2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

හිරෙන් ආ ලැසී පාතාලේ හරි “බිසී”

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02 611

වසර හතරකට අධික කාලයක් බූස්ස බන්ධනාගාරයේ කූරූ ගනිමින් සැප සේ සිටි අරුමාහන්දි ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී පසුගියදා අධිකරණයෙන් ඇප ලබා එළියට ආවේය. ඇප ලබා පැමිණි පොඩි ලැසී ගෙදර ගියේ විශාල රැකවරණයක් සමඟය. එපමණක් නොව එළියට පැමිණි ලැසීගේ අයිතිය වෙනුවෙන් කතා කරන්නද බොහෝ දෙනා එදා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියහ. ඒ තරම් ලැසීගේ ආරක්ෂාව සඳහා පෙනී සිටින්නට බුරුතු ගණන් අය සිටිති. එහෙත් ලැසීලාගේ හයිකාරකම් මත ඝාතනය වූ මිනිසුන්ට, ඒ පවුල්වල අයට සහ ලැසීගේ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ජීවිත විනාශ වූවන්ට ලැසීට මෙන් මානව අයිතිවාසිකම්  නැතිදැයි අපට ඇසීමට ප්‍රශ්නයක් තිබේ. ඇතැම් විට ඒවාට උත්තර නැත. කෙසේ වෙතත් මේ හැම දෙනාටම වගේම ලැසීට ද අනන්‍ය වූ ජීවිත කතාවක් ඇත. අප කියන්නට යන්නේ ඒ කතාවයි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා පොඩි ලැසීය. අයියා ලොකු ලැසීය. ලැසීගේ පියා පාතාලයට සම්බන්ධ අයෙකි. ඔහු දකුණේ පාතාලයේ කාලයක් කෙරුමකු වූ එස්.ටී.එෆ් නඳුන්ගේ ළඟම ගෝලයා විය. වසන්ත හෙවත් තෙල්වත්තේ වසන්ත ලෙස හැඳින්වූයේ ඔහුය. එකී වසන්ත තම බිරිඳ සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ තෙල්වත්ත සුනාමි ස්මාරකය ඉදිරියේදී නඳුන්ට විරුද්ධ කල්ලියක් එල්ල කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් විය. එම ප්‍රහාරයෙන් වසන්තගේ බිරිඳ බඩට තුවාල සිදුවී රෝහල් ගත කෙරිණි. මෙලෙස ඝාතනය සිද්ධ කළේ එවකට රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලියයි. මනෝජ් දේශපාලකයකු වුවත් දකුණේ පාතාලයේ කෙරුමෙක් විය.

එම ඝාතනයෙන් පසුව අන්ත අසරණ වූ ලැසීගේ පවුල ඉතාම අසීරුතාවයෙන් කල් ගෙවන්නට වූහ. එහෙත් පියාගේ ඝාතනය ලැසීගේ හිතෙන් මැකී ගියේ නැත. මේ අතරතුර  කල්ලිය අතහැර දමා නඳුන් රට යාමත් සමඟ මනෝජ් මෙන්ඩිස් තම අණසක දකුණ පුරාම දිග හැරියේය. මේ නිසා මනෝජ්ට අවනත නොවන කොල්ලන්ට නොසෑහෙන දුක් විඳින්නට සිදුවිය. මේ නිසාම අවියක් අත නොදැරූ ලැසී තම පියාගේ ඝාතකයාගෙන් පලි ගන්නට සූදනම් විය. ඒ අනුව 2015 මාර්තු 23 දා රාත්‍රියේ හික්කඩුවේ වෙරළ තීරයේ හෝටලයකදී ලැසී මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කළේය. එම ඝාතනයත් සමඟ පාතාලයේ තවත් නමක් ඉහළටම ආවේය. ඒ පොඩි ලැසීය.

ඝාතනයෙන් පසුව ලැසී කට්ටි පනිමින් සිටියත් අවසානයේදී පොලිසියට කොටුවිය. පසුව බන්ධනාගාරගත විය. එලෙස බන්ධනාගාර ගතවූ මොහොතේ මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලිය ලැසී ඝාතන කුමන්ත්‍රණ සැලසුමක් දියත් කළේය. ඒ බන්ධනාගාරගතව සිටින ලැසීව බන්ධනාගාරය තුළදී ඝාතනය කිරීමටය. එම කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ මනෝජ්ගේ දකුණු අත වන සුදත් ප්‍රියන්තය. ඔහුගෙන් එය ලැබුණේ එල්ටීටීඊ සංවිධානයේ චාල්ස් ඇන්තනී බලකායේ හිටි අයකු වූ කෙනඩිටය. එනම් සයිනයිඩ් ශරීරගත කර ලැසී මරා දැමීමටය.

බන්ධනාගාරයේ කූරු ගනිමින් හුදෙකලාව සිටි ලැසීට නායකත්වය ලබා දෙන්නට එකවර මැදිහත් වූයේ තවත් පාතාල නායකයෙකි. නඳුන් ඉවත්ව යාමත් සමඟ එම කල්ලිය අතට ගත්තේ මේ පුද්ගලයාය. ඔහු නමින් කොස්ගොඩ සුජීය. කොස්ගොඩ සුජීගේ කල්ලියේ තවත් ප්‍රබලයන් දෙදෙනෙකි. ඒ කරන්දෙණියේ හිත හොඳ දොස්තර ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වූ වසන්ත පද්මලාල් නොහොත් කොස්ගොඩ රණා සහ සනත් සිල්වා නොහොත් මීටියාගොඩ රාජුය. ඔවුන් දෙදෙනා ද සිටියේ බන්ධනාගාරයේය. කෙසේ වෙතත් කෙනඩිගේ මෙහෙයුම දැනගත් ලැසී තම නායකයා වූ සුජී අමතා සිදුවීම පැවසීය. ඒ අනුව දෙදෙනා තීරණය කළේ ප්‍රියන්ත කෙසේ හෝ ඝාතනය කිරීමටය. මේ අතර කාලයේ කොස්ගොඩ රණා එළියට ආවේය. ඊට පසුව මීටියාගොඩ රාජු ද එළියට ගියේය. ඔවුන් දෙදෙනා ගිය සැණින් අදාළ කොන්ත්‍රාත්තුව ලබාගත් අතර 2016 දෙසැම්බර් 12 දා ප්‍රියන්ත වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ අනුව මනෝජ් මෙන්ඩිස්ගේ තර්ජනය අවසන් විය.

මෙම ඝාතනය සිදුවීමට පෙර ලැසී සිර ගෙදරින් ඇප ලබා පැමිණ සිටියේය. එහෙත් සුජීගේ කොන්ත්‍රාත්තුව මත කරන්දෙණියේ සුද්දා තම ගෝලයන් දෙදෙනා ලවා විපුල් ප්‍රියන්තට ප්‍රහාරය එල්ල කළේය. මෙම ප්‍රහාරය එල්ල කිරීමට පෙර සුද්දා අහස පොළොව නුහුලන අපරාධයක් සිදු කිරීමට ලැසීට බාර දුන්නේය. ඒ කොන්ත්‍රාත් මිනීමැරුමකි. ඉඩම් ආරවුලක් හේතුවෙන් මස්සිනා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් තවත් පුද්ගලයකු විසින් ලබා දී තිබූ අතර ලැසී එම කොන්ත්‍රාත්තුව බාරගෙන තවත් සගයකු සමඟ ගොස් එම පුද්ගලයාත්, බිරිඳත්, සිව් හැවිරිදි දරුවකුත් අමු අමුවේ ඝාතනය කළේය. එම ඝාතනයෙන් පසුව ලැසී අතුරුදන් විය. කෙසේ වෙතත් කලකට පසුව ලැසී පොලිසියට කොටුවූයේ එවක දකුණේ මත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමකු වීමෙන් පසුවය. කෙසේ වෙතත් මේ අතර කාලයේ ලැසීගේ කල්ලිය, තාරකගේ කල්ලියේ සාමාජිකයන්, රත්ගම විදුරගේ කල්ලියේ සාමාජිකයන් එකා දෙන්නා ඝාතනය කරමින් සිටියේය. ලැසී බන්ධනාගාරය තුළ සිටින මොහොතේද එම ඝාතන කොස්ගොඩ සුජීගේ අනුදැනුම මත සිදු කරගෙන ගොස් තිබිණි.

පොඩි ලැසී නැවත වරක් පොලිසියට කොටු වූයේ තවත් අපුරු සිදුවීමක් හේතුවෙනි. එනම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට චෝදනා මතය. එවක රජය ආරම්භයත් සමඟ සැකකරුවන් වෙන වෙනම දමමින් ඔවුන්ව බරපතළ අපරාධකරුවන් ලෙස වර්ග කිරීම සඳහා සියලු‍ පහසුකම් හිමි විය. ඒ නිසා ලැසීලා එලෙස ඝාතන කුමන්ත්‍රණයක් සිදු කළ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එක් වරක් ලැසීට ඇප ලැබුණත් එළියට ගියේ නැත. ඒ පාතාල මර්දන කණ්ඩායම්වලට ගොදුරු වෙතැයි බියෙනි.

ලැසී හිරේ ගිය ද ඔහුගේ මව එක් වරක් පොලිසියට කොටු වුණාය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හමුවන මුදල් පරිභෝජනය කිරීම හේතුවෙනි. එක් වරක් ඔහුගේ මස්සිනා ද කොටුවිය. ඒ සියල්ල මැද විශාල මුදලක් වැය කොට ලැසී උත්සවයක් පැවැත්වීය. ඒ මවගේ උපන් දිනය සැමරීමටයි. එකී ලැසී දැන් සිටින්නේ මාර පොරක් ලෙසිනි. දකුණේ පාතාලයේ දැන් ලැසීලාගේ කණ්ඩායමට විරුද්ධව ඇති එකම කණ්ඩායම නම් රත්ගම විදුරගේ කණ්ඩායමයි. මේ හේතුවෙන් ලැසීගේ ජීවිතයට තර්ජන එමටය.

කෙසේ වෙතත් ලැසීගේ අයිතිය වෙනුවෙන් කතා කළ අය සඳහන් කරනුයේ ලැසීට විශේෂ කාර්ය බලකායෙන් තර්ජනය කර ඇති බවයි. එනම් ලයිට් කණු දෙකක් යාමට පෙර ඝාතනය කරන බවටය. කෙසේ වෙතත් ඇප ලබාගත් ලැසී ගෙදර ගියේ වාහන පෙරහරකිනි. ඒ තමන්ගේ ජීවිතයට ඇති ආදරය හේතුවෙනි. ඊටත් වඩා මරණයට ඇති බියයි. එහෙත් ලැසීලා මනුෂ්‍ය ඝාතන කරන විට මරණ බිය, ජීවිතවලට ඇති ආදරය ගැන තැකීමක් සිදු කළේ නැත. එපමණක් නොව කුඩු විකුණන විට එම සාපය කොයි මොහොතක හෝ තමා පසුවස එයිද යන්න සිතුවේ නැත. අවසානයේ එක් දෙයක් පැවසිය යුතුය. ස්වභාවධර්මය නඩු අසන දිනය කොයි මොහොතක හෝ පැමිණෙනු ඇති බවය.

• ගයාන් ගාල්ලගේ