බවයි. එසේ චෝදනා කළ තැනැත්තාගේ මුහුණට පහර දුන් බවට ඔහුට පසුව චෝදනා එල්ල විය. ලැමෂියර්ගේ දෙවැනි බිරිඳ කලිජා අධිෂ්ඨානශීලී භක්තියෙන් තම ස්වාමිපුරුෂයාට සහාය වූ ශක්තිමත් කැමැත්තක් ඇති කාන්තාවක් වූවාය. 1873 දී ඉන්දියාවේ පන්ජාබ්හි ඇලිස් මේරි රිවට්-කාර්නැක් ලෙස උපත ලැබූ ඇයට 1895 දී එංගලන්තයට ගියවිට, ලැමෂියර් හමුවුණේය.

ලංකා සිවිල් සේවයෙන් පහ කිරීමෙන් පසුව එංගලන්තයට ගිය ලැමෂියර් 1902 දී නීතිඥයෙක් ලෙස පත්විය. ඒ වන විට ඔහුගේ විවාහය අසාර්ථක වී තිබූ අතර ඉස්ලාමය කෙරෙහි තිබූ උනන්දුව ද අඩු වී තිබුණි! 1904 දී ලැමෂියර් බටහිර ඕස්ට්‍රේලියාවේ නීතිඥවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. තුන්වැනි බිරිඳ වූ රේචල් මල්ලම් සමඟ එක්වූයේ එහිදීය. එකල ඔහු උසාවියේදී බොරු කී බවට නීතිඥයකුට චෝදනා කළ අතර, එම ගැටුම සමථයකට පත්කිරීමට ගිය විට පහරක් එල්ල කිරීමට ගිය බවටත් චෝදනා එල්ල කෙරිණි. 1931 දෙසැම්බර් මාසයේදී ඔහු මිය යන තුරුම ලැමෂියර් නීතිඥවරයෙක් ලෙස සේවය කළේය.

මේ ප්‍රංශ ජාතිකයා අප රටේ පැරණි ස්මාරක ගැනත් දැක්වූයේ ලොකු උනන්දුවකි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෙල්ලිපි කිහිපයක්ම සොයාගෙන වාර්තා කළේ ඔහුය.

1886 දී හඟු‍රන්කෙත දියතලා කන්දට නැගි ලැමෂියර් එහි පර්වතයක කොටා තිබූ මහනුවර රාජධානි සමයට අයත් සෙල්ලිපියක් හමුවිය. ඔහු සිය රාජකාරි දිනපොතේ සඳහන් කරන්නේ එහි ශ.ව. 1730 සඳහන් කර තිබුණු බවයි. පසුව කියැවූ විට එම වර්ෂය ශ.ව. 1632 (ක්‍රි.ව. 1708) බව පැහැදිලි විය. දියතලා කන්දට නැග මෙම ලිපිය කෙටවූයේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු බව ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න සඳහන් කර සිටී. දිනක් ලැමෂියර් හඟු‍රන්කෙත සිට බෝවල දක්වා ගමන් කරන විට කුඩා ඇළක් හරහා දමා තිබූ ගල් ටැඹක් දුටුවේය. එය පැරණි අක්ෂර සහ ඉර හඳ සලකුණු සහිත සෙල්ලිපියක් බව ඔහුට නිරීක්ෂණය විය. උනන්තැන්නේ ටැම් ලිපිය නමින් පසුව හඳුන්වන්නේ මෙම සෙල්ලිපියයි. ශ.ව. 1646 (ක්‍රි.ව. 1724) ලියා ඇති එය දෙමළ ටැම් ලිපියකි. හඟු‍රන්කෙත දෙලු‍න්ගහකොටුව පන්සලේ තිබූ ටැම් ලිපිය ද මුලින්ම වාර්තා කළේ ලැමෂියර් විසිනි. ඔහු 1886 ඔක්තෝබර් 20 දා එය දැකබලාගෙන වාර්තා කර තිබේ.

• කුසුම්සිරි විජයවර්ධන

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05