නිවාස වතුපිටි උගසට තබා දහ අතේ ණය දී රට සිහිනය සැබෑ කරගන්නට ගිය අසරණ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රවටා කෝටි ගණනින් මුදල් ගැරූ උන්ට වැහි නැති අකුණු ප්‍රාර්ථනා කිරීම කවර නම් වරදක්ද? මේ දිනවල හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ඔහුගේ සොයුරු තිසර නානායක්කාර වෙනුවෙන් එවන් ප්‍රාර්ථනා වැස්සක් ඇද හැලෙන’යුරු අපට නිරීක්ෂණය විය. එම නිසාම ඔවුන් වෙත නැගී ඇති චෝදනා විමසා බැලීමට අපි තීරණය කළෙමු.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ක්‍රියා කලාපය පිළිබඳ චෝදනා නැගෙන්නට පටන් ගත්තේ අදක ඊයෙක සිට නොවේ. තමන් අමාත්‍ය ධුරය හොබවන කාලය තුළම විදේශ රටවලින් රැකියා කෝටා අවභාවිත කිරීම, රට විරුවන්ට ලබා දෙන තීරු බදු රහිත බලපත්‍ර අවභාවිත කිරීම ආදී චෝදනා ඔහු වෙත එල්ල විය. කෙසේ වෙතත් අදාළ චෝදනා පිළිබඳ පුළුල් විමසීමක් නොවූ අතර ඉකුත් සතියේ ඔහුගේ සොහොයුරු තිසර නානායක්කාර පොලිස් අත්අඩංගුවට පත්වන තුරුම මේ පිළිබඳ කතාව එතරම් ඉස්මතු නොවූයේය.
තිසර නානායක්කාර අත්අඩංගුවට පත්වූයේ ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව කියා රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් රැකියා අපේක්ෂකයන්ගෙන් ලබා ගැනීම පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිලි මතය. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි අත්අඩංගුවට පත්වීමට සිදුවන බව දැනුණු විට ඔහු පලා ගොස් කුරුණෑගල, බිබිල ආදී ප්‍රදේශවල රැඳී සිටි බව කියැවේ. ඒ අතර අනාවරණය වූයේ ඔහුගේ බැංකු ගිණුමෙන් කෝටි විසි හතක පමණ මුදලක් ඉකුත් සමය තුළ ගනුදෙනු වී ඇති බවයි. මේ සමඟම සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය වූ අතර තිසර නානායක්කාර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ඉන් තවදුරටත් සක්‍රීය වූ බව පෙනී ගියේය.
කෙසේ හෝ අවසානයේ දී ෆින්ලන්තයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 3 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව තිසර නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. ඔහු පසුගිය දෙසැම්බර් 28 වැනිදා අත්අඩංගුවට ගැනුණු අතර ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරන පරිදි තිසර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී එම බැංකු ගිණුම්වලට 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27 කට ආසන්න මුදලක් විටින් විට බැර වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව අවස්ථා 28 කදී මෙම මුදල් බැරවී ඇතැයි කියැවේ. ඒ මනූෂ නානායක්කාර අමාත්‍ය ධුරය දරනු ලැබූ සමයයි.
මෙලෙස එම ගිණුමට මුදල් බැර කර ඇත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් විය හැකි බවත් එසේ මෙම සැකකරුට මුදල් දී වංචාවන්ට හසුවී සිටින අය වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය සතියේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව වාර්තා වූ පරිදි තිසර නානායක්කාරගේ වංචා සම්බන්ධ තොරතුරු දිගින් දිගටම අනාවරණය වෙමින් පවතී. අවසන් වශයෙන් ලැබී ඇති වාර්තාවකට අනුව මෙම වංචාව මේ වන විට රුපියල් පන්කෝටි හැත්තෑපන් ලක්ෂයක පමණ වංචාවක් ලෙස ගණනය වී තිබේ. කෙසේ වෙතත් තවදුරටත් ලැබෙන පැමිණිලි අනුව මෙම මුදල් ප්‍රමාණය ද ඉක්මවා යා හැකි බව ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර රටින් පිටවී ඇති බව පසුගිය සතියේදී හෙළිදරව් විය. අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔහු පළමුව ස්විට්සර්ලන්තය වෙත ගොස් ඇති අතර පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන්ද ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් මේ වන විට ඔහු රැඳී සිටින්නේ ප්‍රංශයේ බව සමාජ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු පිළිබඳ පැතිර යන කතා අනුව සිය පවුල සමඟ විදෙස් රටක ස්ථාවර වීමට හිටපු අමාත්‍යවරයා උත්සාහ දරමින් සිටින බව කියැවේ.
කෙසේ වෙතත් මේ වන විට මනූෂ නානායක්කාර අමාත්‍ය ධුරය දරන සමයේදී සිදු කරනු ලැබූ බව කියන වංචා රැසක් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය හරහා අනාවරණය වෙමින් පවතී. පුරවැසි බලය ඇතුළු සංවිධාන කිහිපයක් හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පදනම් කර ගනිමින් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබේ.
රටවිරු වාහන බලපත්‍ර හරහා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී තැරැව්කරුවන් සමඟ සබඳතා පවත්වා ගනිමින් ලක්ෂ ගණනින් මුදල් ඉපැයීම, කොරියාව ඊශ්‍රායලය ඇතුළු රටවල්වලින් ලැබුණු විදේශ රැකියා කෝටා සිය හිතවතුන් හරහා අලෙවි කිරීමට කටයුතු කිරීම, විදේශ රැකියාවලට පිටත් කරන අයගේ වෛද්‍ය පරීක්ෂණ ඇතුළු වෙනත් අවශ්‍යතා වෙනම විශාල මුදල් අය කරමින් පුද්ගලයන් සහ ආයතන සමඟ එක්ව සැලසුම් කිරීම, අනීතික මිනිස් ජාවාරම්වලට සහාය දැක්වීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන සමඟ සබඳතා පවත්වමින් අයථා ලෙස මුදල් ඉපැයීම, නීති විරෝධීව විදේශ රැකියා සම්බන්ධ ගිවිසුම් වෙත එළැඹීම ආදී චෝදනා රැසක් හිටපු අමාත්‍යවරයා වෙත එල්ල වී ඇත.
ඔහුගේ සොහොයුරාට අමතරව ඔහුගේ ලේකම්වරුන් වෙත සහ විදේශ සේවා කාර්යාංශයේ සහ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් සහ පුද්ගලයන් වෙත ද මෙම චෝදනා එල්ල වී තිබේ. කොරියාව ඇතුළු විදේශීය තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවලටද මේ හා සම්බන්ධ පැමිණිලි ලැබෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව විදේශ රැකියා සඳහා වන අවස්ථා දේශපාලනඥයන් හරහා සිය ආධාරකරුවන්ට බෙදා දීමට ද මනූෂ නානායක්කාර විසින් කටයුතු සකසා ඇති බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායල් වීසා ලබාදීම සම්බන්ධව ඉකුත් වසර කිහිපයේ දී දැඩි දේශපාලන මැදිහත්වීමක් පැවති බවත් එය අමාත්‍යවරයාගේ ආශිර්වාදය සහිතව සිදුවූවක් බවත් කියැවේ.
මේ වනවිට නව රජය යටතේ විදේශ සේවා කාර්යාංශය මගින් ද පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ ආයතනික වංචා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබේ. කොරියානු රැකියා සම්බන්ධ E-8 වීසා කාණ්ඩය නිකුත් කිරීම පසුපස මිනිස් ජාවාරම දක්වා තල්ලු වන බරපතළ අනීතික කාරණා රැසක් ඇති බවත්, හිටපු කම්කරු ඇමැති මනූෂ නානායක්කාරගේ මැදිහත්වීමෙන් මේ අනීතික ජාවාරම ක්‍රියාත්මක වී ඇති බවත් විදේශ සේවා කාර්යාංශය සඳහන් කොට ඇත. ඉකුත් දෙසැම්බර් 25 ද මේ හා සම්බන්ධ පැමිණිල්ලක් විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මේ අනුව කිසිදු ලෙසකින් මනූෂ ඇතුළු නඩය විසින් සිදු කරනු ලැබූ බව කියන වංචා සම්බන්ධව නැගෙන චෝදනා බැහැර කිරීම හෝ අමතක කර දැමීම සිදු කළ නොහැක්කකි. ඉතා පුළුල් විමර්ශනයක අවශ්‍යතාවය මේ සම්බන්ධව නිර්මාණය වී ඇති බව අපි අවධාරණය කර සිටිමු. මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව විශාල පරාසයක මෙම වංචා පැතිර ඇති බව බැලූ බැල්මටම හැඟී යයි. ඉහළ සිට මේ සඳහා ආශිර්වාදය ලබාදුන් අයත්, පහළ සිට මෙම වංචා සඳහා වන මෙහෙයුම් ක්‍රියාත්මක කළ පිරිසත් කඩිනමින් අනාවරණය කොට ගත යුතුව තිබේ.
චෝදනා සත්‍ය නම්, සැකයෙන් තොර වන්නේ නම් නීතිය විසින් එකකු නොව රැලම අල්ලා සිරගත කළ යුතුව ඇත. එහෙත් ඉතිහාසය පුරා මේ දක්වා එවැන්නක් සිදුව නොමැති බව අපි දනිමු. එහෙත් මෙවර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනු දැකීම මුළු රටේම පැතුමයි.
• චමිඳු නිසල් ද සිල්වා