කතරගම දෙවිඳුන්ගේ සහ වල්ලි මාතාවගේ විවාහ මංගල්‍ය මස් මාංශයෙන් පිරී පැවතිණි. මේ සඳහා සහභාගී වීමට නොහැකිව සිටි සිද්ධ පත්තිනි දිව්‍යාංගනාවෝ ගරා යක්ෂයාගේ උපකාර පැතූහ. මංගල උත්සවයට ගිය ගරා යක්ෂයා මඟුල් ගෙදර කෑම මේසයම එක අතකට ගෙන මුඛයේ තබා ගත්තේය. එයින් නොසෑහී මුහුදු භාගයක මස්ඨකයන් හා ජලය වළඳා කසපැන් හෙවත් කුරුම්බා බිව්වේය. මේ බව සඳහන් වනුයේ සබරගමු ශාන්තිකර්මයක් වන ගරා යක් ශාන්තියේය. පොල්, කුරුම්බා ගෙඩිය එදවස මඟුල් ගෙදරට නැතුවම බැරි දෙයක් බවට පත් වී තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. විජය කුමාරයාගේ ලංකාගමනයේදී යාගයක් සඳහා තැඹිලි භාවිත කළැයි සිංහල ජනප්‍රවාදයේ ද එයි. එහෙත් වර්තමානය වනවිට යාගවලට කෙසේ වෙතත් බොන්නවත් තැඹිලි ගෙඩියක්, කුරුම්බා ගෙඩියක් සොයා ගන්නට අමාරු වී ඇත්තේ පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, පාන් ගෙඩියකට නොදෙවැනි බැවිනි.
මෙරට අක්කර ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක පොල් වගා කර ඇත. එයින් වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2000 - 3500 අතර වෙයි. අපේ රටේ වැඩිම පොල් වගාව සිදු කරනුයේ වයඹ පළාතේය. කොළඹ, හලාවත, කුරුණෑගල යා කරමින් පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙනුයේත් ඒ නිසාය. එමෙන්ම ගිය වසරේ පොල් දිනයට සමගාමීව උතුරටත් පොල් ත්‍රිකෝණයක් ලැබිණි. ඒ මුලතිව්, යාපනය සහ මන්නාරම යන නගර කේන්ද්‍ර කරගෙනය.
මෑත කාලයේ පොල් ගෙඩියක මිල අහස උසට ගියේ රුපියල් 200 ටත් ආසන්නවය. වර්තමානයේ මතුව ඇති පොල් හිඟයත් එයට හේතුවකි. ගෙදර කුස්සියට මෙන්ම විශේෂ උත්සව අවස්ථාවලට සහ ආගමික පුදපූජාවලටද පොල් ගෙඩිය නැතුවම බැරි දෙයක් විය. එහෙත් මේ වනවිට ඒ කිසිවකට ගන්නට පොල් සොයා ගන්නවත් තැනක් නැති තරම්ය. රටටම එලොව පොල් පෙනිලාය. පොල් පිටරටින් ගෙන්වීම ගැනද කසුකුසුවක් පවතී. පොල් සංවර්ධන අධිකාරිය පවසනුයේ කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය පොල් මද ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යයෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇති බවය. පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කරන්නේ පොල් නිෂ්පාදනය අඩුවීම හා ආනයනයට ලැබුණු විශාල ඉල්ලුම පොල් මිල ඉහළ යාමට බලපා ඇති බවය. ඒ අනුව ඉල්ලුමට අදාළ සැපයුමක් ලබාදීමට පොල් මද ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සංදේශයක් සකස් කර ඇතැයිද හෙතෙම පවසයි.
මෙරට පොල් පර්‌යේෂණ ආයතනය පිහිටා ඇත්තේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේය. එම ආයතනය අනතුරු ඇඟවීම් කළේ මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවත් එය එන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බවත්ය. එහි අධ්‍යක්ෂ එන්.එස්. ආරච්චිගේ මහත්මිය පවසනුවේ නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බවයි. පොල් වෙන්දේසියේදී රු. 100 කට පවත්වාගෙන යාමටත්, පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමටත්, අපනයනය සඳහා අවශ්‍ය පොල් මද ආනයනයටත් පොල් සංවර්ධන අධිකාරියට යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ සඳහා තවම කිසිදු අවසරයක් ලැබී නැති බවත් පොල් පර්‌යේෂණ ආයතනය වැඩිදුරටත් පවසයි.
හාල් පෝලිම්, තෙල් පෝලිම් මදිවාට දැන් පොල් පෝලිමත් එහෙමමය. පොල් වගා කිරීමේ මණ්ඩලයේ ජංගම ලොරි රථ මගින් පොල් ගෙඩියක් රුපියල් 130/= අතර මිලකට ජනතාවට බෙදාහරිමින් සිටී. උපරිම පොල් ගෙඩි 5 ක සීමාවක් යටතේ මෙලෙස ජංගම ලොරි රථ මගින් ප්‍රධාන නගර ආශ්‍රිතව පොල් බෙදා හැරේ. එහෙත් වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමට නම් බලධාරීන්ගේ මෙවැනි උත්සාහ අගය නොකරම බැරිය.
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරනුයේ මෙම ගැටලුවට හේතුව රටේ පොල් නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පිටරට පටවන්නට බහුජාතික සමාගම්වලට ඉඩදීම බවය. ඔවුන් පෙන්වා දෙන්නේ අපේ රටේ නිෂ්පාදනය කෙරෙන පොල් රටේ ජනතාවට ප්‍රමාණවත් බවය. එහෙත් පොල් වතු හිමියන් කියන්නේ පහුගිය කාලයේ පොල් ගස්වලට බලපෑ මයිටා උවදුර ඵලදාව හීන කිරීමට බලපෑ බවය. පොල් ලෙල්ලට වටිනාකමක් හිමිවීම පොල් ඵලදාව අඩුවීමට වක්‍රව බලපා ඇත. ගස් යට දිරෙන්නට හැරි පොල් ලෙල්ල රට යැවීමෙන් ස්වාභාවිකව ගසට ලැබුණු පොහොර අහිමි වී තිබේ. ඔවුන් කියන හැටියට මෙරට ජනතාවට වර්තමානයේ මෙවැනි ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත්තේ මීට වසර කිහිපයකට ඉහතදී රජයෙන් දුන් පොහොර සහනාධාරය අවලංගු කිරීමේ ප්‍රතිඵලය මත බවය.
පවතින පොල් හිඟයට විසඳුමක් ලබාදීමේ අරමුණින් නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා දීමට පොල් පර්‌යේෂණ ආයතනය මේ වනවිට සමත් වී තිබේ. මෙම නව ව්‍යාපෘතිය හරහා වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඵලදාව ලබාගත හැකි බව ඔවුහු පවසති. ලුණුවිල පොල් පර්‌යේෂණ ආයතනය විසින් 2020 වසරේදී ‘සී.අයි.ආර්.එස්.එල්. 2020’ නමින් නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ. මලයාසියානු රතු කුන්දිරා පොල් වර්ගය සහ දේශීය උස පොල් වර්ග අතර කෘත්‍රිමව පරාගණය කරවීමෙන් ලබා ගන්නා බීජ පොල්වලින් මෙය සාදා ගනී. මෙම ප්‍රභේදයේ වර්ධනය, මල් පිපීම සහ අස්වැන්නේ තිබූ ඉහළ විභවය හේතුවෙන් මහා පරිමාණ සහ ගෙවතු වගා සඳහා නිර්දේශ වී ඇති අතර පොල් පර්‌යේෂණ ආයතනයට අයත් අඹකැලේ බීජ උද්‍යානයේ කෘත්‍රිම පරාගණය මගින් බීජ පොල් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවිය.
ලුණුවිල පොල් පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ මහත්මිය සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළෙමු. අධ්‍යක්ෂවරිය දින කිහිපයක වැඩමුළු මාලාවකට සහභාගී වීම හේතුවෙන් එය ව්‍යර්ථ විය. ඉන්පසු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සරත් එදිරිසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයද ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් රටේ ජනතාවට මේ අවනඩුව රැගෙන දෙවියන් ළඟට යන්නට වී ඇත්තේද පොල් ගෙඩියක් නැති පළතුරු වට්ටියක් රැගෙනය. ඒ නිසාම රටේ ජනතාවටත් එලොව පොල් පෙනිලාය.
• සසංක චලන ගිම්හාන