වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක්ම රිළවුන්ගේ ආක්‍රමණයට ලක් වී ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. රිළවුන් ජනතාවගේ වගා, භවබෝග විනාශ කිරීමෙන් නොනැවතී නිවෙස් තුළට පවා පැන විනාශකාරී ක්‍රියා සිදු කරන තැනටම මේ රිළා ගැටලුව වර්ධනය වී තිබේ. කෑගල්ල, මාතර, කතරගම, තිස්සමහාරාමය වැනි ප්‍රදේශවල රිළා හමුදා පිටින් නිවෙස්වලට පැන, උයාගත් බත් මුට්ටිය පවා රැගෙන යාම දක්වා රිළා ගැටලුව දරුණු අතට හැරී තිබේ. අනෙක් අතට එම ප්‍රදේශවල නිවැසියන් තම කුඩා දරුවන් නිදිකරවා ඇඳ මත තබා සැනසිල්ලේ එදිනෙදා වැඩ කටයුතුවල යෙදීමට පවා බියක් දක්වන්නේ රිළා ත්‍රස්තයන් පැමිණ දරුවන් පවා රැගෙන යාමේ අවදානමක් පවතින බැවිනි. ගෙවල්වල සෙවිලි ද්‍රව්‍ය කඩා බිඳ දමමින්, වත්ත පිටියේ වගා කරන භවබෝග කා විනාශ කර දමන රිළා රංචු හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන්නේ සුළුපටු හානියක් නොවේ.
අද වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 150 ත් 200ත් අතර දක්වා ඉහළ යාමට එක් හේතුවක් වන්නේ රිළවුන්ය. වසරකට කුරුම්බැට්ටි හා කලටි පොල් මිලියන 30 ක් පමණ රිළවුන් සහ දඬුලේනුන් විනාශ කරන බව ශ්‍රී ලංකා පොල් පර්‌යේෂණ ආයතනය විසින් ප්‍රකාශ කර තිබේ. රිළවුන් වගාබිම්වලින් ඉවත් නොකර කෘෂි කර්මාන්තය ගැන සිතීමෙන් ඵලක් නොවන්නේ කුමන වගාවක් වුවද පැය කිහිපයකින් විනාශ කිරීමට රිළවුන් ක්‍රියා කරන බැවිනි.
මේ දිනවල රිළා ගැටලුව විසඳීමට ඉදිරිපත් වී ඇති අලුත්ම අදහස වන්නේ “රිළා හිරගෙදරක්” සෑදීමය. එක්තරා පුද්ගලයකු විසින් රිළා ගැටලුවට විසඳුමක් ලෙස රටේ විවිධ ප්‍රදේශවලින් අක්කර පනහ බැගින් වූ “කැලෑ” කිහිපයක් තෝරාගෙන “රිළා හිරගෙදරක්” සෑදිය යුතු බවට අදහසක් ඉදිරිපත් කර තිබේ. එම කැලෑව වටා දැල් ගසා කොටුකර රිළවුන්ට පැන යාමට නොහැකි ලෙස සෑදිය යුතු බවත්, අක්කර පනහක කැලෑව, අක්කර විසිපහ බැගින් හරි මැදින් දෙකට බෙදිය යුතු බවත් මෙම අදහසේ හිමිකරු පවසා තිබේ. වඩාත් විහිළු සහගත කරුණ නම් එක් අක්කර විසිපහක කොටුවක ගැහැනු රිළවුන්ද අනෙක් අක්කර විසිපහේ පිරිමි රිළවුන් ද රැඳවිය යුතු බව පැවසීමයි. කැලෑවෙන් එළියට පැන යාමට නොහැකි වන පරිදි එම කැලය ආවරණය කළ යුතු බවත්, එහි සිටින රිළවුන්ට පිටතින් ආහාර සපයා දිය යුතු බවත් තවදුරටත් සඳහන් කර තිබේ. එමඟින් වසරක් ඇතුළත රිළා ගහණය අඩු කරගත හැකි බව එම අදහස ඉදිරිපත් කළ පුද්ගලයා පවසා තිබේ.
මෙම අදහසේ අනෙක් සියලු කාරණා වැදගත් වන නමුත් ගැහැනු රිළවුන් හා පිරිමි රිළවුන් කොටස් දෙකක රැඳවීම නම් කොතෙක් දුරට සාර්ථක වේදැයි කිව නොහැකිය. මන්ද යත් රිළවා යනු බුද්ධිමත් සතෙකි. අනෙක් අතට ඔවුන්ගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා හමුවේ රිළවුන් සන්සුන්ව සිටීවි යැයි සිතීමත් නිෂ්ඵලය. එමෙන්ම මේ සඳහා වැය වන පිරිවැය, ගතවන කාලය මෙන්ම කැලෑවක් දෙකට බෙදීමේදී සිදුවන වන විනාශය ගැන ද විශේෂයෙන්ම සලකා බැලිය යුතුමය.
කෙසේ වෙතත් රිළවුන් ගම්මාන සහ වගාබිම්වලින් ඉවත් කිරීම නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. එසේ නොකළහොත් ජනතාවට සිදුවන්නේ රිළවුන්ගේ පාලනයට යටත් වී ආහාරපාන පවා නොමැතිව දුක්ඛිත ජීවිතයක් ගත කිරීමටය.
මෙරට රිළා ගහණය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත පවසයි. පසුගිය 13 වැනි සිකුරාදා දින කොළඹ පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ රජයක් ලෙස මේ මොහොතේ රිළවුන් ඇතුළු වන සතුන් ගොවි බිම්වලින් ඉවත් කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවය.
“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වන සතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා. ඒක නොකර කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ. කෘෂිකර්මාන්තය විතරක් නෙවෙයි, ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නෙ. විශේෂයෙන්ම රිළවුන්ගේ ප්‍රශ්නය විසඳනවාමයි. කවුරුත් සැකයක් තියාගන්න එපා. මොන අභියෝගය ආවත් ඒක විසඳනවා. රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා. ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා. ඒ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට. ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව සෙල්ලකතරගම ප්‍රදේශයේ සිටින රිළවුන් අල්ලා වනජීවී ප්‍රවේශයට යොමුකිරීමේ ව්‍යාපෘතිය පසුගිය 17 වැනි අඟහරුවාදා දින, අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ උපදේශක අජිත් පෙරේරා මහතා සහ වනජීවී ඇතුළු මාලක මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. එසේම පසුගිය 12 බ්‍රහස්පතින්දා දින රිළවුන් වන්ධ්‍යාකරණ නියමු ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් මාතලේ ප්‍රදේශයේදී උගුල් හා කූඩු අටවා රිළවුන් අල්ලාගෙන ගිරිතලේ සත්ව සුරැකුම් කඳවුරට ගෙන ගොස් වන්ධ්‍යාකරණයට ලක් කර යළි මුදා හැරීමට කටයුතු කර තිබිණි.
රිළවුන් වන්ධ්‍යාකරණය කිරීම රිළා ගහණය පාලනය කිරීමෙහිලා ඉතා සාර්ථක ක්‍රමවේදයක් වුවද එම වන්ධ්‍යාකරණය සිදුකළ රිළවුන් නැවත එම ප්‍රදේශවලටම මුදා හැරීම ගැටලු සහගතය. එහිදී රිළවුන්ගෙන් වගාවට සිදුවන විනාශය හෝ නිවාසවලට සිදුවන විනාශය අඩු වන්නේ නැත. රිළා ගහණය අඩුවීම වන නමුත් ජීවත්ව සිටින රිළවුන් මිය යන තෙක් ආහාර සොයමින් ගම්වැද සිදු කරන විනාශය මඳකින් හෝ අඩුවන්නේ නැත.
ඒ අතින් “රිළා දූපතක්” සංකල්පය තරමක් ප්‍රායෝගික බව පිළිගත හැකිය. රිළා ගැටලුවට දිය හැකි ක්ෂණිකම විසඳුම ලෙස උගුල් හා කූඩු අටවා රිළවුන් අල්ලාගෙන එක දූපතකට කොටු කිරීම බව මේ වන විට බොහෝ දෙනා පිළිගෙන ඇති මතයකි. මෙහි සාධනීය බව පෙනී යන්නේ වන විනාශයක් සිදු නොවීම මෙන්ම රිළවුන්ට අනතුරක් නොවීම නිසාවෙනි. කැලෑවලට යම් පමණකින් හෝ හානියක් සිදු කිරීමට වඩා හතර වටින් මුහුදෙන් වට වූ ගොඩබිමකට රිළවුන් පිටුහල් කිරීම සාර්ථක වන්නේ රිළවුන්ට ගැඹුරු ජලයේ පිහිනා ගොඩබිමට පැමිණීමේ අපහසුතාව හේතුවෙනි. වර්තමානය වන විටත් මීගමු කලපුව තුළ “රිළා දූපතක්” ඇති අතර කලපුවේ බෝට්ටු සවාරිවල යෙදෙන විදෙස් සංචාරකයෝ බොහෝ වශයෙන් මෙම රිළා දූපත නැරඹීමට පැමිණෙති. මෙය ජනාකීර්ණ ප්‍රදේශයක පවතින ඉතා කුඩා දූපතකි.
ජන ශුන්‍ය දූපත් තෝරාගෙන රිළා දූපතක් සෑදීමෙන් එක අතකට රිළවුන් ආරක්ෂා වන අතර, අනිත් අතින් ගැමි ජනතාවගේ දෛනික ජීවිත යථා තත්ත්වයට පත්වන අතර වගා හානිවීමේ ගැටලුව ද විසඳී යනු ඇත. තවත් අංශයකින් ගතහොත් මුහුදෙන් වට වූ රිළා දූපත සංචාරකයන්ට ආකර්ශනීය අයුරින් ගොඩනැගීමටද කටයුතු කළ හැකිය. විදෙස් සංචාරකයන්ට එම දූපතට පැමිණ රිළවුන්ට නැරඹීමට සහ ඔවුන්ට ආහාර ලබා දීමට ද කටයුතු සලසා දීමට හැකි නම් ඉතා අගනේය.
සැබැවින්ම “රිළා හිරගෙදරක්” වෙනුවට “රිළා දූපතක්” තිබීම පවතින තත්ත්වය අනුව වටිනා දෙයකි. කෙසේ වෙතත් “රිළා දූපතක් සෑදීම” හාස්‍යයට ගෙන බැහැර කළ යුතු කරුණක් නොවේ. එහි සාධනීය ප්‍රතිඵල රාශියක් දැකීමට ඇති බැවින් රිළා දූපතේ කර්තව්‍ය පිළිවෙළකට සැලසුම් කිරීම කරගත යුතුය. එසේ වුවහොත් අහිංසක ගම්වැසියන්ට තවදුරටත් කළු ඇඳුම් ඇඳ වඳුරකු මෙන් සැරසී පාරවල්වල රිළවුන් එළවමික් දුක් විඳීමට සිදු නොවනු ඇත.
• මංගලා පවිත්‍රානි