2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

හොර සහතික නිසා දොට්ට වැටුණු ගුරුවරු

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:02 61

නොපෙනෙන ලෝකයේ දෙවියන් පිළිබඳ බොහොම විශ්වාසයෙන් ගෞරවයෙන් කතා කරන අපේ රටේ ජනතාව මේ මිහිපිට දෙවිවරුන් ලෙස වන්දනාමාන කරනුයේ එකම එක වෘත්තිකයන් පිරිසක් පමණකි. රටේ කෙතරම් වෘත්තීන් පැවතියද දෙවිවරුන්ට සමාන ලෙස පවසනුයේ ගුරු වෘත්තිය පමණකි. එමෙන්ම එවන් වූ “ගුරුන්ටත් අකුරු වරදී” යනුවෙන් ද අප සමාජයේ කියමනක් තිබේ. එය බුද්ධ දේශනාවේ ද පැහැදිලි කරනුයේ කවුරුන් කෙසේ පැවසුවත් අසන්නා මනා සිහියෙන් කටයුතු කරන්නේ නම් වඩා යහපත් ප්‍රතිඵල ලබාගන්නා බවයි. එහෙත් වැරැදීම සහ හිතාමතා වැරැද්දවීම යනු දෙකකි.

මෙසමය දියවන්නාවේ ඇත්තන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මුළු රටටම කටගැස්මක් වී ඇති සමයකි. එවන් සමයක පසුගියදා උතුරුමැද පළාතේ රාජ්‍ය සේවයෙන් අසන්නට ලැබුණේ අමුතු කතාවකි. ඒ උතුරුමැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ ප්‍රකාශයකි. ඔහු අනාවරණය කළේ පළාතේ ගුරුවරුන් සිය සේවයට බඳවා ගැනීමේදී ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛන පරීක්ෂා කිරීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත් කළ බවත් එහි වාර්තාවට අනුව ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛන ඉදිරිපත් කර පත්වීම් ලබාගත් චෝදනාවට උතුරුමැද පළාතේ උපාධිධාරී හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය අවසන් කළ බවත්ය. මෙසේ සේවය අවසන් කර ඇත්තේ 1997 වසරේ සිට උතුරුමැද පළාතේ පාසල් සේවය සඳහා විටින් විට බඳවාගත් උපාධිධාරී සහ පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ බවද ඔවුන් බොහෝ දෙනකු වසර 8 - 25 අතර කාලයක් සේවය කළ අය බවද හෙතෙම තහවුරු කළේය.

සේවය අවසන් කළ ගුරුවරුන්ගෙන් වැඩි දෙනකු කැබිතිගොල්ලෑව හා දිඹුලාගල යන අධ්‍යාපන කලාපවල සේවය කර ඇත. ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සිරිමෙවන් මහතා සඳහන් කළේ මෙම ගුරුවරුන් සේවයට බැ‌ඳෙන අවස්ථාවේ ඉදිරිපත් කර තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ උපාධි සහතික ව්‍යාජ ඒවා බවට තහවුරු වූ බවයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු වාර්තාවට අනුව ඇතැම් උපාධිධාරීන් ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා විදේශ විශ්වවිද්‍යාලවලින් පවා අධ්‍යාපනය හැදැරූ බවට ලබා දී තිබූ උපාධි සහතික ව්‍යාජ ඒවා බවට හෙළි වී තිබේ. මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතිකවල නිර්වද්‍යතාව සහතික කර ගැනීම සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විභාග දෙපාර්තමේන්තුවට සහ අදාළ විශ්වවිද්‍යාලවලට එම සහතික යැවීමෙන් අනතුරුව ඒවා ව්‍යාජ සහතික බවට අනාවරණය විය. තම උපරිම අධ්‍යාපන සුදුසුකම් සපුරමින් උපරිම හැකියාව දක්වමින් රජයේ ගුරු පත්වීමක් ගැනීමට හීන දකින්නෝ මේ මිහිපිට කෙතරම් සිටිත්ද? එසේ සිටියදී මෙවැනි ප්‍රයෝග කරන පිරිස් මෙවැනි පුණ්‍යවන්ත වෘත්තියකට පිවිස කෙලෙසීම කනගාටුදායක මෙන්ම පිළිකුල් සහගතය.

රාජ්‍ය සේවකයන්ගේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් විමසා දැනගැනීමට අවැසි අවස්ථාවේ අපට මුලින්ම මතක් වූයේ හොරොව්පොතානේ පළමුවැනි ඩී.ආර්.ඕ ය. රාජ්‍ය සේවයේ අමාත්‍යංශ ලේකම් දක්වා දශක 30 ක අත්දැකීම් සහිත කීර්තිමත් නිලධාරියකු වූ ඒ.පී.ඒ. ගුණසේකර මහතා නොපැකිලිව මෙසේ ඔහුගේ මතක පොත දිග හැරියේය.

“මම 2003 - 2004 කාලයේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන සහ මුදල්) වශයෙන් කටයුතු කළා. ඒ කාලයේ මට මතකයි පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක වැඩ බැලීමට විදුහල්පතිවරයකු පත්වුණා තාවකාලිකව. ඊටපස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නියම පටිපාටියට එම පාසලට විදුහල්පතිවරයකු පත්කර හැරියා. ඒ විදුහල්පති පාසලේ වැඩ බාරගැනීමට ගියාම වැඩ බැලීමට පත් කළ විදුහල්පතිවරයා රාජකාරියට බාධා කර තිබුණා. ඔහු මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළා. මේක බොහොම බරපතළ කාරණයක්. මම පාලන අතිරේක ලේකම් වශයෙන් මෙම සිද්ධිය ගැන විමර්ශනය මට පැවරුණා. ඉන්පසු මේ වැඩබලන විදුහල්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යංශයට එන්න කියා ඇමතුමකින් දැන්වූවා. ඊටපස්සේ ලියාපදිංචි ලිපියක් මගින් දැනුම් දුන්නා. ඒ අවස්ථා දෙකම සත පහකට මායිම් කළේ නෑ.

ඒ කාලය දරුවන් පාසල්වලට ඇතුළත් කරන කාලය. ඔය අතරතුර මට දැනගන්න ලැබුණා ඔය විදුහල්පතිවරයාට තියෙන්නෙ හොර උපාධි සහතිකයක් කියලා. මේ හොර උපාධි සහතිකය දී තිබුණේ සම්මුඛ පරීක්ෂණයකදී. ඒ ක්ෂේත්‍රය පැවරී තිබුණේ වෙනත් අතිරේක ලේකම්වරයකු යටතේ. මම ඔහුට කතා කර කිව්වා, මේ තැනැත්තාගේ උපාධි සහතිකයේ පිටපතක් මට ලබා දෙන්න කියලා. මම මේ උපාධි සහතිකය අරගෙන බැලු‍වා. ඒකේ උපකුලපතිගෙ නම තියෙන්නේ කරුණාසේන කොඩිතුවක්කු මහතා හිටපු කාලේ. ඒත් ඒ සහතිකයේ උපකුලපතිගෙ නම තිබුණේ කරුණාසේන කොපිතුවක්කු කියලා. මුළු සහතිකයේම අඩුපාඩු වෙනස්කම් 11 ක් විතර අඳුරගන්න මට පුළුවන් වුණා. එතකොට ඇමැතිවරයා වශයෙන් හිටියේ කරුණාසේන කොඩිතුවක්කු මහත්තයා. බොහොම උගත් වැදගත් මහත්මයෙක්. මම මේ උපාධි සහතිකය අරගෙන ඒ මහත්තයා හමුවන්න ගියා. එසේ හමුවී මම මෙහෙම කිව්වා.

“සර්, අහවලා සර්ගෙ පක්ෂයට වැඩ කරන කෙනකු විත්තිය මම දන්නවා. ඒත් මට ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. එයා අමාත්‍යංශයට දීපු මේ සහතිකය අරගෙන බලන්න මේක සර්ගෙ කාලෙ දීපු එකක්ද? මේකෙ නම තියෙන්නෙත් කරුණාසේන කොපිතුවක්කු කියලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම දන්න තරමින් එහෙම කෙනකු ඉඳලා නෑ සර් හැර.”

කරුණාසේන කොඩිතුවක්කු ඇමැතිවරයා සහතිකය අරගෙන බැලූ අතර ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

“මේක ව්‍යාජ සහතිකයක්නෙ. ඔයා මිස්ටර් ගුණසේකර ඔයාගෙ රාජකාරිය කරන්න. මම ඕවාට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. මට කාවවත් ආරක්ෂා කරන්න ඕනෑ නෑ. ඔය ජාතියේ වැඩවලට මම කැමැති නෑ. ඔයා මාව දැනුවත් කරපු එක හොඳයි. මම මැදිහත්‍ වෙන්නෙ නෑ. ඔයාගෙ රාජකාරිය කරන්න.” එකල ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු වූ ඔහුගේ පිළිතුර සර්වකාලීන ආදර්ශයකි.‍

“මම ඊටපස්සේ ලිපියක් හදලා සහතිකයේ පිටපතක් සමඟ යැව්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිතුමාට. එහෙම යවලා පැයක් ඇතුළත මට පිළිතුරු වශයෙන් ලැබුණා මෙම සහතිකය ව්‍යාජ එකක් බවට. ඊටපස්සේ මොහු ඉදිරිපත් කර තිබූ අනෙක් සහතික ගැනත් සැක මතු වුණා. ඔහු සම්මුඛ පරීක්ෂණයකට දී තිබුණා පුංචි බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සහතිකයක්. අපි ඒකත් යවලා බැලු‍වාම ඒකත් ව්‍යාජ එකක්. ඔහු ඒ වනවිට රාජ්‍ය සේවයේ විශාල කාලයක් වැඩ කළ විශ්‍රාම යාමට ඔන්න මෙන්න හිටපු තැනැත්තෙක්. ඒත් මෙවැනි අවස්ථාවක මේ තැනැත්තාට අනුකම්පා කරන්න පුළුවන්ද?” ගුණසේකර මහතා සිය අත්දැකීම ආවර්ජනය කළේ එහෙමය.
සෑම රාජ්‍ය නිලධාරියකුම සේවය කරනුයේ නීතියක් යටතේය. ආයතන සංග්‍රහයේ රජයේ නිලධාරීන්ගේ විනය කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 8 වැනි වගන්තියේ උප වගන්ති 4 කි. 8.1 වගන්තිය යනු සියලු‍ම රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහය, මුදල්

රෙගුලාසි ඇතුළු පනවා ඇති සියලු‍ නීති රීතිවලට යටත්ව කටයුතු කළ යුතුය, රාජකාරි කළ යුතුය. 8.2 වගන්තිය නම් මෙයට පටහැනිව ක්‍රියා කළහොත් එය තවත් වරදක් හැටියට සැලකිය යුතුය. 8.3 වගන්තියේ හැටියට මෙවැනි ක්‍රියාවකදී නිලධරයකුගේ හෝ බලධරයකුගේ නියෝග සහ උපදෙස් පිට රාජකාරි කළාය යන්න නිදහසට කරුණක් නොවේය. 8.4 වගන්තියට අනුව යම් අනිසි බලපෑමක් කරන නිලධාරියකු හෝ බලධාරියකු සිටී නම් ඔහුට විරුද්ධවත් විනය පියවර ගත හැකි බවය. මේ ආකාරයට රාජ්‍ය සේවය නීති රීති අණ පනත් යටතේ වගකීමට මෙන්ම වගවීමටද යටත්ය.

ගුණසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

“මෙවැනි වංචාවක් අනාවරණය වූ අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් වන අප බැඳී සිටිනවා විනය කාණ්ඩයේ සඳහන් උපදෙස් සහ නියෝග අනුව ක්‍රියා කරන්න. එය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විය හැකියි. මෙවැනි වංචාවලට ඉඩ දිය යුතු නෑ. මෙය බරපතළ වරදක්. මෙවැනි වරදක් දණ්ඩනීති සංග්‍රහය යටතේ එන අපරාධමය වරදක්. ඉහත පන්නිපිටි‍ය ප්‍රදේශයේ පාසල් සිදුවීමේත් ව්‍යාජ සහතික ඉදිරිපත් කළ නිලධාරියා අධිකරණමය ක්‍රියාවලියකින් පසු බන්ධනාගාරගත වුණා. එය එසේ නොවුණා නම් මේ සම්බන්ධයෙන් අනෙක් නිලධාරීන් අමාරුවේ වැටෙනවා. එක වරදක් වහන්න තව වරදක් කළාම මුල් වරද නිවැරැදි වෙන්නෙ නැහැ. රාජ්‍ය සේවය පිරිසුදු කළ හැකි වන්නේම මෙවැනි වැරැදි කරන පුද්ගලයන්ට නිසි දඬුවම් දීමෙන් පමණයි.”
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති /2022.12.14 නිකුත් අංක 2310/29 යන ගැසට්ටුවේ 60 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි.

“රජයේ සේවයේ කිසියම් තනතුරකට පත් කරනු ලැබූ තැනැත්තකුට අදාළ තනතුරට මූලික සුදුසුකම් නොමැති බවට අනාවරණය වූ මුල් අවස්ථාවේදීම එකී තත්ත්වය පිළිබඳ තීරණයක් ලබාගනු පිණිස එම කරුණ අප්‍රමාදව කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු වන්නේය.”

අප සමාජයේ ඉංග්‍රීසි කියමනක් තිබේ. එහි සිංහල අර්ථය වන්නේ වැරැදි දෙකකින් හරියක් හැදෙන්නේ නැත යන්නය. එහෙයින් රාජ්‍ය සේවය නොකිලිටි රාජ්‍ය සේවයක් වීමෙන් මේ රට ගොඩනැගිලිවලින් සුරපුරයක් වනවාටත් වඩා සුරපුරයක් වනු නිසැකය. රටේ ජනතාවගේ දෑත් පිරිසුදු කිරීමේ වඩාත් සුදුසුම ක්‍රමවේදය වන්නේ රාජ්‍ය සේවය පිරිසුදු කිරීම බව අපි සිතමු. උතුරුමැද සිදු වූ මෙම සිදුවීම එක් සිදුවීමක් පමණි. පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේදී පවා මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරාම සිදුවිය. මෙවැනි වංචාකාර පුද්ගලයන් මෙන්ම මෙවැනි කාරණා යටපත් කිරීමට වෘත්තිය සමිති, යම් සංවිධානයක්, පිරිසක් හෝ බලවතකු උත්සාහ දරන්නේ නම් ඔවුන්ද නීතිය හමුවට පැමිණවිය යුතුය.

• සසංක චලන ගිම්හාන