2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:03 108

ආදරණීය නේරංජනා වෙනුවෙන් ගයන්නට යළි ඔබ නේන වග මම දනිමි. මාගේ සැමරුම් පොතේ ඈත පිටු පෙරළමි. සොඳුරු සංධ්වනියේ මතක අස නවතිමි. එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිදින්න ඇති. ඉතින් සසර සක්මන සරා යළි යළිත් ඔබ හමුවෙතැයි මට සිතේ. ඒ තරමටම ප්‍රියේ... මා නම් පෙම් කළේ... ඔබ ගැයූ ගී රසේ... මනරම් ප්‍රියේ... ආදරේ කියූ කිසිවකු ආදරේ නැතේ කියූවත් දන්නවා නම් අද ගලන ජන ගඟ ඔබ දකින්නට යළිත් නේන වග දැනෙනා හෙයින් ආදරෙයි කියූ කිසිවෙකු ආදරේ නැතේ යැයි ඔබ කිසිදා ඉතින් නොකියනු ඇත. සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා යැයි ඉන්න තැනක හිඳ ඔබ යළි කියනු ඇති, දැනේනම් ස්නේහය ඔබ ගැයූ ගී කුසුම් අස රැඳී ගිය. අද මෙන් ප්‍රියේ හෙට නෑ හමුවෙන්නෙ මා ඉතින්... ගෙන යමි ඔබේ ගී රසේ ගී රසේ ආදරෙන් අපි ඉතින්... පිරුණු සඳක් සේ මහද විලේ ඔබ ගැයූ ගී මල් පිපී සුවඳවත් කරන කල හද විල සඳ තාරකා හඬාවී කඳු මීදුමෙන් එහා ඔබ හා ගෙවූ අතීතයේ මතකයේ ලියා තියා යැයි ස්නේහයෙන් කාටද නොහිතෙන්නේ ප්‍රියාදර ප්‍රියා...

හමුවීම තරම්ම සමුගැනීම් මනරම් නොවෙයි. ආදරයෙන් බැඳී ප්‍රේමයෙන් හිටියා වූ මතක බන්ධන, මනෝරම්‍ය මතක ශේෂ ජීවිත යාය පුරා ඉහිරුවද්දී, ඒ බන්ධන මතක ශේෂ පමණක් ඉතිරි කර යද්දී මරණය තරමටම බැඳීම් බිඳෙන තැන්හී හිස්තැන් රුදුරු වග දැනේ අපමණ... එහෙත් සත්තාව එයයි.

බිඳීම් උපදින්නේ බැඳෙන තැන්වලමය
වෙන්වීම සලකුණු වන්නේ හමුවන තැන්වලදීමය
හැර යන්නේ අල්ලා ගන්න මොහොත ඇරඹුමේදීමය.
ආදරය හා බන්ධනය යනු බැඳීම හා බිඳීම අතර කාල තරණය තුළ සංසාරික මුද්‍රාවක්මය.
සිත පාවෙලා ගියාවේ
කඳු මීදුමෙන් එහා
ආය ආයෙත් ඉතින්

සාර සංසාරණ්‍යයේ... මාගේ සැමරුම් පොතේ... මතක මහ කඳු දිගේ... ඔබ ප්‍රේමෙන් ගැයූ... ගී ලියැවී තිබේ.
නිසැකයෙන්ම ප්‍රියා දශක ගණනාවක් මුළුල්ලේ ගී හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් ගැයූ ඔබේ ගී සංධ්වනියේ මතක ගී අම දහරා අප නිවාලනු ඇත. අප සනසාලනු ඇත. ඉතින් සසර මෙතෙකින් නිම නොවන වග දනිමි. එහෙයින් ආදරණීය නේරංජනා යැයි ගයන්නට, මගේ සැමරුම් පොතේ යළි ගයන්නට, සඳ තාරකා හඬාවී යැයි ගයන්නට ප්‍රියා යළි සසර මගදී අපට හමු නොවනු ඇත. එහෙයින්ම සමුගැනීම වේදනාකාරීය.
මම මරණය විශ්වාස නොකරමි. සම්මුති මරණය තුළ භෞතිකය මිස විඤ්ඤාණය කිසිදා මරණයට පත් නොවන යථාර්ථය අස සමුගත් සියල්ලෝම සංසාර වීදියෙන් විදියට යළි හමුවන වග මම විශ්වාස කරමි.
ප්‍රියා ඔබත් යළි මුණගැසෙනු ඇත.
ඒත් ඒ ඔබම නොවේ... සමුගැන්ම වේදනාකාරී වන්නේ එහෙයින්මය.

එහෙත් නොරිකෝ සං දෙවෙන්දොරාසංට කීවා සේ
ආවොතින් යා යුතුය
නොගොසින් යළි එන්නට බැරිය

ලොව ඇත්තේ යාම් ඊම් පමණි...

ලාංකික සිනමාව වර්ණවත් කරන්නට ඔබේ ළයාන්විත ළතෙත් ගී රාව කළ මෙහෙවර මෙතෙකැයි මෙපමණකැයි වදනින් මම විවරණය නොකරමි. ලාංකික ගීතාවලිය අස්වද්දන්නට ඔබ ගැයූ ගී රාව කළ මෙහෙවර මෙතෙකැයි මෙපමණකැයි මම විවරණය නොකරමි. අනේ ප්‍රියා ඉතින් ඔබ කිසිදා මිය නොයන්නේ ඒ හඬ සදාකාලෙන් සදාකාලයට අද මෙන්ම හෙටත් මතු දාත් අප සවන්පත් සනහන හෙයින්මය.
ගී කියන්නට බොහෝ අයට හැකිමුත් ගී ගයන්නට හැමෝටම බැරිය. ගී ගයන උන්ගෙනුත් හැඟීම් හා ආත්මීය ආලයකින් හුස්ම ගනිමින් සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද යන ළතෙත් ස්වරයකින් හද සන්තානයේ ගැඹුරටම ආමන්ත්‍රණය කරමින් ගී ගයන්නට බොහෝ උන්ට බැරිය. ප්‍රියා ඔබ ගී ගැයුවේ අපේ හෘද සන්තාන භාවලීලා අවුස්සාලමිනි.

ඔබ හඬ හා මුහු කළේ මානව චිත්තවේගයන් තුළ උපදින හැඟීම් දහරාවන්ය. ඔබ ගැයුවා නොව ඔබ ගී පද හා හුස්මක් ගත්තා යැයි මට සිතේ. ඒ හුස්ම ඔබටම අනන්‍ය වූ හුස්මකි. ඔබේ හඬ පෞරුෂය අමුතු උමතු ස්වරයකින් මා හද ගැඹුරටම දැනුණේත්, මගේ ආත්මයම වැළඳ ගත්තේත් එහෙයින්මය. ඉතින් ප්‍රියා ඔබ නේන වග සිහිපත් වීම සංසාරය අත්හරින්නට ලෝබකම් කරන මගේ හිතට තවමත් වේදනාවකි.
සපැමිණෙන්නේ නික්ම යන්නට වග දනිතත්, මිනිසුන් මැද මනුෂ්‍යත්වයේ මුද්‍රාවන් හදවත සලකුණු කරගත් ළතෙත් හදවත් ඇත්තෝ නික්ම යාම කොහොමත් වේදනාවක්මය. ඔබට තිබුණේ කඳුළු උපදින හැඟීම් අස කඳුළු දිලිසෙන හදවතට යා වූ ඇස් දෙකකි. ඔබේ දියණිය මියුරු හඬින් ලතා මංගේෂ්කාර්ගේ ගී ගයද්දී ඔබ හැඬුවේ ඒ නිසාය.

කුහක හදවතින් ඔබ කිසිදා පොරක් වෙන්නට දැඟලු‍වේ නැත. එහෙත් ඔබ නිහඬ රජෙක් වෙසින් ගී ධාරා මවාලමින් අස්වැද්දුවේ සිංහල ගී කෙත් යායයි. රජෙක් වන්නට ඔටුනු අවැසිම නැති වග සොඳුරු සංනිදර්ශන සියක් දහසකින් ඔබ නිහඬවම ඔප්පු කර තැබුවේ ඔබේ හෘද සාක්ෂියට අවසඟව යමින් නොවේ.

ඔබ ගයා ඉතිරි කර ගිය ගී සමුදාය ඒ සියල්ල උදෙසා නිහඬ සාක්ෂියක් වෙසින් අදටත් දිලිසෙයි.
ඔබ තරුවක් නොවේ.
ඔබ දුල රන් තාරකාවකි.

මග අසන කවරෙකුට වුවත් පාර කී අරුන්දතී තාරකාවකි.
ඉතින් ඔබ නැති දා අද ඔබ ගැයූ ගී මල් සුවඳ විඳිමින් අපි සැනහෙමු. ළපටි වියේ හිඳම ඔබ ගී ගැයුවේ දෙවුර දැරූ සංසාර වත්කමක කුසලය නිසාවෙන් වෙන්නට ඇත. කුසලයක් වෙසින්ම වැඩූ හෙයින් ලද සොඳුරු හඬ සංසාර සක්මන සරාම ඔබ රැගෙන යනු ඇත. ඉතින් ආදරණීය නේරංජනා ඇසෙන තාක් මට නම් ඔබ මගේ හිත අද්දරය...
ප්‍රියා මරණයට හැක්කේ ජීවිතය මරන්නට පමණි. මතකය සහ ආදරය මරන්නට මරණයට නම් කිසිදා නොහැකිමය. ආදරණීය මිනිසුන් සිරුරින් පමණක් මැරෙන්නේ ඒ නිසාමය. සීතල කළු පාට මරණය තුරුල්ලට ඔබ ගියේද ඔබ කියූ ගී හා නැවතත්

උපදිමින් මරණයෙන් උත්තාන වූ මිනිසකු ලෙස රසිකාගාරයක හදවත් හා යළි ආත්මීය හුස්මක් ගනිමිනි.
ඉදින් නුඹ අප හැර ගියා යැයි කෙසේ නම් විශ්වාස කරන්නද?
ඔබ අදටත් ඔබ ගැයූ ගී හා ඉන්නා තැනක හිඳ හුස්මක් ගනිතැයි මට සිතේ.
ඉතින් ප්‍රියා ඔබට හැකිද අප හැර යන්නට

ඔබ දරුවන් හතර දෙනෙකුට ආදරණීය තාත්තා කෙනෙක් වූයේය. එහෙත් ඔබ තාත්තා කෙනෙක් වූයේ ඔබේ ලෙයින් ජීවිතය දුන් දරුවන්ට පමණක් නොවන වග මම දනිමි. සංගීතයේ ස්වර රටා අතර සැරිසැරූ සියක් දහසක් දරුවන්ට ඔබ සංගීත තාත්තා කෙනෙක් වූයේය. අපූරු ගුරු ගීතයක් සේ ගැයුණේය. ඇගයිය යුතු තැන් ඇගයූයේය.

සැබෑ කලාවේදියෙක් යනු සොඳුරු මනුෂ්‍යතා සහ නිර්මල අකලංක ආදරවේදයේ සියලු‍ අක්මුල් හදවත් පුරා අස්වැද්දූ මිනිසෙකි. අමුතු මිනිසෙකි. සොඳුරු මිනිසෙකි. එක්තරා හිතුවක්කාරයෙකි. ඔබ එහෙමය. ඔබ ගැයූ ගී ඕවිල්ලේ සැනහෙනා මේ තත්ත්පරේත් මට හිතෙන්නේ නම් එහෙමමය. මට සේම තවත් බොහෝ උන්ට එසේ සිතෙතැයි මට සිතේ.

ඉතින් ප්‍රියා කළු පාට සීතල මරණයට හැකි වුවත් ඔබව සාතන්ගේ තුරුල්ලට ගන්නට මරණයට නොහැකිය කිසිදා ඔබ අපෙන් වෙන් කරන්නට...
අප සනසාලූ ගී හඬ මේ විශ්වය සරා රැඳෙන තාක් ඔබ අපට ජීවමාන මිනිසෙක්මය. ඉතින් ආදරණීය මිනිසුන්, ආදරවේදයේ සොඳුරු සාක්ෂරතා හදවතින් ගැයූ මිනිසුන් හමුවේ මරණයත් පරාජිතයෙක් වග මට කියා දුන් තවත් එක් මිනිසෙකි ඔබ.
එහෙත් සම්මුති මරණය තුළ ඔබ අද ඒ කළු සෙවණැල්ල තුරුල්ලේය.

ඒ තුරුල්ලට මතු යම් කවදා හෝ දිනක මමත් තුරුල් වනු ඇත. ඔබට ආදරය කළ සහ කරන සියල්ලන් තුරුල් වනු ඇත. ඇසි දිසි ජීවිතය තුළ ඔබත් මමත් අත්විඳින සත්‍ය එයයි. ඉතින් ඒ සත්තාව අස දිනයක් නොදන්නා සංසාරයේ දවසක කවදා කොහේදී කොතැනකදී හෝ කවුරුන් වෙසින් හෝ හමුවන තාක් අප වෙන්විය යුතුමය. අප සමුගත යුතුමය. ජීවිතය නම් එයයි. ඉතින් නොකියාම නොදන්වාම සමුගන්නා එකම සමුගැනීම මරණය වූ කලී දැන් ඉතින් අප වෙන කුමක් කරන්නද? නොදන්වා නොකියාම ගිය දුක දරාගැනීම ජීවත් වන්නවුන්ගේ උරුමයක් වී ඇත.

මරණයට පුළුවන්ද ආදරය මරන්නට
එහෙයින්ම ඔබ අයිති කරගත් ආදරයේ මතක කුසුම් හැමදාමත් පිපී සුවඳ දෙනු ඇත. කොහේ කොතැනක හෝ හැම තත්ත්පරයකම...
දැන් ඉතින් සමුගන්න

ඔබ පැතූ ජීවිතයක් වෙත්නම් ඒ ජීවිතයම ඔබට හමුවේවායැයි පතනු මිස නිර්වාණය හෝ මෝක්ෂය මම ඔබට කිසිදා නොපතමි. ඒ නිර්වාණය හෝ මෝක්ෂය ජීවත්වීම තුළ මිස මරණය අස හමුවන්නක් වග මම කිසිදා විශ්වාස නොකරන හෙයිනි.
රස සාර සරාගී ගී සරාගයක නොදන්නා තරම් තත්ත්පර අසංඛයක් තුළ මා නැලවූ, මා මෙන්ම සියක් දහසක් ඔබේ රසිකාගාරයන් නැලවූ ආදරණීය ප්‍රියා...
සොඳුරු කළුවර කඳුළු ඉකිබිඳ හඬන ඇස් අග දුක දරාගෙන අපි ඔබෙන් සමුගන්නම්.

සුබ සංසාර ගමනක්...
තිඹිරිගෙය නොවේ ඇරඹුම - සුසානය නොවේ අවසන 
මරණය දිගුගමනක - නවාතැන් පොළක් පමණය...

• සංජීවිකා සමරතුංග