2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

වැරදුණේ ලාල්කාන්තටද? ගොවියන්ටද?

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:03 142

පසුගිය දෙසැම්බර් 5 දා පර්ලිමේන්තුවේදී වඳුරන් රිළවුන් ඇතුළු සතුන් වගාබිම්වලට පැමිණ සිදුකරන කැරැල්ලක් ගැන කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත කීවේය. එය දෙබරයකට ගල් ගැසීමක් විය. පසුදින පරිසර සංවිධාන කිහිපයක් එයට එරෙහිව පාර්ලිමේන්තු හන්දියේ පිකටිං කරනු අපට දකින්නට ලැබුණි. “රිළා ප්‍රශ්නය බරපතළම ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. බොහෝ අය මේක කතා කරන්න පටන් අරන් තියෙනවා මේක රිළා ත්‍රස්තවාදයක් කියලා. ඒ ජාතියේ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. පොදුවේ ගත්තොත් වන සතුන්ගෙන් වන හානි බරපතළම ප්‍රශ්නයක් වෙලා තියෙනවා,” කෘෂිකර්ම ඇමැතිවරයා පැවසුවේය.

“ලංකාවේ ගොවි ජනතාවට කියන්නේ ඕනේ කාරණයක්, වගාවට හානි කරන මේ සත්තු තමන්ගේ වගා භූමියේදී වගාවට වෙන වෙනත් හානි සම්බන්ධයෙන් කටයුතු කරද්දී කරනවා වගේම, වගාවට වන හානිවලදී තමන්ගේ ඉඩම තුළදී, ගොවිපොළ තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නෑ. ගන්න පුළුවන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි කියනවා.”‍ ඇමැතිවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

රිළව්, දඬුලේන්නු, මොනරු, ඉත්තෑවෝ, වල් අලි යනාදීහු මේ රටේ කෘෂිකර්මයට එරෙහිව විනාශකාරී වැඩපිළිවෙළක් ආරම්භ කළේ අද ඊයේ නොවේ. එය දැන් උච්ච අවස්ථාවකට පැමිණ ඇති බව නම් සැබෑය. ගොවිබිම්වලට කඩා වදින මේ සත්තු ගොවි බිම් ද වනසා ඒවායේ තිබෙන පල වැල ද කඩාගෙන ගොස් රිසිසේ අනුභව කරති. අන්තිමේදී මිනිස්සුන්ට සිදුවන්නේ සහල් වෙනුවට ගොයම් කන්නටය. බඩඉරිඟු‍ කරල් වෙනුවට බඩඉරිඟු‍ ගහ කන්නටය. පැපොල් ගෙඩි වෙනුවට පැපොල් කඳ අනුභව කරන්නටය. පොල් වෙනුවට පොල් අතු කන්නටය. කිසියම් ධාන්‍ය වර්ගයක් වගා කළ සැණින් මොනර හමුදා පිටින් පැමිණ වපුරන ලද ඇට කා දමති. වල් ඌරන් පැමිණ එළවළු සහ අල වගාබිම්වල ගස්වල මුලින්ම හරා ඒවා වනසා දමති.

රජයක් ලෙස නිසි ක්‍රියාමර්ග නොගෙන වගාවලට හානිකරන සතුන් පාලනය මහජනතාවට බාරදීම පිළිගත නොහැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති උපදේශක නීතිඥ රවීන්දුනාත් දාබරේ පවසා සිටී. අමාත්‍යවරයාගේ ප්‍රකාශය නීතිමය දෝෂ සහිත බවද ඔහු පවසයි. වගකිවයුතු ඇමැතිවරයෙක් එවැනි ප්‍රකාශ කිරීමෙන් ජනතාවට තමන්ගේ වගාබිම්වලට පැමිණ හානිකරන ඕනෑම සතකු මරාදැමීමට අවසර ඇති බවට හැඟීමක් ඇතිකර ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා පට්ට ගසමින් ෆේස්බුකියේ පණ්ඩිත අදහස් පසුගිය දිනවල පළවීම දක්නට ලැබුණි. ඒත් අපට නම් පේන්නේ මේ සඳහා වෙනත් රටවලින් හෝ උපදෙස් ගෙන දැඩි ක්‍රියාමාර්ගයකට රජය යා යුතු බවයි. එය ගොවි ජනතාවට බාරදී පිං පව් බලමින් ෂේප් විය හැකි නොවේ. තර්ක කරමින් සිටින අතර මේ පලිබෝධ සතුන් නිසා රටේ ආහාර අහේනියක් ඇතිවුවහොත් එය පුදුමයක් නොවේ. මේ දිනවල උග්‍ර වී ඇති පොල් හිඟයටත් ප්‍රධාන හේතුවක් ලෙස බලපා ඇත්තේ රිළා හමුදා ලෙස පැමිණ පොල් ඇට්ටි කඩා බිම දැමීම බව ගොවියෝ පවසති.

අප රටේ වගා කරන වී, එළවළු ඇතුළු වාර්ෂික බෝග මෙන්ම පොල්, පලතුරු ආදී බෝග වර්ගත් විනාශ කිරීමට කටයුතු කරන සතුන් නිසා ඒවායේ අස්වැන්නෙන් විශාල කොටසක් අපතේ යාම අද ඊයේ සිදුවූවක් නොවේ. කුඹුරුවල කුරුළු පාළුව නමින් වෙනම ලියද්දක් වෙන්කර තිබුණේ ගිරව් ඇතුළු පක්ෂීන්ට ඇතිතරම් ආහාරයට ගැනීමටයි. සමීක්ෂණ සහ පර්‌යේෂණ වාර්තාවලට අනුව වාර්ෂික අස්වැන්නෙන් දළ වශයෙන් 40% ක් පමණ පලිබෝධකයන් වන සතුන්ට බිලි වේ. එහි වාර්ෂික අලාභය දළ වශයෙන් රු. බිලියන 18 ක් පමණ වේ. වසරකට දළ වශයෙන් එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 30,000 කට අධික ප්‍රමාණයක් වන සත්ත්ව හානි නිසා රටට අහිමි වේ. රිළවුන් විසින් වසරකට කා දමා විනාශ කරන පොල් ගෙඩි ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ද ඉක්මවයි.

2022 දී ගෙන ඇති තීරණය නම් වගා හානි වැළැක්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ කමිටුවේ නිර්දේශ මත රිළවා, දඬුලේනා, වල් ඌරා, අළු වඳුරා සහ ඉත්තෑවා යන සතුන් ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවත් කිරීමයි. වනසතුන් විසින් සිදුකරන බෝග හානි අවම කර ගැනීම සඳහා කරුණු සොයා බැලීමට ඉකුත් දා කමිටුවක්ද පත් කරනු ලැබ තිබුණි. ඒ එවකට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසිනි.

මේ සතුන් අතරින් ඉත්තෑවාට වගාබිම්වල උගුල් අටවා උන් දඩයම් කිරීම ගොවීන්ට අලු‍ත් දෙයක් නොවේ. බොහෝ ගොවීන් උන් ආරක්ෂිත සතෙක්ද කියා දන්නෙත් නැත. වල් ඌරා ආරක්ෂිත සත්වයෙක් නොවන අතර ඌ වනජීවී රක්ෂිත හෝ ජාතික වනෝද්‍යාන නොවන ස්ථානවල වගාබිම්වල දඩයම් කළ හැකිය. නමුත් වාණිජ පරමාර්ථ මත මරා මස් අලෙවි කළ නොහැක. දඬුලේනාත් වගා හානි ලේඛනයේ ඉහළින්ම සිටින සතෙකි. අලියා වගා හානිකරන සතකු වුවද උගේ වටිනාකම සහ දුර්ලභතාවය නිසා ආරක්ෂිත සතකු ලෙස නම් කර තිබේ.

වගාවලට හානිකරන සතුන් ගැන මෙයට පෙරත් අවධානය යොමුවී තිබේ. පසුගිය වර්ෂයේදී මෙරට වගාවන්ට හානි සිදුකරන රිළවා ඇතුළු වන සතුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමට හා කූඩු කර රක්ෂිතවලට මුදාහැරීමටත් ඉත්තෑවා සහ වල් ඌරා වගා භූමිය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමටත් හැකි පරිදි සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා වුණත් එය ක්‍රියාත්මක වූ බවක් නම් දැනගැනීමට නැත.

මේ වනවිට රටේ බොහෝ පෙදෙස්වල රිළා ගහණය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොසිනි. රිළවුන් කණ්ඩායම් වශයෙන් ගම්වලට කඩා පැන වගාබිම් වනසා දමති. පිළිවෙළින් පොල්, එළවළු, වී, කෙසෙල් සහ බඩඉරිඟු‍ යන වගාවලට රිළවා වැඩි වශයෙන් හානි කර ඇත. වගා හානිකරන සතුන්ගේ ආහාර දාමයට වඳ පෙති එකතු කිරීමක් ගැන 2021 දී පැවසිණි. කෙසේ වුවත් අපට නම් පේන්නේ රිළවුන් වඳවූවාට වඩා වැඩි වූ බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්තවලට අනුව මෙරට රිළා ගහණය ලක්ෂ 30 කට අධිකය.

වනසතුන් කළමනාකරණයට හා බෝග හානිය වළක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමුකර ඇති බව වසර කිහිපයකට පෙර පැවසුණත් ඔවුන් ගත් ක්‍රියාමාර්ගයක් නම් නැති බවට ගොවි ජනතාව සාක්ෂි දරනු ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිම ව්‍යාප්තියක්‌ දරන ප්‍රිමාටා විශේෂය වන්නේ රිළව් වෙති. උන් ශ්‍රී ලංකාවට ආවේණික සත්තු වෙති. රිළවුන් උප විශේෂ 3 ක්‌ දිවයිනේ දේශගුණික කලාප ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. එනම් වියළි කලාපීය රිළව්, තෙත් කලාපීය රිළව් සහ කඳුකර කලාපීය රිළව් වෙති.

රිළවුන්ගේ භෝජන රටාව සර්ව භක්ෂක වන අතර ඕනෑම වර්ගයක ආහාරයක්‌ භුක්‌ති විඳීමට ඔවුනට හැකියාව පවතී. මේ සත්ත්වයන් මිනිස්‌ වාසයට ඉතා ආසන්නව ජීවත් වීමට කැමැත්තක්‌ දක්‌වන්නේ ඔවුන්ගේ මේ පුළුල් භෝජන රටාව මතය. වගාවලට හානිකරන සතකු වන වඳුරාගේ වර්ග දෙකක්‌ හඳුනාගත හැකිය. මේ සත්ත්වයෝ රිළවුන්ට සාපේක්ෂව විශාල දේහ දරති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චාමලී නහල්ලගේ මෙම සතුන් ගැන මෙසේ සඳහන් කර සිටී:

“ප්‍රිමාටාවන්ගේ ස්‌වාභාවික වාසභූමි වන්නේ වනාන්තරයි. නමුත් වර්තමානයේ සිදුකෙරෙන නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති මඟින් ඔවුන්ගේ ස්‌වාභාවික වාසස්‌ථාන අහිමිවීම සහ ආහාර සොයාගැනීමේ අපහසුතා නිසා ඔවුහු මිනිස්‌ වාසයන් අසලට පැමිණෙති. වනාන්තර පෙදෙස්‌ හෙළි කර හොටෙල්, කර්මාන්තශාලා, මහා පරිමාණ කෘෂි හා වාරිමාර්ග ව්‍යාපෘති, මංමාවත් සහ අධිවේගී මාර්ග ඉදිකිරීම මඟින් මේ සත්ත්වයන්ගේ ගමන් මාර්ග අවහිර වීමෙන් ඔවුහු කුඩා ප්‍රදේශවලට සීමාවීමකට හෝ කොටුවීමකට ලක්‌වෙති.

එලෙසම වර්තමානයේ කළමනාකරණයකින් තොරව කසළ බැහැර කිරීම ද විශේෂයෙන් රිළවුන් මිනිස්‌ වාසස්‌ථාන අසලට පැමිණීමට ප්‍රධාන හේතුවක්‌ වී ඇත. මේ කසළ තිබෙන ස්‌ථාන අසලට රිළවුන්, වඳුරන් මෙන්ම අනෙක්‌ සත්ත්වයන් පැමිණෙන්නේ ද පහසුවෙන් කෑමට යමක්‌ සොයාගත හැකි නිසයි. රිළවුන්ව දඩයම් කරන විලෝපිකයන් වන පිඹුරෝ, නරි වැනි සතුන් අඩුවෙමින් යන බව පෙනේ. ඒ නිසා රිළවුන්ව දඩයම් කරන විලෝපිකයන් අඩු වී ඇති නිසා ස්වභාවික පාලනයක් සිදුවෙන්නේ නැත.”
රිළවුන් බුද්ධිමත් සතුන් කොට්‌ඨාසයක්‌ බැවින් ඔවුන්ගෙන් සිදුවන වගා හානි ක්‍රම නැති කිරීමට යම් ක්‍රියාමාර්ගයක්‌ ගත් විට එයින් බේරීමේ ක්‍රම ඉතාම ඉක්‌මනින් එම සත්ත්වයන් ඉගෙනගන්නා නිසා ඔවුන් පාලනය ඉතාම අපහසු වී තිබේ.

මේ තත්ත්වය ලෝකයේ වඳුරන් හා සමාන සතුන් සිටින සැම රටකටම පාහේ බලපා ඇති ගැටලු‍වකි. ඉන්දියාවේ වගාබිම්වලට ද මෙම සතුන්ගෙන් විශාල විනාශයක් සිදුවන බව ජාත්‍යන්තර පුවත් බලන විට පෙනේ. මේ සතුන් සාර්ථකව පාලනය කිරීමට නම් එක්‌වර එක්‌ ක්‍රමයක්‌ පමණක්‌ නොව ක්‍රම ගණනාවක්‌ එක විට යොදාගත යුතුය.

රිළවුන් ගම්මානවලින් ඈත්ව තබාගැනීමට පියවර ගැනීම සහ රිළවුන් හට ගම්මාන සහ වගාබිම් ආරක්ෂිත ප්‍රදේශ නොවන බව ඒත්තු ගැන්වීම ඔවුන්ගෙන් මිදීමේ එක් පියවරක් බව මහාචාර්ය චාමලී නහල්ලගේ සඳහන් කරන්නීය.
මේ සඳහා දැනටමත් ක්‍රියාත්මක වන ක්‍රම වන්නේ දඩයම් බල්ලන් යෙදීම, මුරකරුවන් යෙදවීම, ටක යනාදී උපකරණ භාවිතයෙන් විශාල ශබ්ද ඇතිකිරීම, කැටපෝල යොදා ගල් ගැසීම, රතිඤ්ඤා දැමීම, උගුල් ඇටවීම, මැරුණ රිළවකු ගසක එල්ලීම, එක්‌ රිළවකු අල්වා පාට ගැන්වීම සහ වායු රයිෆල් භාවිතයයි.

මේ වන සතුන්ගේ නීතිමය තත්ත්වය ගැන පැහැදිලි ප්‍රකාශයක් ද ආණ්ඩුව විසින් ජනතාවට පැවසිය යුතුය. 2021 දී රිළවා, දඬුලේනා, වල් ඌරා, අළු වදුරා සහ ඉත්තෑවා යන සතුන් ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවත් කළ බව පැවසුණ ද ඒ බවට බොහෝ දෙනා දැනුවත් නැත.

• කුසුම්සිරි විජයවර්ධන