2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

2025 රටට, ඔබට

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05 2723

2025 නව වසර ආරම්භයේදී රවි ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ බ්‍රහස්පතිට අයත් ධනු රාශියෙත් අඟහරු හා සඳුට අයත් කටක රාශියෙහිත් නීචව ගමන් කරමින්ද, බුධ, අඟහරුට අයත් වෘශ්චික රාශියෙහිද, බ්‍රහස්පති, සිකුරුට අයත් වෘෂභ රාශියෙහි සතුරු භවනක ගමන් කරන අතර, සිකුරු තමාට මිත්‍ර රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භයේ රාශිගත වෙමින්ද, තමාට ස්වක්ෂේත්‍ර රාශියක් වූ කුම්භ රාශියේ ගමන් කරමින්ද, රාහු ගුරුට අයත් මීන රාශිගතවද  අඟහරුට අයත් මේෂ රාශියෙහි යුරේනස් ගමන් කරමින් සිටියදී බ්‍රහස්පතිට අයත් මීන රාශියෙහි නෙප්චූන් ගමන් කරමින් සිටී. මෙම ග්‍රහ පරිසරය තුළින් උදා වූ 2025 නව වසරේදී ප්‍රධාන ග්‍රහ මාරු තුනක් සිදුවේ.
2025 මැයි මස 14 වැනි දින බ්‍රහස්පති තමාට සතුරු රාශි භවනක් වූ බුධට අයත් මිථුන රාශියට ගමන් කිරීමත්, 2025 මාර්තු මස 29 වැනි දින සෙනසුරු තමාට සම රාශි භවනක් වූ බ්‍රහස්පතිට අයත් මීන රාශියට පිවිසීමත්, 2025 මැයි මස 18 වැනිදා රාහු සෙනසුරුට අයත් කුම්භ රාශිගත වීමත්, ප්‍රධාන වශයෙන් සිදුවන ග්‍රහ මාරු තුන වේ. 2025 වසර තුළ දී සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ මෙන්ම ග්‍රහ යුද කෙරෙහිද අවධානය යොමු කරමින් අප රටට මෙන්ම විදේශීය රටවලටද සිදුවන බලපෑමත් කෙරෙහි අවධානය යොමු කරමු.

අපේ රටට
මුලින්ම අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රටේ ආර්ථිකයෙහි මුල් මාස කිහිපය තුළ වර්ධනයක් පැවතියද, ඉන්පසු ක්‍රමයෙන් ආර්ථිකයේ පසුබෑමක් ඇතිවන බව කිව යුතුය. විදේශීය රටවලින්ද විවිධාකාර බලපෑම් අප රටට එල්ල වනවා ඇත. බස් රථ, දුම්රිය, මෝටර් රථ මෙන්ම තෙල් බවුසර් ආශ්‍රිතව සිදුවන අනතුරුවල වර්ධනයක්ද, හදිසි ගිනි ගැනීම් සිද්ධිද වාර්තා වන වසරක් වේ. දුම්රිය එකිනෙක ගැටී සිදුවන්නා වූ අනතුරු බහුලව සිදුවෙයි. මහජනයා පීඩාවට පත් කරමින් දුරකථන හා තැපැල් වැනි අංශවල සේවා ගාස්තු වැඩිවීමට ඉඩ වැඩිය. කෘෂිකර්මාන්තයට බාධා ගෙන දෙමින් වසරේ මුල් මාස හතරෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවී වී ගොවිතැන් මෙන්ම එළවළු වගාවන්ටද දැඩි හානි ඇතිවනු ඇත. එම නිසා මහජනයාට දරාගත නොහැකි ලෙස භාණ්ඩවල මිල ඉහළ යාමක්ද සිදුවේ. අප රට තුළ කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමක් සහ නැව් පෙරළීම්ද, භාණ්ඩ රැගත් නෞකාවක් මුහුදුබත් වීමක්ද අසන්නට ලැබේ. මහජන නියෝජිතයකුගේ හදිසි අභාවයක් ඇතිවීමත්, රාජ්‍ය පාලකයනට රජයේ කටයුතු සිදු කිරීමට විවිධ වූ බාධා ඇතිවීමක් මෙන්ම මහජන විරෝධතා දැඩි ලෙස සිදුවන වසරක් වන අතර රට තුළ දික්කසාද වීම්ද බහුලව සිදුවන වසරක් වනු ඇත. රට තුළ යම්කිසි ආකාරයක ගැටුම්කාරී කලහකාරී සිදුවීම්ද ඇති වේ. අප රටේ නිර්මාණාත්මක කලාත්මක හෝ විද්‍යාත්මක සොයා ගැනීමක්ද ඇතිවන වසරක් වේ. ඒ අතර විශාල නාය යෑමක් නිසා ජීවිත විනාශ වීමක්ද වාර්තා වනු ඇත.

පිටරටවලට
විදේශීය වශයෙන් විමසා බැලීමේදී විදේශ භූමියන්ට සිදුවන හානි වැඩිවන වසරක් වේ. විශේෂයෙන් ස්වභාවික ආපදා, ගිනි කඳු විදාරණය වීම්ද, භූ චලන හේතුවෙන් ජීවිත හානිවීම්ද බහුල ලෙස වාර්තා වනු ඇත. කුඩා රාජ්‍යයන් ඉතාමත් අසීරු පාලන තත්ත්වවලට භාජනය වී ඒවායේ පාලන බලය අධිරාජ්‍යවාදීන් නතු කර ගැනීම්ද වාර්තා වනු ඇත. විශේෂයෙන් දැනට පවතින යුද තත්ත්වයන් ඉතා උත්සන්න වනු ඇත. මිනිසුන් දසදහස් ගණනින් මරණයට පත්වන වසරක් වන බව පවසන්නේ කනගාටුවෙනි. හඳුනා නොගත් වෛරස් විශේෂයක් පැතිර යාමෙන් මිනිස් ජීවිත විනාශ වීමට ඉඩ වැඩිය. ප්‍රබල රාජ්‍ය නායකයකුට තම ජීවිතයෙන් සමු ගැනීමටද සිදුවීමක් හෝ රාජ්‍ය බලය අතහැර යාමක්ද වනු ඇත. ළමා මරණද ඉහළ යන අතර සතුන් ආශ්‍රිතව පැතිර යන වසංගත හේතුවෙන්ද, සත්ව ග්‍රහණය අඩුවීමක්ද දක්නට ලැබෙන වසරක් වේ. ලෝක ආර්ථිකයේද යම් කඩා වැටීම් සිදුවන වසරක් වේ. මීළඟට ලබන වසර ඔබේ ලග්නයට බලපාන අයුරු විමසා බලමු.

 

මේෂ - අධ්‍යාපනයට ඉතා ශුභයි

ඔබට මිශ්‍ර ඵල උදා කරන වසරක් වන අතර වසර මැදදී යම් පමණකට අයහපත් ඵල අත්වේ.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට මෙම වසර ඉතා ශුභදායක වසරක් වන අතර ඉතා උත්සාහයෙන් යුක්තව කටයුතු කරමින් තරග විභාගවලින්ද ජයග්‍රහණ අත්කර ගන්නවා ඇත. කලා කටයුතුවලට සහභාගි වන අයට ගායන, නර්තන හා චිත්‍ර ආදී අංශවලින් තම නිපුණතා විශිෂ්ට ලෙස දැක්විය හැකි වේ.
රැකියාව – ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට මෙම වසර මුල යහපත් ඵල උදා වී මුල් මාස 4 තුළදී ව්‍යාපාරවල දියුණුවක්ද ලබාගත හැකිවනු ඇත. ඉන්පසු ක්‍රමයෙන් අලාභ ලැබීම්ද, වියදම්ද වැඩිවන කාලයක් වේ. නව රැකියා අපේක්ෂා කළ අයට මුල් මාස හතරින් පසු බාධා ඇතිවනු ඇත.
ගෘහ ජීවිතය – අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර කරගත හැකි කාලයක් වේ. නිතර සතුටින් කාලය ගත කිරීමටත්, විසිතුරු දේවල් මිලදී ගැනීමටත්, නිවසේ අලුත්වැඩියාද සිදු කරනවා ඇත. ලියවිලිවලට අත්සන් කිරීමේදී කල්පනාකාරී විය යුතු වන්නේ නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවිනි.
ධනය – වසරේ මුල් මාස හය තුළදී ලැබීම් ඇතිවුවද ඉන්පසු මාස හය තුළදී වියදම් වැඩි වී ඉතිරි කිරීම්වලට බාධා මතුවන කාලයකි.
සෞඛ්‍යය – ආමාශගත රෝගාබාධ ඇතිවන කාලයකි.

වෘෂභ - සේවා ගැටලු ලිහේ
ඔබට යහපත් ඵල උදා කරන වසරක් වනු ඇත.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඔබට යහපත්ය. ඔබගේ උනන්දුව මත තරගවලින්ද ජයග්‍රහණ ලබන වසරක් වන අතර බාහිර ක්‍රීඩා තරගවලින්ද ජය ලබාගත හැකි වේ. අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වීමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉටු වේ.
රැකියාව - සේවා ස්ථානයේ පැවති ගැටලු මඟහැරී යන වසරක් වන අතර නව රැකියාද ලබාගත හැකිවනු ඇත. මුල් මාස හතර තුළදී උසස්වීම් අපේක්ෂා කරන්නේ නම් එම බලාපොරොත්තුද ඉටු කරගත හැකි වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද ශුභ වේ.
ගෘහ ජීවිතය – ඔබ කරන සියලු කටයුතුවලදී ඉතා පරිස්සම් විය යුතු අතර ඔබ කරන බොහෝ දේ නිසා කරදරයට පත්විය හැක. යම් යම් අයට ඇපවීම්ද නොකළ යුතුය. ගංගාවල හා මුහුදුවල පිහිනීම් හා ස්නානය නොකළ යුතුය. ඔබගේ යම් යම් අතපසු වූ වැඩ කටයුතු බාධක මධ්‍යයේ වුවද ඉටු කරගත හැකිය.
ධනය – මුල් මාස හතර තුළදී තැන්පත් ධනය වියදම් වුවද ඉන්පසුව තැන්පත් ධනය වර්ධනය කරගත හැකි වේ.
සෞඛ්‍යය – සෙම් හා ඇස් ආශ්‍රිත පීඩා ඇතිවනු ඇත.

මිථුන - දරුවකුගේ ජයග්‍රහණයක්
මෙම වසර ඔබට යහපත් ඵල උදා කරදෙනු ඇත.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට ඉතා යහපත් වන අතර තරග ජයග්‍රහණද ලබාගත හැකිවනු ඇත. වෙනදාට වඩා උනන්දුව ඇති වේ.
රැකියාව – ව්‍යාපාරික කටයුතුවල නිරත වන ඔබට ඉතා යහපත් වසරක් වේ. නව ව්‍යාපාර ආරම්භයටත් සුදුසු වනු ඇත. මුල් මාස හතර තුළදී සේවා ස්ථානය එපාවීම් ගති ඇතිවුවද, ඉන්පසු කාලසීමාව තුළ ඉතා යහපත්ව සේවා කටයුතු කළ හැකිවනු ඇත.
ගෘහ ජීවිතය – යම් යම් කටයුතුවල අතපසුවීම් ඇතිවන වසරක් බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ. ආදර බැඳීම්වලට මුල් මාස හය තුළ බාධා ඇතිවන මුත් ඉන්පසු එම බාධා මඟහැරී වනු ඇත. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය යොදවන වසරක් වේ. තම දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුටක්ද ඇතිවනු ඇත. ඔබගේ නෑදෑයකු නිසා යම් යම් හිරිහැර ඇතිවිය හැකි වසරක් වේ.
ධනය – ලැබීම් ඇතිවන අතර තමාගේ තැන්පත් ධනය ආරක්ෂා කරගෙන වර්ධනය කරගත හැකිය. නමුත් මුල් මාස තුන තුළදී විශාල වියදම් නොකළ යුත්තේ ලොකු පාඩු ඇතිවිය හැකි බැවිනි.
සෞඛ්‍යය – ස්නායු රෝග ඇතිවිය හැක.

කටක - ඉවසීම හොඳයි

මෙම වසර ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන වසරක් බවට පත්වනු ඇත.
අධ්‍යාපනය – වසරේ මුල් අර්ධය තුළදී අධ්‍යාපන කටයුතුවලට කම්මැලි ගති ඇතිවන මුත් ඉන්පසු ක්‍රමයෙන් ජයග්‍රහණ ලබාගත හැකිවනු ඇත. විදේශගත අධ්‍යාපනයක් ලැබීමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉටු කරගත හැකිය.
රැකියාව – වසර ආරම්භයේදී පැවතියා වූ ගැටලුකාරී තත්ත්ව හා රැකියාව එපාවීම් ආදිය මුල් මාස තුනෙන් පසු මඟහැරී යනු ඇත. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉතා යහපත් වන්නා වූ කාලයක් වේ. වසර මැදින් පසු කාලය ශුභදායකය.
ගෘහ ජීවිතය – පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන වසරක් බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. හදිසි ජයග්‍රහණ අත් කරගත හැකිය. ඔබට පසුගිය වසර තුළදී කරගත නොහැකි වූ වැඩ රාශියක් මෙම වසරේදී සපුරාගත හැකිවනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට විවිධ පාර්ශ්වවලින් බාධා එල්ල වන වසරක්ද වේ. ඔබට නොගැලපෙන හිතමිතුරන් ඇසුරට පත්වන වසරක් බැවින් ඉතා පරිස්සම් විය යුතුය.
ධනය – පසුගිය වසරට වඩා යහපත් ලෙස ධනය ලැබීමත්, වසර මැදින් පසු තැන්පත් ධනය වර්ධනය කර ගැනීමටත් හැකියාව අත්වනු ඇත.
සෞඛ්‍යය – ඇස් හා උගුර ආශ්‍රිත පීඩා මතුවන වසරක් වේ.

සිංහ - විදේශගතවීම්
වසර ආරම්භය ඔබට ශුභ ඵල ගෙන ආවද මුල් මාස පහෙන් පසු බාධා ගෙන දේ.
අධ්‍යාපනය – ඔබට යහපත් ඵල උදා වුවද උදාසීන ගතිද ඇතිවන්නා වූ වසරක් වේ. යම් යම් අතපසුවීම් හේතුවෙන් තරග විභාගවලදී ලකුණු අඩුවීම්ද සිදුවනු ඇත. එබැවින් නිතර කල්පනාකාරීව අවධානයෙන් පාඩම් වැඩද, පිළිතුරු ලිවීමද කරන්න. ඔබගේ උත්සාහය වසර පුරාම පවතිනු ඇත.
රැකියාව – මුල් මාස හතරෙන් පසු සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න උද්ගත වන අතර රැකියාව එපාවීම්ද ඇතිවනු ඇත. දුර ගමන් ඇති වේ. රැකියා සඳහා විදේශගත වීමක් අපේක්ෂා කළ අයට ශුභ වේ. ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීමටද යහපත් වන වසරක් වේ. මුල් කාල වකවානුව තුළදී උසස්වීමක්ද ලබාගත හැකි වේ.
ගෘහ ජීවිතය – නෑදෑ හිතවතුන්ගෙන් දුරස්ව කටයුතු කිරීමට පෙළඹෙන වසරකි. ආගමික කටයුතුවලට වැඩිපුර කාලය යොදවනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට බාධාද ඇතිවන අතර යම්කිසි ආකාරයක ගනුදෙනුවක් හේතුවෙන් නීතිමය ප්‍රශ්නයකටද මැදිවිය හැකි බැවින් ඉතා කල්පනාකාරී වන්න. යම් යම් සිද්ධි නිසා බියට පත්වනු ඇත. සිතේ කලකිරීම්ද ඇති වේ.
ධනය – විශාල අන්දමින් මුදල් වියදම් කිරීමෙන් වැළකිය යුතු වසරක් වේ. අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු වේ. තැන්පත් ධනයද වියදම් වන වසරක් වේ.
සෞඛ්‍යය – මුත්‍රා පීඩාවක් ඇතිවනු ඇත.

කන්‍යා - පතල්වලින් මැණික් මතුවේ
තරගවලින් ජය ලබාගත හැකිය. වෙනදාට වඩා අධ්‍යාපනය වෙනුවෙන් කැප වී කටයුතු කරන වසරක් වේ. ගණිතය පිළිබඳ හැකියා වර්ධනය වනු ඇත.
රැකියාව – ඔබගේ හැකියා මත සේවාවේ ඇගයීම්ද දිනාගත හැකිවන වසරකි. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර රැකියාවේ උසස්වීම් ලබා ගැනීමටද යහපත් වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයට ඉතා යහපත් ඵල අත් කරගෙන දියුණුවක්ද ලබාගත හැකිවන වන්නේය.
ගෘහ ජීවිතය – නව නිවසක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් එයට ඉඩ ලැබෙන වසරක් වේ. තමාගේ යම්කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට කරගැනීමට නොහැකිව සිටියේ නම් එය ඉටුකර ගැනීමටද හැකියාව ලැබේ. විවිධ වූ අදහස් ජනිත වන අතර ඒවා ක්‍රියාවට නැංවීමටද කටයුතු කරන්නා වූ වසරක් වේ. යම්කිසි පිටස්තරයකුගෙන් විවිධ වූ බොරු ආරංචි නිසා සිත් කැළඹීම්ද ඇතිවිය හැකි වේ. ඒ නිසා ආරංචි ලැබීමේදී ඒ පිළිබඳ සත්‍ය සොයා බලා කටයුතු කරන ලෙස උපදෙස් දේ.
ධනය – ලැබීම් යහපත් වන අතර තැන්පත් ධනයද වර්ධනය කරගත හැකි වේ. පතල්වල නිරත අයට ඉතා යහපත් වේ.
සෞඛ්‍යය – සෙම් රෝග මතු වේ.

තුලා - අවිවාහක අයට මංගල සීනු
යහපත් ඵල ලබාගත හැකි වසරකි.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවලට වෙනදාට වඩා උනන්දුව ඇතිවන අතර තරගවලදී ජය ලබාගත හැකි වේ. බාහිර ක්‍රියාකාරකම්වලින්ද දක්ෂතා දක්වා ජයග්‍රහණ ලබාගත හැකිවනු ඇත. මෙම වසර තුළ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ නම් ඉතා විශිෂ්ට ජයක්ද ලබාගත හැකිවනු ඇත.
රැකියාව – රැකියා ස්ථානයේ කටයුතු සුපුරුදු ලෙසට කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. නව රැකියා අපේක්ෂා කළ අයට යහපත්ය. ව්‍යාපාරිකයන්ටද ලාභ ලැබීම්ද ඇතිවන අතර ව්‍යාපාරවල දියුණුවක්ද අත් කරගත හැකිය.
ගෘහ ජීවිතය – පවුල් දිවියේ පැවති ගැටලු මඟහැරී යයි. නමුත් අවිවාහක අයට ඉදිරිපත් වන මංගල යෝජනා යහපත් නොවන බැවින් කල්පනාවෙන් තීරණ ගන්න. සිතේ සහනය තරමක් අඩුවනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරත අයට නම් යහපත් වනු ඇත. කෙටි විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ට කරගත හැකි වේ. නිවසේ අලංකාරයට ද්‍රව්‍ය මිලදී ගැනීමක්ද සිදු කරන වසරකි.
ධනය – ලැබීම් මාර්ගවල වෙනසක් සිදු නොවන අතර තැන්පත් ධනය රැකගත හැකි වේ.
සෞඛ්‍යය – හිස ඇසුරු කරගෙන රෝග පීඩා මතු වේ.

වෘශ්චික - වාහන අපේක්ෂාව ඉටුවේ
ඔබට මෙම වසර යහපත් වූ ඵල උදා කරනු ඇත.
අධ්‍යාපනය – ඔබගේ උත්සාහය මෙම වසර පුරාවට පැවතෙනු ඇත. ඒත් යම් යම් අවස්ථාවලදී උත්සාහයේ තරමට ඵල නොලැබී යාම ගැන කලකිරෙන්න එපා. විදේශගතව අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කළ අයකු නම් ඒ බලාපොරොත්තුව ඉටු කරගත හැකි වේ.
රැකියාව – රැකියා ස්ථානයේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු වන්නේ නම් ඔබේ අපේක්ෂාව ඉටු කරගත හැකිවනු ඇත. සේවකයන් සමඟ සුහදව කටයුතු කරගෙන යාමටද හැකිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත ඔබට ලාභ අඩුවන මුත් මධ්‍යස්ථව ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමට හැකිවනු ඇත.
ගෘහ ජීවිතය – පවුල් දිවියේ සමගියට බාධා ඇතිවිය හැකි අතර ඉවසීමෙන් කටයුතු කළ යුතු වසරකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වුවද ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. වාහනයක් මිලදී ගැනීමට සිතා සිටියේ නම් මෙම වසර ඉතා යහපත් වනු ඇත. ගෘහවිදුලි උපකරණ මිලදී ගැනීමක්ද වන වසරක් වේ. උරුම හිමිකම් ලබාගත හැකි වේ.
ධනය – තැන්පත් ධනය ස්ථිරව පවත්වාගෙන යා හැකිවන වසරක් වන අතර ලැබීම්වලටද යහපත්ය.
සෞඛ්‍යය – ඇස්වල රෝග මතුවනු ඇත.

ධනු - සතුරන් ඇතිවන වසරක්
මිශ්‍ර ඵල උදා කරන වසරකි.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඔබට යහපත් ඵල උදා වුවද කලබලකාරී වීම මත තරග විභාගවලදී නිවැරදි පිළිතුරු ලියාගත නොහැකි වෙයි.
රැකියාව – සේවා ස්ථානයේදී අන් අයගේ වැරදි සොයා බැලීමට යාමේදී ඔබට තරහකරුවන් ඇතිවන වසරක් වනු ඇත. නව රැකියාවක් බලාපොරොත්තු වුවද තම සිතට ගැලපෙන රැකියාවක් නොලැබී යනු ඇත. විදේශගත රැකියාවකට යාමට සිතුවේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ට වන වසරක්ද වේ.
ගෘහ ජීවිතය – පිටස්තර අයගෙන් උදවු බලාගෙන උපකාර කිරීමෙන් ඵල අත්වන වසරක් වේ. විවිධ හැකියා පෙන්වීමටද හැකි වේ. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. විවිධ කටයුතුවලට නිර්භීතව ඉදිරිපත් වනු ඇත. නෑදෑ, හිතමිතුරන් නිසා කරදර හිරිහැර ඇතිවිය හැක. එනිසා ඇසුරු කරන්නන් ගැන පරීක්ෂාකාරී වන්න.
ධනය – තැන්පත් ධනය වියදම් වීම මුල් මාස හතර තුළ පැවතියද ඉන්පසු තැන්පත් ධනය වර්ධනය කරගත හැකිවනු ඇත.
සෞඛ්‍යය – හදිසි ශරීර පීඩාද, ලේ රෝගද ඇති වේ.

මකර  - ආගමට නැඹුරුවක්
ඔබට මිශ්‍ර ඵල උදාවන වසරකි.
අධ්‍යාපනය – වසරේ මුල් අර්ධයෙන් පසු අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකිවනු ඇත. විදේශගත අධ්‍යාපනයක් බලාපොරොත්තු වූයේ නම් එම අපේක්ෂාවද ඉටුවන වසරක් වේ. මෙරටට වඩා විදේශ ඉගෙනීම ඔබට වැදගත් වනු ඇත.
රැකියාව – සේවා ස්ථානයේ ප්‍රශ්න මත රැකියාව එපාවීම් ඇතිවුවද එම ගැටලු වසර මැදින් පසු මඟහැරී යයි. ව්‍යාපාරික කටයුතුවල නිරත ඔබට ශුභ නව වසරක් වන අතර නව ව්‍යාපාරයක් ආරම්භයටද යහපත්ය. හිතට ගැලපෙන නව රැකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු වසර මැදින් පසු ඉටුවනු ඇත.
ගෘහ ජීවිතය – පවුල් දිවියේ සමගිය පළුදු වන වසරක් වන අතර ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ප්‍රේම සම්බන්ධතාවලට විවිධ බාධා පැන නගිනු ඇත. ජලයෙන් පීඩා ගෙන දෙන වසරක් බැවින් ගංගා, මුහුදුවල ස්නානයේදී පරිස්සම් වන්න. ආගමික කටයුතුවලට වැඩිපුර නැඹුරු වන වසරක්ද වේ. තම හිතවතුන්ට, පිටස්තර අයට වැඩ කිරීම නිසා අමාරුවේ වැටීමටද සිදුවේ.
ධනය – තැන්පත් ධනය වියදම් වන වසරකි. විශාල වියදම්ද ඇතිවනු ඇත.
සෞඛ්‍යය – මුත්‍රා රෝගයක්ද, උගුර ආශ්‍රිත පීඩාද මතුවනු ඇත.

කුම්භ - ණය ගනුදෙනුවලින් පාඩු
ඔබට අයහපත් වූ ඵලද උදාවන වසරක් වන බැවින් සියලු කටයුතුවලදී කල්පනාකාරී විය යුතුය.
අධ්‍යාපනය – අධ්‍යාපනය කරන ඔබට විවිධ වූ හේතු මත ඉගෙනීම් කටයුතුවලට බාධා ඇතිවන මුත් ඔබගේ උනන්දුව මත තරග ජය ලබාගත හැකිවන වසරක් වේ.
රැකියාව – සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න, ගැටලු මතුවන වසරකි. රැකියාව එපාවන තත්ත්වයක් ඇතිවන වසරක් වන බැවින් රැකියාව ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතු බව සිහි තබාගන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයකු නම් ඔබ ණයට ගනුදෙනු කිරීමෙන් වළකින්න. පාඩු හිමිවන වසරක් බැවින් ඉතා කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්න.
ගෘහ ජීවිතය – පවුල් දිවියේ ගැටලු මතු නොවූවද සිතට කරදර වැඩි වශයෙන් දැනෙන කාලයක් වේ. සමාජ සේවා කටයුතුවල නිරත වන අයකු නම් ඔබට යහපත් ඵල උදාවන අතර ඔබගේ නෑදෑයන්ගෙන් ඉවත්ව සිටින වසරක්ද වේ. නිවසේ අලුත්වැඩියාවක් හේතුවෙන් මහන්සි වී වැඩ කිරීමටද සිදුවනු ඇත. ඔබට එරෙහිව යම් යම් සතුරු පීඩාද ඇතිවන අතර නීති ගැටලු මතුවන වසරක්ද වේ.
ධනය – ලැබීම් යහපත් වුවද වියදම් වැඩිවන කාලයක් බව සිහි තබාගෙන කටයුතු කරන්න.
සෞඛ්‍යය – ළය රෝගද මහන්සි ගතිද දැනෙනවා ඇත.

මීන - කලා කටයුතුවලට දක්ෂතා
ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන වසරක් වනු ඇත.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නිරත ඔබට යහපත් ඵල උදාවන අතර තරග ජයද ලබාගත හැකි වේ. වැඩවල ප්‍රමාද ගති හේතුවෙන් අතපසුවීම් ඇතිවන නිසා අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු වේ. බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා හා කලා කටයුතුවලින්ද දක්ෂතා පෙන්වීමට හැකිවන වසරකි.
රැකියාව – සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරී යන වසරක් වන අතර නව රැකියා බලාපොරොත්තුද ඉෂ්ට කරගත හැකිවනු ඇත. රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ට කරගත හැකි වේ. කරන ව්‍යාපාරවලින් ලාභ ඇතිවී දියුණුවද අත්වන වසරක් වේ.
ගෘහ ජීවිතය – පවුල් දිවියේ සමගිය ඇතිවී විනෝද ගමන්වලටද සහභාගි වෙමින් නිදහස්ව ගත කළ හැකිවන වසරක් වේ. හදිසි කේන්ති ගතිද ඇතිවන වසරක් වන අතර තම දරුවකුගේ හදිසි ජයග්‍රහණයක් නිසා සිතේ සතුට රැඳෙනු ඇත. විදේශගතවීම් අපේක්ෂා කළ අයටද යහපත් වේ. ජලය ආශ්‍රිතව කටයුතු කරන අය පරිස්සම් විය යුතුයි.
ධනය – ලැබීම් මාර්ග වෙනදාට වඩා වැඩිවන නිසා තැන්පත් වර්ධනය කරගත හැකි වසරකි.
සෞඛ්‍යය – උදර රෝගාබාධයක් ඇතිවනු ඇත.

 

- රාජ්‍ය සම්මානලාභී
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ
28, ඔලබොඩුව, ගෝනප

 

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03