වර්තමානය වන විට වසරකට රුපියල් මිලියන 1.2 ට වඩා වැඩියෙන් උපයන අයට පනවා ඇති උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. උපයන විට ගෙවීම් බද්ද සම්බන්ධයෙන් වෘත්තියවේදීන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ඇගයීමේදී සිදු වූ සාකච්ඡාවලදී එම බදු පැනවීමේ සීමාව ඉහළ දැමීමට සමත් වූ බවයි.
“අපි බද්ද පනවන සීමාව ලක්ෂයට උඩ, අපි එය ලක්ෂ එකහමාර දක්වා වැඩි කරගැනීමට සමත් වෙලා තිබෙනවා,” ඔහු පැවසුවේය.
ඒ වගේම 6% ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට සංශෝධන ලබා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා.”
එහිදී ජනාධිපතිවරයා එක එක පුද්ගලයන් ලබාගන්නා මාසික වැටුපෙන් බදු අඩුවන ප්‍රතිශතය පැහැදිලි කළේය.
“මාසික වැටුප ලක්ෂ එකහමාරක් ගන්න කෙනෙක්ට බදු 100% ක් නිදහස්. ලක්ෂ 2 ක් වැටුප ගන්න කෙනෙක්ගේ වැටුපෙන් 71% ක් බදුවලින් නිදහස්. ලක්ෂ දෙකහමාරක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් බද්ද 61% ක් නිදහස්. ලක්ෂ 3 ක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් 47% ක් බද්ද නිදහස් වෙනවා. ලක්ෂ තුනහමාරක් ගන්න කෙනෙක්ගෙන් බද්ද 25.5% කින් නිදහස්,” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මෙම සහනය අඩු වැටුප් ලැබෙන අයට වැඩි සහනයක් ලැබෙන ආකාරයෙන් ලබා දෙන බවයි.
• ඡන්දයට පෙර ජනාධිපතිවරයා දුන් පොරොන්දුව
ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ උපයන විට ගෙවීම් බද්ද වෘත්තිකයන්ට අසාධාරණයක් නොවන ලෙස සංශෝධනය කරන බවටය.
ඒ අනුව පුද්ගලයන් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමීමට ඔහු යෝජනා කර තිබුණි.
ඒ අනුව වැටුප රුපියල් ලක්ෂ 2 ක් වන අයකුට Paye Tax එක අදාළ නොවනු ඇත.
බදු කාණ්ඩ සහ බදු අනුපාත (Tax Brackets & Tax Rates) සංශෝධනය කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කර තිබුණි.
හිඟ බදු කඩිනමින් අය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද අනුර කුමාර දිසානායක යෝජනා කර තිබූ අතර, බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටද ඔහු යෝජනා කර තිබුණි.
ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය 2023 වසරේදී 300% කින් පමණ ඉහළ ගියේය.
2023 ජනවාරි මස 01 වැනිදා සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ වත්මන් රජය ශ්‍රී ලාංකිකයන්ගේ උපයන විට ගෙවීමේ බද්දෙහි (PAYE Tax) තීරණාත්මක හා සැලකිය යුතු වෙනස්කමක් සිදු කරන ලදී.
ආර්ථික අර්බුදයෙන් පසු ඉහළ නංවන ලද මෙම බදු ක්‍රමවේදයේ නව වෙනස්කම් සඳහා දැවැන්තම විරෝධය එල්ල වූයේ වෘත්තිකයන්ගෙනි.
මෙමගින් මසකට රුපියල් 100,000 ට වඩා උපයන සියල්ලන්ට 6% සිට 36% දක්වා උපයන විට ගෙවීමේ බද්දක් ගෙවීමට සිදුවේ.
මෙහිදී, රුපියල් 100,000 සිට රුපියල් 200,000 දක්වා ගෙවිය යුතු බදු මුදල යම් දැරිය හැකි ස්වභාවයක් පවතී.
මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ‘නව උපයන විට බද්දෙන් බැට කන’ වෘත්තිකයන් බොහෝ දෙනකු පැවසුවේ, රටේ පැවැත්ම වෙනුවෙන් වෘත්තිකයන් ලෙස යම් සාධාරණ බද්දක් ගෙවීමට කිසිසේත් විරුද්ධ නොවන බවය.
එහෙත්, මාසික වේතනයෙන් විශාල කොටසක් අහිමි කරන මෙම බදු ක්‍රමය ඉතා අසාධාරණ බව ඔවුහු පවසති.
‘රටේ පැවැත්ම වෙනුවෙන් සහ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යම් බද්දක් ගෙවිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒත් ඒ බදු ක්‍රමය කොයිතරම් සාධාරණද කියලා හිතන්න වෙනවා,’ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න බීබීසී සිංහල වෙත පැවසීය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් හැරුණුවිට රුපියල් ලක්ෂ 300,000 ඉක්මවා මාසික වේතනයක් ලබන්නන් ඇත්තේ, සාපේක්ෂව සුළු පිරිසකි.
එවැනි වේතනයක් ඔවුන් ලබන්නේ, යම් ක්ෂේත්රයක් වෙනුවෙන් වසර ගණනාවක පළපුරුද්දක්, අධ්‍යයනයක් කිරීමෙන් ලැබූ විශේෂඥභාවයේ වටිනාකමක් නිසාය.
එවැන්නන්ගෙන් අධික බදු ගැනීම ඔවුන්ට රට අතහැර යාමට දිරිගන්වන අමනෝඥ ක්‍රියාවක් බව වෘත්තිකයෝ පවසති.
“මගේ ක්ෂේත්රය ගත්තොත් ආචාර්ය උපාධියක් අරගන්න සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් විතර ගත වෙනවා. ඉතින් අවුරුදු 10 ක විතර දීර්ඝ කාලයක් ලොකු කැප කිරීමක් කරලා විශ්වවිද්‍යාලයක යම් වැටුපක් ගන්න කෙනකුට තමන්ගේ වැටුපෙන් බාගයක් විතර ආපහු රජය කපා ගන්නවා නම් බදු විදිහට එයාට හිතෙන්නෙ නෑ රටේ ඉන්න. ගොඩක් අය කියන්නේ බදු නිසාම රට දාලා ගියා කියලා. ඉතින් මේ අධික බදු නිසා රට දාලා යන්නේ රටට අත්‍යවශ්‍ය වෘත්තිකයන් පිරිසක්. ඔවුන් රටෙන් ගියාම මේ රටේ අනාගතයට මොකද වෙන්නේ? මේ වටිනා වෘත්තිකයන්ට ලෝකයේ ගොඩක් රටවලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ වෘත්තිකයන් රැකගන්න නම් මේ අසාධාරණ බදු ක්‍රමය නතර කළ යුතුමයි,” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න පෙන්වා දුන්නේය.
“2023 ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳල පටන් ගත්ත මේ උපයන විට බද්ද වෛද්‍යවරු ඇතුළු මේ රටේ වෘත්තිකයන් සෑම දෙනකුටම ලොකු ප්‍රශ්නයක්. අපි කිසිම අවස්ථාවක කියන්නෙ නෑ බදු ගෙවන්න බැහැ කියලා. හැබැයි ඒක ගෙවන්න පුළුවන් සාධාරණ බද්දක් වෙන්න ඕන. මාසික වේතනයෙන් විශාල මුදලක් කපා ගන්නකොට රජය හිතන්නෙ නෑ ප්‍රවාහන ඇතුළු අපේ වියදම් විශාල වශයෙන් ඉහළ ගියා පසුගිය කාලය තුළ කියන එක. වෛද්‍යවරයකු මාස 12 ට ගන්න වැටුපෙන් මාස තුනක විතර වැටුප් බදු විදිහට කපා ගන්නවා,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙරට ආර්ථිකය කඩා වැටීමට හේතු වූයේ දේශපාලකයන් මිස වෘත්තිකයන් නොවන බවත්, එහෙත්, එහි විපාකවලින් පීඩාවට පත්ව ඇත්තේ, වෘත්තිකයන් බවත් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.
වෘත්තිකයන් සම්බන්ධ වෘත්තීය සමිති 45 ක් පමණ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩු සහ පාලකයින් බව දේශපාලන විද්‍යාව පිළිබද මහාචාර්ය ජයදේව උයන්ගොඩ අවධාරණය කරයි.
“ආර්ථික අර්බුදයයි ණය අර්බුදයයි දෙකටම වග කියන්න ඕන ලංකාවේ ආණ්ඩු සහ පාලකයෝ. ඒ වගේම ආර්ථික වාසි ලබපු ව්‍යාපාරික පන්තියකුත් ඉන්නවා. නමුත්, ආර්ථික අර්බුදයේ බර පටවන්නේ අසාධාරණ ලෙස වැඩ කරන ජනතාව, දුගී ජනතාව, කම්කරු පන්තිය සහ මධ්‍යම පන්තියට.”
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බදු ක්‍රමය හේතුවෙන් රටට අවශ්‍ය “වටිනා වෘත්තිකයන් පිරිසක් රටට අහිමිවන” බව ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුව වෘත්තිකයන්ගෙන් අතිශය විශාල බදු අය කිරීමක් කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
“අපි ඍජුව සාකච්ඡා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක. ඒගොල්ලො පැහැදිලිව කිව්වා, බදු අය කිරීමේ ක්‍රමවේදය ගැන ඔවුන් කිසිදු උපදෙසක් නොදුන් බව. ඔවුන් දීලා තියෙන්නේ බදු ආදායම් ඉලක්ක විතරයි. ආණ්ඩුව තමයි, රටට වටිනා සේවයක් කරන වෘත්තිකයන්ගෙන් දරන්න බැරි තරම් බද්දක් ගන්න තීරණය කරලා තියෙන්නේ,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය රැක ගැනීම බදු ගැසීමෙන් පමණක් කළ නොහැකි බවත්, රට දියුණු කිරීම සඳහා වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බවත් දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.
• BBC