2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

සුරා බද්දට සුද්දෙ දීම

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04 152

“සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නැහැ. රටේ ආර්ථිකයට හිතකර ලෙස මෙම ආයතන පවත්වාගෙන යාම වැදගත්. රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් දක්වන මෙම ආයතනය නිසි කාර්යක්ෂමතාවයෙන් යුතුව පවත්වාගෙන ගොස් එහි උපරිම ප්‍රතිඵල රටට ලබා දිය යුතුයි. ඒ පිළිබඳ  නිෂ්පාදන හා ඇසුරුම් ක්‍රියාවලියේ පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා යම් යම් වෙනස්කම් කළ යුතු නම් අපි ඒවාට පසුබට වෙන්නෙ නැහැ.”
මේ පසුගිය 5 දා ජනාධිපති ලේකම් කාර්යලයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක කොටසකි.

සුරා බදු බලපත්‍ර දීමේදී, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර, සුරා බදු අයකර ගැනීමේදී මුහුණ පාන්නට සිදුවන අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. ගෙවිය යුතු බදු උපරිමයෙන් අයකර ගැනීම, අසාදුගත කළ ආයතන සහ බදු අය කරගත නොහැකි වූ ආයතනවල බලපත්‍ර තහනම් කිරීමට උපදෙස් දෙන ලදී. මෙහිදී බදු අයකර ගැනීමේදී මතුවන ගැටලු නිලධාරීන් පෙන්වා දුන් අතර, පවතින නීති රීති වෙනස් කිරීමේ අවශ්‍යතාව ද නිලධාරීන් බඳවා ගැනීමේදී පැන නගින ක්‍රමවේද පිළිබඳ දුර්වලතා අවම කර ගැනීම ගැන ද සාකච්ඡා විය.

මෙම හිඟ මුදල්වල අතීතය ඈතට යොමුවන අතර පසුගිය රජයන් මගින් ද මේ පිළිබඳව දැක්වූ උනන්දුව අල්ප වීම නිසා දැනට විශාල මුදලක් හිඟහිටුවා ඇති අතර ඒ පිළිබඳ නඩු මඟට පවා බැස ඇති බව අනාවරණය විය. එසේම ඇතැම් අවස්ථාවලදී දේශපාලන හා පෞද්ගලික සම්බන්ධතා මත ඇතැම් සමාගම්වලට විවිධ සහන ලබා දී ඇති අතර ඒවායේ බදු මුදල් විශාල ලෙස ඉහළ යාමට එම තත්ත්වය බලපා ඇති බවද පෙනෙන්නට තිබේ. ඇතැම් සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර ඒවායේ තීන්දුව ලැබෙන තෙක් බදු අයකිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇත. බදු ගෙවීම පැහැර හැර ඇත්තේ විශාල ලාභයක් උපයන මහා පරිමාණ සමාගම් වන අතර ඔවුන් පුරුදු වී ඇත්තේ යම් යම් සම්බන්ධතා ඇති කරගෙන බදු නොගෙවා බේරීමටය.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පවසා ඇති පරිදි හිඟ බදු නොගෙවූ මත්පැන් සමාගම් 8 ක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා තිබේ. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට අයත් ආයතන තුනක්, වයඹ ඩිස්ටිලර්ස්, මැකලම් බෲවරි පෞද්ගලික සමාගම, ග්ලොබ් බ්ලෙන්ඩර්ස් ලංකා සමාගම, වයඹ ස්ටෝරේජ් කම්ප්ලෙක්ස් පෞද්ගලික සමාගම මේ අතරට අයත් වේ. මේවා අතරින් වයඹ ඩිස්ටිලර්ස් සහ මැකලම් බෲවරි පෞද්ගලික සමාගම්වලින් බදු අයකිරීම සිදුවෙද්දී ඔවුන් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබේ.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට අයත් ආයතන තුනකින් පමණක් කෝටි 580 ක බදු හිඟව ඇත. මින් එක් සමාගමක් 2022 වසරට පෙර සිටද, තවත් එකක් 2023 දී ද, තවත් සමාගමක් 2024 වසර දක්වා ද බදු හිඟහිටුවා තිබේ. ඇතැම් ආයතන 2008 වසරේ සිට බදු හිඟහිටුවා ඇත. මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු මුළු හිඟ බද්ද බිලියන 5.7 කි. ගෙවිය යුතු හිඟ සුරා බද්ද සහ ඊට අදාළව සියයට 3 බැගින් මාසිකව ගෙවිය යුතුය. අධිභාරය නොගෙවීම නිසා මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය පසුගිය 5 දා සිට අත්හිටුවා තිබේ. ඒ අනුව මත්පැන් බලපත්‍ර ක්‍රියාවලිය මේ වනවිට නවත්වා ඇති අතර හිඟ බදු සහ අධිභාරය තවදුරටත් නොගෙවන්නේ නම් එම සමාගම නමට නිකුත් කර ඇති සියලුම බලපත්‍ර 2024 දෙසැම්බර් 31 වැනිදායින් පසුව දීර්ඝ නොකරන බව දන්වා තිබේ. මෙම තීරණවලට එරෙහිව සමාගම ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණ මගින් ප්‍රතික්ෂේප කෙරුණි.

මෙන්ඩිස් සමාගමට අදාළ ආයතන සඳහා බලපත්‍ර 10 ක් නිකුත් කර ඇති අතර ඒවායින් 8 ක් අත්හිටුවා තිබේ. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයත් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් කර ඇති රුපියල් බිලියන 12 ක මුදලින් මෙම හිඟ අඩුකර ගන්නා ලෙස සමාගම කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය රජය විසින් 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 20 දක්වා වැඩිකර ඇති අතර අනතුරුව 2024/3 දරන ගැසට් නිවේදනය මගින් බලපත්‍ර ගාස්තුව තවත් රුපියල් ලක්ෂ 6 ක් වැඩි කර තිබේ. මෙම තීරණවලට එරෙහිව ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළ අතර එහි සඳහන් පරිදි එම ගැසට් නිවේදන ක්‍රියාත්මක කිරීම නවත්වමින් මෙම නියෝගය නිකුත් කර තිබීම විශේෂ සිද්ධියකි. එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ 2017 ගැසට් නිවේදනය පරිදි පැනවූ බලපත්‍ර ගාස්තු එලෙසම ක්‍රියාත්මක කරන ලෙසටය.

කෙසේ වුවද ගෙවන්නට ඇති මුදලින් රුපියල් කෝටි 250 ක් හිඟ බදු වන අතර කෝටි 380 ක් ප්‍රමාද ගාස්තු වෙයි. මේ ඇතැම් මුදල් 1997 වසරේ සිට එකතු වූ ඒවා වන අතර එම දිනවල අයකර ගැනීමේ ක්‍රියාමාර්ග නොගෙවා සිට එක වරම මේ සා විශාල මුදලක් දින 14 ක් තුළ ගෙවන ලෙස නියෝග කිරීම අසාධාරණ බව ඇතැම්හු කියති. හිඟබදුවලින් කෝටි 340 ක් ඍජුවම මෙන්ඩිස් සමාගමෙන් අයකරගත යුතු අතර එකල රජයට සම්බන්ධව තිබු ප්‍රකට දේශපාලනඥයන්ට අයිති වයඹ පළාතේ නිෂ්පාදන සමාගම් 3 ක්ද කළුතර ඩිස්ට්ලර්ස්, මැකලම් බෲවරිස් සහ තවත් සමාගම් තුනකටද එම මුදල අයත් වෙයි.

විශාල වශයෙන් බදු හිඟහිටුවා ඇති සමාගම්වල බලපත්‍ර අහෝසි කර නිෂ්පාදන ක්‍රියාවලිය නවත්වන ලෙසට පසුගිය පාලන සමයේදීද යෝජනා ඉදිරිපත්ව තිබූ නමුත් එවකට සිටි සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ සමාගම් නොවසා අක්‍රීය කළහොත් ඒවා ඉවත් කර ගැනීමට ප්‍රවණතාවක් ඇති අතර එවැන්නක් සිදුවුවහොත් හිඟ බදු අයකර ගැනීම දුෂ්කර වනු ඇති බවය. අධිකරණ කටයුතු ආරම්භ කළ ද එය දීර්ඝ කාලීන ක්‍රමයක් වන අතර සමාගම් වසා තැබුවහොත් දීර්ඝ කාලයක් ඉල්ලා සිටීමට සමාගම්වලට හැකියාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා අපට මතකය. එසේ වුවද ඔහු ගත් ක්‍රියා පිළිවෙළ සඳහා මහා පරිමාණ සමාගම්වලට බදු පැහැර හැරීමට වැඩි ඉඩකඩක් ලැබුණු බව කියැවේ. හිටපු කොමසාරිස් ජනරාල්වරයා සමාගම් වැසීමට කටයුතු නොකළේ ඔවුන්ට උදව් කිරීමට මිස හිඟ අයකර ගැනීමේ පරමාර්ථයෙන් නොවන බවට ද පෙන්වා දී තිබුණි.

මේ පිළිබඳ තොරතුරු විමසීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකතනයට සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළ ද අපොහොසත් විය. කෙසේ වුවද ආදායම් අංශයේ නිලධාරියකු පැවසුවේ යාපනය ප්‍රදේශයේ සමාගමක් හිඟ බදු ගෙවා ඇති අතර, තවත් සමාගම් දෙකක් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වී යාම හේතුවෙන් නඩු පැවරීමට හෝ නොහැකි වී ඇති බවකි. බදු අය නොකිරීම පිළිබඳ සම්පත්දායකයන් ආයතන 5 කට එරෙහිව නඩු පවරා ඇති බවද ඔහු කීවේය. සමහරක් ආයතන ඉක්මනින් ගෙවන බවට සහතික වීම නිසා ඉදිරි පියවර ගැනීම තාවකාලිකව නවත්වා තිබේ. පසුගිය කාලයේ සුරා බද්ද සියයට 20 කින් සහ වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද විශාල ලෙස වැඩි වීමද හිඟ මුදල් වැඩිවීමට හේතුවක් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

සුරා බදු අයකර ගැනීමේ ගැටලුව පිළිබඳව අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ අවධාරණය කරන්නේ සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම වැදගත් යැයි තමා සිතන බවය. එයට එක් හේතුවක් වනුයේ බලපත්‍ර ගාස්තු ඉහළ දැමූ විට බලපත්‍ර නිකුත් කිරීම සීමා වන බව යැයි ඔහු කියයි.

“එහෙම ගාස්තු වැඩි කළ විට මෙම ව්‍යාපාරයට යොමු වන්නේ ඇත්තටම ඒ සඳහා අවශ්‍යම අය පමණයි. ඔවුන් හිඟ නොතබා සුරා බදු ගෙවන අය යැයි අපට උපකල්පනය කරන්න පුළුවන්. එහෙම නැතුව බලපත්‍ර ගාස්තු අඩු කරලා බොහොම දෙනකුට මේ ව්‍යාපාරයට ඇතුළු වීමට අවස්ථාව දුන්නහොත් බදු අය කිරීමේ ක්‍රියාදාමය ව්‍යාකූල වෙන්න පුළුවන්. දැන් වගේ අධිකරණයට යන්න පවා සිදුවේවි. අධිකරණ ක්‍රියාමාර්ගය වඩාත් සංකීර්ණයි. ඒ සඳහා ගතවන කාලය දිගුයි. අවශ්‍යව ඇත්තේ ස්වයංක්‍රියවම මෙම තත්ත්වය පාලනය කිරීමක්. ඒ නිසා සුරා බලපත්‍ර දීමේ ක්‍රමවේදය විද්‍යාත්මකව කළමනාකරණය කළ යුතුයි. එහෙම නැතුව අද පවතින විදිහට දේශපාලන සහ පෞද්ගලික සම්බන්ධතා මත බලපත්‍ර දීම වෙනස් විය යුතු වෙනවා. කෙසේ වුණත් මත්පැන් බලපත්‍ර සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල ආයතනවලට දීමෙන් සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය ඇති වෙනවාත් හැර බදු අයකර ගැනීමද පහසු වෙනවා.

අද බලපත්‍ර දෙන්නේ ජනතාවට මත්පැන් පොවන්නයි. ජනතාවට මත්පැන් ප්‍රචලිත කිරීම සමාජ ගැටලු ඇතිවීමට හේතුවක්ද වෙනවා. ජනතාව අරක්කුවලට ගෙවන මුදලින් තමා ආණ්ඩුව බදු ගන්නේ. ඒ හින්දා එය සමාගම් කරන ගෙවීමක් නෙවෙයි. මත්පැන් සමාගම් කරන්නේ ජනතාවගෙන් ලැබෙන බදු මුදල් ආණ්ඩුවට නොගෙවා ඒවා අවිධිමත්ව පාවිච්චි කිරීමයි. ඒ අයගේ ලාභය වෙනමයි. බද්ද වෙනමයි. මේ දෙක එකට පටලවා ගත යුතු නැහැ.”

• යසවර්ධන රුද්රිගූ