කන්ද උඩරට සීමාවේ සිට අඩි දහසක බෑවුමෙන් පහතට ඇදී යන සබරගමුවේ හෙල්මළු කුඹුරු සහ ගෙවතු මෙන්ම වනවදුලු අප සිත් ආහ්ලාදයට පත්කරමින් ඈතින් පෙනේ. අප පසුකර පැමිණි ඉහළ කෝට්ටේ අම්බලම වනතුරු අතරින් කුඩාවට පෙනේ. බතලේගල, දෙවනගල, හන්තාන, උතුවන් කන්ද, අම්බුලුවාව ආදී පුරාවෘත්ත රැසකට තේමා වූ කඳුවැටි මෙහි සිට අපූරුවට දැකගත හැකි වේ. බෑවුම පහළ ඍජුවම පිහිටා තිබෙන්නේ වලගොඩ සහ බැද්දෙවෙල ගම්මානයි. එයට එපිටින් මාකෙහෙල්වලයි. අප මේ සිටින්නේ උඩරට දුම්රිය මාර්ගයේ සියවසකට වැඩි කලකට පෙර අත්හැර දැමූ රේල් පාරකය. මාර්ගය අසල සවිකළ දුරකථන කණු තවමත් දැකගත හැකිය. සමහර තැනක රේල් පීලි ද තිබේ. ඒ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ටේෂමේ සිට කිලෝමීටර බාගයකට නුදුරින් පිහිටි මීයන් ඇල්ලයි. එය අද පෙම්වතුන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් අපි දුටුවෙමු. පර්වතවල පෙම්වතුන් තමන්ගේ නම සටහන් කිරීම පුරුද්දක් බවට පත්ව ඇති බව පෙනේ.
අපි අලගල්ල කන්දේ බෑවුමක පිහිටි ඉහළ කෝට්ටේට ආවේ කෑගල්ලේ සිට මාවනැල්ල හරහා ගමන් කිරීමෙනි. මාවනැල්ල රඹුක්කන පාරේ පැමිණ මාකෙහෙල්වල පන්සල අසලින් යන කැප්පෙටිපොළ පාරේ ගමන් කර යළිත් ඉහළකොට්ටේ අම්බලම අසලින් හැරී ඉහළ කෝට්ටේ ස්ටේෂම දක්වා දිවෙන පාරේ ගමන් කළ යුතුය. එතැන් සිට කන්ද ඉහළට ගමන් ගන්නා කොන්ක්‍රීට් පාර අලගල්ල කන්දේ පහළ බෑවුම තරණය කරමින් ඉහළට ඇදී ගොස් නිමා වන්නේ දුම්රිය නැවතුම අසලිනි. ගත සනහමින් තැවරෙන සීත සුළඟ විඳ ගනිමින් ඉහළ කෝට්ටේ ස්ටේෂමේ සිට වම් පසට රේල් පාර දිගේ කිලෝමීටර බාගයක් ගමන් කරන විට ඉහළ කෝට්ටේ උමඟ දිස්වන්නට පටන් ගනී. උමග පිහිටි පර්වතයෙන් කඩාහැලෙන මීයන් ඇල්ල සහිත මේ පෙදෙස හඳුන්වන්නේ ද මීයන් ඇල්ල නමිනි.
මීයන් ඇල්ල බලනේ කඩවත් ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිටින් ලගමුව ද පසු කළේ
මෙ ලකුණුවලට මැදි රට හතර කෝරළේ
යන පැරණි කඩඉම් කවිය මතක් කරගනිමින් අපි රේල් පාර දිගේ ගමන් කරන්නට වූයෙමු.
දකුණු පසින් ඉහළ නගින පර්වතය අලගල්ල කන්දේ ඉහළ කොටසයි. මේ කඳු බෑවුමේ බොහෝ දුරක් යන තෙක් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ප්‍රවාහනය ප්‍රධාන ගැටලුවයි. ගමට වාහනයක් ගෙන ඒමට නොහැකිය. එකම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය පමණි. ගෙවල් හදන්න උළු, සිමෙන්ති, වැලි පවා රැගෙන ආ යුත්තේ කෝච්චියෙනි. කොළඹ නුවර පාරේ යනවිට මාවනැල්ල පසුකළ ඉක්බිති මාර්ගයට අලගල්ල කන්දේ හරහට තිරස් කැපුමක් සේ කළ පසුව අත්හැර දැමූ කෝච්චි පාර දැකගත හැකිය.
තේ වගාව මෙන්ම කෝපි, ගම්මිරිස්, කරාබුනැටි වැනි වගාවන් ද අවට සිදුකෙරේ. කොස්, දෙල්, කෙසෙල් ගසින් පිරි වටපිටාව සාරවත්ය. තැනින් තැන කුඩා දියඇලි කඩා හැලේ. එම දිය පාර හරස් කර තැනූ පීලි ද දැකගත හැකිය.
දුම්රිය නැවතුම අසලම පිහිටියේ සරණංකර සංඝරාජ හිමි කලක් ලේව්කේ රාළගෙන් පාලි භාෂාව ඉගෙනගැනීමට නැවතී සිටි බව පැවසෙන සංඝරාජ ලෙනයි. එය දුම්රිය පාරට යාබදව පිහිටා ඇති අතර ලෙන ඇතුළත විශාල ඉඩකඩක් පවතින බව ඇතුළට රිංගා බැලූ විට දැකගත හැකිවිය. එතුළ උල්පතක ජලය එකතුවන පිරිසිදු දිය පිරි ළිඳකි. අවට නිවෙස් සමහරකට ජලය ලබාගන්නේ ඒ ළිඳෙනි. අද ලෙනේ රේල් පාර පැත්ත බැම්මක් බැඳ පර්වතය සවිමත් කර ඇති අතර ලෙන ඇතුළත පස් පිරීම නිසා ඉඩකඩ ඇහිරිලාය. ගස්වැල් ලෙන ආක්‍රමණය කර ඇති නිසා එහි ඇතුළත පැහැදිලිව නොපෙනේ.
මීයන් ඇල්ල නැරඹීමට පැමිණෙන ලොකු කුඩා විශාල පිරිසක් බිංගෙය අවටදී අපට දැකගත හැකිය. වැඩිදෙනකුට අවශ්‍ය වන්නේ බිංගෙය තුළින් හරහට කපා ඇති කුඩා උමග තුළින් රිංගා ගොස් මීයන් ඇල්ල කඩා වැටෙන අන්දම දැකබලා ගැනීමටයි. මේ හරස් සිදුර කපා ඇත්තේ උමගට වාතය ලබාගැනීමට විය හැකිය.
මීයන් ඇල්ල නිර්මාණය වන ජල උල්පත් උපත ලබන්නේ අලගල්ල කන්දේ පිහිටි හැලංමඩිත්ත නම් ප්‍රදේශයෙනි. එකල එම දිය දහරාව අලගල්ල කන්දේ පහළ කොටසකට අයත් විශාල ගල් පර්වතයකින් ගලා හැලුණේ අලංකාර දියඇල්ලක් මවමිනි. ඉන්පසුව වලගොඩ සහ තලගොල්ල ගම්මාන පසුකරමින් තලගොල්ල ඔය පෝෂණය කිරීමට එම ජල දහරාව දායක විය. තලගොල්ල ඔය මා ඔයට එක්වන්නේ ගල්පර්වත බහුල බෝඇල්ල නම් ස්ථානයේදීය. වර්ෂා කාලයේ දී මෙහි ජල ධාරිතාව ඉහළ යයි. එවිට පර්වතය ඔස්සේ ජලය කඩා හැලෙන්නේ ගුගුරමිනි.
අඹේපුස්ස දක්වා රේල් පාර 1864 වනවිට නිමකර තිබූ අතර එතැන් සිට මහනුවර දක්වා උඩරට දුම්රිය මාර්ගය තැනීමේදී අලගල්ල කන්ද විශාල බාධකයක් විය. එය දුම්රිය පාරේ දුෂ්කරම කොටස විය.
කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වන දුම්රිය අලගල්ල කන්දේ පාමුලට පිවිසෙනුයේ යටිවල්දෙණිය දුම්රිය නැවතුම පසු කළ විට හමුවන අංක 05 දරන බිංගෙය අද්දරිනි. එය හේනෙපොල බිංගෙය හෝ කදුරාගෙඩිය බිංගෙය ලෙසින් හැඳින්වෙන අතර දිගින් අඩි 721 කි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ පනස්හය හමාරේ සැතපුම් කණුව සමීපයේ එම බිංගෙය පිහිටා තිබේ. එහි උස මුහුදු මට්ටමින් අඩි අටසියයක් පමණ වේ. ඉන් පසුව අලගල්ල කන්දේ පාදම ඔස්සේ තවත් සැතපුම් තුනයි කාලක ශීඝ්‍ර නැග්මක යෙදෙන උඩරට දුම්රියට එහි පනස් නවයයි කාලේ සැතපුම් කණුව අද්දරදී මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය හමුවේ. එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි දහසක් පමණ වේ.
එහි හමුවන ගල් පර්වතයේ දිග අඩි දහසකට වඩා වැඩි නිසා එය විද බිංගෙයක් තැනීම පහසු නොවීය. මේ නිසා දුම්රිය මාර්ගයේ ඉංජිනේරු ෆෙඩ්රික් ෆෙලීල් සැලසුම් කළේ කඳු බෑවුමේ ගල් පර්වතය මත කට්ටයක් කපා ඉවත් කර පර්වත ගැට්ටේ බෑවුමේ ඉඩකඩක් තනා එතුළින් රේල් පාර ඇතිරීමටයි. එහිදී මීයන් ඇල්ල ඇදහැලෙන පර්වතය මගහැරීමට ඔවුන්ට ඉඩක් නොවීය. දියඇල්ල රේල් පාරට වැටීම නිසා දුම්රිය ගමනට බාධා වන බව වටහාගත් ඉංජිනේරුවෝ කඳු මස්තකයෙන් දිය දහරාව දෙකට කඩා කුඩා ඇලි දෙකක් බවට පත් කර එහි සැර බාල කළහ. එසේ කළේ ගල් පව්ව මත කට්ට දෙකක් හාරා ඒ ඔස්සේ ජලය ගලා යාමට සැලැස්වීමෙනි. එමෙන්ම දියඇල්ල වැටෙන තැන පර්වතය ඇතුළට හාරා රේල් පාරට ජලය විසිරීම වළක්වා තිබේ. අදත් මේ හෑරූ තැන්වල ගල්කටුවල සලකුණු දකින්නට ලැබේ.
ඉන්පසු, එම පර්වතය ඔස්සේ ප්‍රපාතය මැදින් අඩි 1400 ක් දිගට සහ අඩි 18 ක් පළලට හරස් කැපුමක් තැනුවේය. නමුත් මෙහි ඇතැම් තැන දැඩි ප්‍රපාතය නිසා පාර පළලින් අඩි 8 කට වැඩි නොවීය. එවැනි තැන්වලින් දුම්රිය ගමන් කිරීම ත්‍රාසජනක කටයුත්තක් විය.
1867 අගෝස්තු පළමුවැනිදා රේල් පාර තනා අවසන් වී මහනුවර බලා දුම්රිය ගමන ඇරඹුණි. එය ඉතා ජනප්‍රිය දුම්රිය ගමනක් විය. වතු වගාකරුවන්, ව්‍යාපාරිකයන්, සංචාරකයන් ඉංග්‍රීසි නිලධාරීන් මහනුවරට මෙන්ම මාතලේ යාමට ද මෙම දුම්රිය මාර්ගය භාවිත කරන්නට වූහ. කඳුකරයේ කෝපි අස්වනු කොළඹ වරායට ප්‍රවාහනය කිරීම දුම්රියේ විශාල ආදායමක් බවට පත්විය.
ශ්‍රී ලංකාවේ පැරණි බෙදීම්වලට අයත් සතර කෝරළයේ ගල්බොඩ කෝරළේ මායිමක් වශයෙන් ද මීයන් ඇල්ල පුරාණයේ ප්‍රකටව පැවතුණි. ඉංග්‍රීසි ලේඛකයන් තම කෘතිවල මේ ස්ථානය හඳුන්වා ඇත්තේ මීයන්ගල්ල නමිනි. 1869 දී SOUVENIRS OF CEYLON කෘතිය පළ කර ඇල්ස්ටයාර් මැකන්සි ෆර්ගසන් මියන්ගල්ල නමින් මෙම ස්ථානය හඳුන්වා ඇති අතර එතැනින් දුම්රියක් ගමන් කරන ආකාරය දැක්වෙන චිත්‍රයක් ද ඔහුගේ පොතේ ඇතුළත්ය.
ටික කලකට පසුව මෙම දුම්රිය මාර්ගයේ ගමන්ගත් දුම්රියක් මීයන් ඇල්ලේ ජලය කඩා හැලෙන ස්ථානයේ ඇති වූ රේල් පාරේ ගැටලුවක් නිසා දුම්රිය ප්‍රපාතයට පෙරළී ගිය බව ජනප්‍රවාදයේ වාර්තා වී තිබේ. පෙරළී ගිය දුම්රියේ තිබූ හාල් ගෝනිවලින් වැටී විසිරුණු හාල් එකතු කරගත් ගැමියෝ අසල දියපාරවල්වලින් ගරා වැලි වෙන්කර බවට කතාවක් ද ඇසීමට ලැබේ. දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ නම් මෙවැනි අනතුරක් ගැන සඳහන් නොවේ. නමුත් 1897 සැප්තැම්බර් 28 දා රාත්‍රී 9.15 ට හැටන් බලා යන දුම්රිය මීයන්ගල්ල ගැලරියේ දී පීලි පැනීම් අනතුරකට ලක්ව තිබෙන බව වාර්තා වී තිබේ. එදින පාරට කඩාවැටී තිබුණු ගල් හා පස් කන්දක එන්ජිම වැදීම නිසා දුම්රියේ සහල් පැටවූ බඩුගැල් තුනක් එකිනෙක ගැටී පීලි පැන ඇති බව වාර්තා පවසයි. මේ අනතුරින් මගීන්ට කිසි අනතුරක් සිදුව නැති අතර ඔවුන් දුම්රියේ පසුපස එන්ජිම යොදවා දුම්රිය මැදිරි ඇදගෙන රඹුක්කනට රැගෙන ගොස් එහි සිට කරත්ත මගින් මහනුවර දක්වා ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේ. ඊට පසුවත් මීයන්ගල්ල නායයාම් නිසා දුම්රිය මග අවහිර වී දුම්රිය ගමන අත්හිටුවා ඇති අතර එය වතුහිමියන්ගේ සහ වෙනත් ව්‍යාපාරිකයන්ගේ විරෝධය ආණ්ඩුවට එල්ලවීමට හේතුවක් විය. එසේ උඩරට දුම්රිය මගේ අඩාලවීම් තේ අපනයනයට අහිතකර අයුරින් බලපාන්නට වූ අතර පසුව ආණ්ඩුව තීරණය කළේ බිංගෙයක් හාරා මේ ගැටලුව සදහටම තුරන් කිරීමටයි. ඒ අනුව ඉංග්‍රීසින් එතැන පිහිටි ගල් පර්වතය මැදින් සිදුරු කර උමගක් තැනීම ආරම්භ කළේය. එහිදී ප්‍රධාන දුම්රිය උමගේ මැදින් මීයන් ඇල්ල දක්වා වූ කුඩා උමගක් ද නිර්මාණය කර ඇති අතර සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණය මෙම කුඩා උමග කෙරෙහි යොමුවෙයි.
උඩරට මාර්ගයේ කොළඹ සිට පිහිටි 6 වැනි බිංගෙය අහම්බයක් සේ මෙසේ නිර්මාණය විය. මෙම බිංගෙය 5A ඒ නමින් නම් කර ඇති අතර එය දෙවැනි වන්නේ දිගින් වැඩිම බිම්ගෙය වන “සිංගිමලේ” බිංගෙයට පමණි. මෙම බිංගෙයට ඇතුළුවන දුම්රිය අඩි 1307 ක් දිගට පොළොව යටින් යන අතර නැවත හිරු එළියක් ලැබෙන්නේ විනාඩියක් පමණ කාලයක් අඳුරේ ගමන් කිරීමෙන් පසුවය. අංක පහ ලෙස නම් කර ඇති බිංගෙයත් අංක 6 ලෙස නම් කර ඇති මාකෙහෙල්වල දුම්රිය බිංගෙයත් අතර පිහිටි මෙම දුම්රිය උමග පසුකාලීනව නිර්මාණය වී ඇති නිසා 5A ලෙස නාමකරණය වී තිබේ. උමග නිර්මාණය කර ඇත්තේ 1905 - 1906 යන අවුරුදුවලය. ඒ වනවිට කෝපි වගාව වෙනුවට තේ වගාව කඳුකරය ගිලගෙන තිබුණි.
අද මීයන් ඇල්ලෙන් ගලා යන්නේ සිහින් දිය දහරාවක් පමණක් වුවද විශාල පිරිසක් ඒ අවට සුන්දරත්වය නැරඹීමට පැමිණෙනු පෙනේ. ඒ දිය ඇල්ලේ සැඟවුණු කතා පුවත ගැන දැනීමකින් නම් නොවේ.
(මඟපෙන්වූ මාබෝපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති බන්ධුල ධර්මතිලකට අපගේ ස්තුතිය හිමිවේ)
• කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව අන්තර්ජාලයෙන්