2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

“අහපු ගමන්” නාග සලං වූ අලුත් බෝතලේ

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02 24990

ඉන්දියාව සහල්වලින් මත්පැන් නිපදවූයේ ක්‍රිස්තු පූර්ව යුගයේදීය. එය හැඳින්වූයේ සුරා යන නමිනි. ලංකාවටත් ඒ නම ආවේ ඉන්දියාවෙන් වුවත් හෙළ රජ දවසේත් රජවරුන් විවිධාකාර මත්පැන් වර්ගවලින් සප්පායම් වී ඇත. එහෙත් අපේ මිනිසුන් අරක්කුවලට වැඩිහරියක් පුරුදු වුණේ ඉංග්‍රීසින් අපේ රට ආක්‍රමණය කළායින් පසුවය. එදා මෙදා තුර දේශීය සහ විදේශීය විවිධාකාර අරක්කු පාන වර්ග වෙළෙඳපොළේ ඇති අතර මේ ගොඩට අලු‍ත් සාමාජිකයකු එකතු වීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුවම පසුගියදා නිවේදනය කළේය. නව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසුවේ රටේ නීතිවිරෝධී මත්පැන් අලෙවිය නැවැත්වීමේ අරමුණින් අඩු මිලකට නව මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට නියමිත බවයි. මෙම අලු‍ත් බෝතලය ලබන වසරේ මුල් කාර්තුවේ සිට හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසුවේය.

සුරාබදු කොමසාරිස්වරයාගේ මේ කතාව මුළු සමාජයටම බට පඳුරට ගිනි ඇවිළුණා සේ විය. සූර් මරුවන්ට රජ මඟුල්ය. ගෘහණියන් දුම්මල වරම අතට අරගෙනය. ඒ වගේම රට වටෙන්ම ආගමික නායකයන් ඇතුළු විවිධ පිරිස්වල විරෝධයක්ද මෙයට එල්ල විය. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජාතික සංඝ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මගින් දැනුම් දුන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ තේමාව වූ “ලස්සන ජීවිතයක් පොහොසත් රටක්” නිර්මාණය කිරීමට නම් අඩු මුදලට මත්වතුර ලබාදීම නුසුදුසු ක්‍රියාවක් බවත් එය අප්‍රසන්න පුවතක් බවත්ය.‍ මේ සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමියන්ගේ අත්සනින් නිකුත් කළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

“රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝණය වන පරිදි ක්‍රියා කරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී ඇති නිසාදැයි සාධාරණ සැකයක් අපට තිබේ. මත්ද්‍රව්‍ය නිසා රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබුණද මත්ද්‍රව්‍ය නිසා සිදුවන ආර්ථික, සෞඛ්‍යය, සමාජයීය හානිය එකී ආදායමට වඩා වැඩිය.‍ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා තිබෙන මත්ද්‍රව්‍ය වර්ගවලට අමතරව තවත් මත්ද්‍රව්‍ය සුලබ කිරීමේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ බලාපොරොත්තුව ගැන දැඩි අප්‍රසාදය පළ කරමු.”

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නීත්‍යනුකූල මත්පැන් බෝතලයක් අඩු මිලට ලබාදීමෙන් රටේ ජනතාව රෝගී වීම ඉහළ යෑමක් බවයි. එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසනුයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වගකීම විය යුතු වන්නේ මද්‍යසාර බදු නිවැරැදි ලෙස අය කර ගනිමින් නීත්‍යනුකූල නොවන මද්‍යසාර වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, සුරාබදු නොගෙවූ වෙළෙඳපොළේ ඇති මත්පැන් හඳුනා ගැනීමත් සහ ඒවා වෙළෙඳපොළට නිකුත් කළ කූඨ වෙළෙඳුන්ට නීති මගින් කටයුතු කිරීමත් බවයි. මේ සම්බන්ධයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

“නිත්‍යනුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අවම කරමින් රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩිකර මද්‍යසාර සමාගම්වලට වාසිසහගත තත්ත්වයක් ඇති කරමින් ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බවයි. 1996 වසරේදී එවකට සිටි මුදල් අමාත්‍යවරයා මෙවැනිම තර්කයක් ඉදිරිපත් කරමින් නීත්‍යනුකූල මද්‍යසාර පාලනය කරනවා යැයි පවසමින් බියර් බදු සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් පහත දැමූ බවත් එයින් වූයේ සියයට 200 කට වැඩි අගයකින් බියර් භාවිතය වැඩි වීමයි.”

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එසේ කියද්දී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (23) ලිපියක් යවමින් දැනුම් දුන්නේ රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ දැනටත් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයක් බවත් එය නව ක්‍රමවේදයක් ලෙස හුවා දක්වමින් ඇතැම් සංවිධාන බොරු ජනතා විරෝධයක් මවාපාමින් රජයත් නව සුරාබදු කොමසාරිස්වරයාත් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය‍.

සුරාබදු ආඥා පනතට අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එක් සමාගමක් බියර් නිෂ්පාදනය සඳහා මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිත කරන අතර දැනට වෙළෙඳපොළේ පවතින බියර් නිෂ්පාදනවල ප්‍රමිතිය සොයා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය පවසයි. අලු‍ත් මත්පැන් බෝතලයට විරෝධය පාමින් මෙම කාර්යය අඩාල කිරීම පිටුපස ප්‍රකට මෘදු මත්පැන් නිෂ්පාදනය කරන බියර් සමාගමක් සහ එයින් යැපෙන අමාත්‍යංශ නිලධාරීන් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් සිටින බවත් එම ලිපියේ සඳහන් වෙයි.

එකී මෙකී නොකී සෑම කතාවක්ම කිරා මැන බැලීමේදී මතුවන අතුරු කතා බොහොමයක් දැකිය හැකිවනු ඇති අතර අලු‍ත් මත්පැන් බෝතලයක් රජයක් මගින් හඳුන්වාදීම කෙතරම් උචිතදැයි වෙනම සිතා බැලිය යුතු කරුණකි. නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මේ මිහිපිටින් අතුගා දැමීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් මෙලෙස නව මත්ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය කරනුයේ දුම්කොළ හා මද්‍යසාර පනත ඇතුළු රටේ නීතිය අනුවම මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය තහනම් කර ඇති පසුබිමකය. ගමේ කසිප්පු තිප්පොළ වැසීම වැදගත් කාරණයකි. එහෙත් උණ පුරුකේ දැම්මත් බලු‍ වලිගේ ඇද ඇරෙන්නේ නැති බව අප අසා ඇති කරුණකි. එහෙයින් ආණ්ඩුවෙන්ම හඳුන්වා දෙන්න යන අලු‍ත් බෝතලය බොනවාද නැද්ද යන්න තීරණය ජනතාව සතුය.

• සසංක චලන ගිම්හාන

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03