අසූව දශකයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූයේ නයිට් රයිඩර් කතා මාලාවය. ඒ නයිට් රයිඩර් කතා මාලාවේ සංගීතය අපේ දෙසවනේ දෝංකාර දෙන තරමටම හිත් ඇදබැඳ ගත්තේය. එය ඒ තරමටම ජනප්‍රිය වූයේ රොබෝ තාක්ෂණයෙන් කතා කරන කිට් නිසාය. ඒ නයිට් රයිඩර් යළිත් වරක් ඕස්ට්‍රේලියාවෙන් ඉපදී ඇත. ඒ වින්නඹු අම්මාගේ ගෞරවය හිමිවන්නේ එරට වෙසෙන ලාංකිකයකුටය. ඔහු නමින් උදීෂ විජේනායකය.
රටේ නමක් තබන බොහෝ අවස්ථාවල දකුණේ ඈයෝ මහ උජාරුවෙන් කියන්නේ අපේ දකුණෙ එකකු බවයි. ඒ අභිමානය ලෝකයටම ගෙන ගිය උදීෂත් දකුණේ එකෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම ගොවියාපාන ගමේ ජන්මලාභය ලැබූ උදීෂ පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ල සාන්ත ඇලොයිෂියස් විද්‍යාලයෙනි. වර්තමානයේ ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය. ඔහු වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකි. දියණියන් දෙදෙනකුගේ පියකු වන උදීෂ ගෙදරට ආදරණීය පියකු මෙන්ම ජනනි වීරතුංග වන බිරියට ස්වාමිපුරුෂයෙකි. උදීෂ පවසනුයේ කුඩා කල පටන් නයිට් රයිඩර් ගැන හිතේ ආසාවක් පැවතුණද කාරයක් සෑදීමට අදහස පහළ වූයේ යමක් කමක් තේරෙන වයසේ සිට නයිට් රයිඩර් කාරය ගැන විස්තර සෙවීමෙන් පසුව බවයි. තමන් මෙල්බර්න් නුවරට පැමිණියේ 2012 දී බවත් මෙම කාරය මිලදී ගත්තේ 2020 වසරේදී බවත් ඒ තාක් මේ ගැන පර්යේෂණයක් සිදුකර තොරතුරු විශ්ලේෂණය කළ බවත් උදීෂ කියයි. සිය වෘත්තීය ජීවිතයේ අවිවේකී බව මෙම කාර්යයට යම් අභියෝගයක් වූ බවත් මුළු ලොවම වෙලාගත් කොවිඩ් වසංගතය සමයේ තමන් නිවෙසට වී ගතකළ කාලය අපතේ නොයවා මේ සම්බන්ධයෙන් කාලය වැය කළ බවත් ඔහු පැවසීය.
“මේ නිර්මාණය කරන්න ගිය වියදම තාම ගණන් බලා නෑ. ඒත් මට ලොකු වියදමක් ගියා මේක මේ මට්ටමට හදන්න. කාරය මිලදී ගත්තාට පස්සේ තාක්ෂණික දෝෂ කිහිපයක් තිබුණා. ඒ ටික කළා. මේකට අමතර උපාංග ගෙනාවේ අමෙරිකාවෙන්. මේ වගේ කාර්වලට ලොකු ඉල්ලුමක් තිබිලා නෑ. මම මේක ගනිද්දිම දකුණෙන් පදවා යා හැකි ලෙස තමයි ලැබුණේ. (Right Hand Convert) 1996 වසරේ තමයි මේක ගෙන්නලා තියෙන්නේ. වසර 25 කට වැඩිය වාහනය පරණ නැත්නම් දකුණෙන් පදවා යා හැකි ලෙස (Right Hand Convert) සකසා තමයි ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ. සමහර වාහන පමණක් වමෙන් පැදවිය හැකි වාහන තිබෙනවා. මේ කාරය ඒ කාලේ හරි විදිහට වැඩ ටික කරලා තිබුණු නිසා ඒ වැඩ ටික මට ලේසි වුණා. වාහනය පින්තාරු කළේ මම නෙමෙයි. ඒක කළෙත් මෙහෙ ඉන්න රෝපිත කියලා ලාංකිකයෙක්. වාහනයේ සීට් කවර ටිකත් ගෙනාවෙ අමෙරිකාවෙන්. ඒ හැර ඉතිරි වැඩ ටික මමමයි කළේ. ඒ නිසා සෑහෙන කාලයක් මේකට යට කරන්න වුණා. වාහනය ලියාපදිංචි කළේ ඊට පස්සේ. වාහනයේ ඩෑෂ් බෝඩ් සේරම ගෙනාවේ ඉතාලියෙන්.”
ඩේවිඩ් හැසල්හෝෆ් ධාවනය කළ නයිට් රයිඩර් කාරය (Pontiac firebird trans am Generation 3) 1982 සිට 1990 දක්වා නිෂ්පාදනය විය. නයිට් රයිඩර් කතා මාලාවට යොදාගත්තේ 1982-84 වර්ෂවල නිර්මාණය වූ රථයි. අසූ හයෙන් පස්සේ නිෂ්පාදනය කළ කාරයේ බොනට්ටුවේ සහ රෝදවල වෙනස්කම් දැකිය හැකිය. නයිට් රයිඩර් ගැන පර්යේෂණාත්මක අධ්‍යයනයක යෙදී සිටින ඔහුගේ වචනයෙන්ම අපි මේ කතාවත් විමසා දැනගතිමු.
“මම ගත්ත කාරය අනූවේ කාරයක්. ඒක අසූ දෙකේ කාරය විදිහට හදන්න මම මේකට වෙනස්කම් කළා. මේකට ආපු තවත් අභියෝගයක් වන්නේ යුරෝපයේ, නෙදර්ලන්තයේ, අමෙරිකාවේ සහ ඉතාලියෙත් ගොඩක් ඩෑෂ් බෝඩ් හදලා තියෙන්නේ වමෙන් පැදවිය හැකි ලෙසයි. දකුණු පසට මාරු කළ කාර් තියෙන්නේ ලෝකයටම 8 ක් පමණයි. ෆයිබර් ග්ලාස් වැඩ ටිකට මට සිඩ්නිවල හිතවතකු උපකාර කළා. වාහනයේ වටිනාකම කියන්න අමාරුයි. ඩෑෂ් බෝඩ්වලට ලොකු වියදමක් ගියා. ඒකෙ බඩුවලට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියන් ඩොලර් 12000 ක් විතර ගිහින් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 22 ක් පමණ. ඒ.අයි මෘදුකාංගයටත් එක්ක වාහනයට ගිය සම්පූර්ණ වියදම ඇස්තමේන්තු කළොත් ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් විතර වෙයි. ඒක ලංකාවේ මුදලින් කිව්වොත් රුපියල් එක්කෝටි අසූහත් ලක්ෂයක් පමණ වෙනවා.” යැයි උදීෂ පැවසීය.
උදීෂ සෑදූ නයිට් රයිඩර් කාරයේ විශේෂතා සැලකීමේදී ඒ.අයි. හි වඩාත් නවීන තාක්ෂණයෙන් යුතු මෘදුකාංගයක් මෙම කාරයට භාවිත කර තිබේ. එමෙන්ම නයිට් රයිඩර් කාරයට හඬ කවා ඇති මුල් කටහඬ විලියම් ඩැනියල්ගේය. ඒ සියයට අනූපහකටත් වඩා සමාන වූ කටහඬ ඒ.අයි. තාක්ෂණය හරහා මේ කාරයේ ‘කිට්’ ට හඬ කවා තිබීම විශේෂත්වයකි.
එසේම වාහනය පවතින පරිසරයේ දේශගුණ තත්ත්වය පැහැදිලිව දක්වයි. ලෝකයේ ඕනෑම ගුවන් යානා සහ ගුවන් ගමන් සම්බන්ධ විස්තර ක්ෂණයකින් කිට්ගේ ආධාරයෙන් ප්‍රකාශ කරයි. ඒ වගේම ඒ.අයි. ආධාරයෙන් කැමරාවෙන් දකින ඕනෑම ඡායාරූපයක් හඳුනාගෙන විස්තර කිරීමේ පහසුකමත් මෙහි වැඩිදියුණු කර තිබේ. කිට්ට බොහෝ භාෂා කතා කිරීමේ හැකියාව තිබේ. එසේම අනාගතයේදී ඒ.අයි. තාක්ෂණය මුසු කර ජී.පී.එස්. මාර්ග සංඥා ඇතුළු සියලු කටයුතු කිට්ගේ හඬින්ම ක්‍රියා කරන මාර්ග සිතියමක් ලෙස සංවර්ධනය කිරීමට ඔහු මේ වනවිට සැලසුම් කරමින් සිටින බවද පවසයි. කෘත්‍රිම බුද්ධි (AI) නවීන තාක්ෂණය ආශ්රයෙන් තවත් බොහෝ වැඩ කිරීම තමන්ගේ අනාගත අභිප්‍රාය බව උදීෂ වැඩිදුරටත් පවසයි. උපන් රටේ නම ඕස්ට්‍රේලියාවට පමණක් නොව ලෝකයටම ගෙන ගිය උදීෂ අපේ රටට සැබවින්ම සම්පතකි. අපි ඔහුට සුබ පතමු.
• සසංක චලන ගිම්හාන