2025 ජනවාරි 04 වන සෙනසුරාදා

මගෙත් ඉන්දියාවෙත් සබඳතාවට වසර 50ක් පමණ වෙනවා

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:03 98

වසර පනහක් තිස්සේ හෝ ඊට වැඩි කාලයක් තමා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික සබඳතාවලට නිරීක්ෂකයකු මෙන්ම දායකයකු ලෙස සහභාගී වී තිබෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙම අදහස පළ කළේ ඉන්දියාවේ පැවති අතල් බිහාරි වජ්පායිගේ හත්වැනි අනුස්මරණ උත්සවයේ දී පැවැත්වූ කතාවේදීය.

“එමෙන්ම දශක හතරක් පුරා මා ඇසුරු කළ නායකයකු වන අතල් බිහාරි වජ්පායි හත්වැනි අනුස්මරණ දේශනය පැවැත්වීමට ආරාධනා කිරීමෙන් ඔබ මට විශාල ගෞරවයක් පිරිනමා තිබෙනවා. 2024 දෙසැම්බර් 25 වැනිදා එතුමාගේ ජන්ම ශත සංවත්සරය ද වූ බව අප සිහිපත් කළ යුතුයි. අප අතර වයස් පරතරයක් තිබුණත් අපගේ අදාළ වෘත්තීන් බොහෝ විට එකිනෙකා සමඟ බැඳී තිබුණා.
අප දෙරටේ නූතන ඉතිහාසය සියවස් දෙකකටත් අඩු කාලයක්

මම ඉන්දියාවට මුලින්ම ආවේ වයස අවුරුදු දහඅටක ළාබාල පිරිමි ළමයකු ලෙසයි. ඒ ඉන්දියාවේ චෙන්නායි නුවරටයි. ලන්ඩන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මා එහි පැමිණියා. එකල ශ්‍රී ලංකාවේ පැවති ක්‍රමය එලෙසයි.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඩී.එම්.කේ පක්ෂය ජයග්‍රහණය කර අන්නදුරෙයි බලයට පත් වූ බව මට හොඳින් මතකයි. අපගේ ඓතිහාසික සම්බන්ධතා සහ ජාලයන් සහස්‍ර තුනකට වැඩි කාලයක් පසුපස හඹා යා හැකි වුවද, ජාතික රාජ්‍යයන් වශයෙන් අප දෙරටේ නූතන ඉතිහාසය සියවස් දෙකකටත් අඩු කාලයක් බව කිව යුතුයි.

අතල් බිහාර් වජ්පායිට ඉන්දීය ජාතිය ගොඩනැගීමේ ව්‍යායාමය පිළිබඳ සහජ අවබෝධයක් තිබුණා. ඉන්දියාවේ විවිධ ජනයාගේ එකමුතුකම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ඔහු දුටුවා.
වජ්පායි සමඟ මගේ පළමු හමුවීම සිදු වූයේ ඔහු 1974 අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කොළඹ පැවැති සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි. මම එම රැස්වීමට සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධනගේ සහායකයකු ලෙසයි. පසු දිනෙක ගාලු‍ මුවදොර හෝටලයේ දී ඔහු සමඟ දීර්ඝ සංවාදයක් පැවැත්වීමට මට හැකි වුණා.

1977 අපි දෙදෙනාටම සිදුවීම් බහුල වසරක්. 1977 මාර්තු මාසයේ දී, වජ්පායි ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා බවට පත් වූ අතර ඉන් මාස හතරකට පසු, මම ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා බවට පත් වුණා. එතැන් සිට අවස්ථා ගණනාවක දී අපගේ දැන හඳුනා ගැනීම අලු‍ත් කර ගැනීමට හැකි වුණා.
නව ඉන්දීය ආර්ථිකයකට මග පෑදීම

1990 අග භාගයේ සිට ඉන්දියාවේ ප්‍රධාන සහ විශාල ආර්ථික විපර්යාසය පිළිබඳ මා ඇසින් දුටු සාක්ෂිකරුවෙක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ විවෘත ආර්ථිකයක් ඇතිකිරීමේ පෙරගමන්කරුවෙක්. 1977 තරම් ඈත අතීතයේ.
ඉන්දියාවේ පළමු පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලද්දේ 1980 දශකයේ මුල් භාගයේ සිටයි. මා දන්නා පරිදි ඒ අගමැති නරසිංහ රාඕ විසින්.

අගමැති වජ්පායි 1999 දී ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට නිර්භීතව සමත් වුණා. ඔහුගේ දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ නිර්භීත වූ අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ ලිබරල්කරණය, පෞද්ගලීකරණය සහ ටෙලිකොම් කර්මාන්තය විවෘත කිරීම ඊට ඇතුළත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දශකයක් ඇතුළත නරසිංහ රාඕ සහ වජ්පායි යන අගමැතිවරුන් දෙදෙනා පොරොන්දු වූ, ජවසම්පන්න, නව ඉන්දීය ආර්ථිකයකට මග පෑදූ බව කිව යුතුයි. වජ්පායි ජි ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු ලෙස අපි සලකනු ලැබුවා.

2001 වසරේ දෙසැම්බරයේ මා දෙවැනි වරටත් අගමැති වන විට ශ්‍රී ලංකාව දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියා. ප්‍රධාන වරායට සහ ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරත් සමඟ, යාත්‍රා සහ ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීම නැවැතුණා. එය ආර්ථිකය වසා දැමීමට හේතු වුණා. මේ අනුව කොටි සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹීම හැර වෙනත් විකල්පයක් අපට තිබුණේ නැහැ. මා අගමැති වූ පසු වහාම නවදිල්ලියට ගොස් සටන් විරාමයක අවශ්‍යතායට එකඟ වූ අගමැති වජ්පායිට තත්ත්වය පැහැදිලි කළා.

එපමණක් නොව, එල්ටීටීඊයේ තවත් ප්‍රහාර වැළැක්වීමට සහ සාම සාකච්ඡා මාර්ගයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය අවශ්‍ය වුණා. නෝර්වේ, ජපානය සහ සාම ක්‍රියාවලියට නායකත්වය දුන් මිත්‍ර ජාතීන්ගේ සමූහය වන එල්ටීටීඊය සමඟ අපගේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මම නිතරම වජ්පායි දැනුවත් කළා.

මුල් අවධියේ දී ඔහු මට මෙසේ කීවා.

“වික්‍රමසිංහ, මේක ඉන්දියාවේත් හරිම සංවේදී ප්‍රශ්නයක්. මට සෝනියා ගාන්ධිට වඩා අඩියක් ඉදිරියෙන් සිටිය හැකියි. ඔබ එය ඇයට පැහැදිලි කර ඇයට ඒත්තු ගන්වන්න. එවිට මට පසු විපරමක් කළ හැකියි’’.
වාසනාවකට මෙන්, සෝනියා ගාන්ධි මහත්මිය ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට පක්ෂපාතී වූ අතර - ඉන්දියාවේ උත්සාහයන් සපුරාලන තාක් කල් කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බව පැවසුවා.

අපි ඉන්දු ලංකා සබඳතා වැඩිදියුණු කළ වෙනත් ක්‍රම තිබුණා. උදාහරණයක් වශයෙන්, මට වජ්පායිජි හමුවූ සෑමවිටම මම ඔහුට ප්‍රදානය කළ ශ්‍රී ලංකාවේ හොඳම, අතින් සාදන ලද චොක්ලට් පෙට්ටි දෙකට ඔහු ප්‍රිය කළා. වරක් ඔහුගේ කවි පරිවර්තනයක් මට පිරිනැමුවා. 2001 දෙසැම්බර් 25 වැනි දින එනම් ඔහුගේ උපන්දිනය දා සිදුවූ අපගේ හමුව අප දෙරට අතර සමීප සබඳතාවක් සඳහා අඩිතාලමක් දැමූ බව කිව යුතුයි.

ඇත්තවශයෙන්ම, වජ්පායිජි ශ්‍රී ලංකාවට උදව් කළේ ඔහුගේම ක්‍රමයකටයි. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා වන සිය කැපවීම නැවත නැවතත් අවධාරණය කළා. ඒ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහය ලබා දෙමින්. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 2002 ජනවාරි මාසයේ දී කොටි සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමට මට හැකි වුණා.

එකල ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිවූ අතර ඉන්දියාව අපට මසකට තිරිඟු‍ ටොන් 25,000 ක් මාස දොළහක් සඳහා ලබා දෙන බවට පොරොන්දු වුණා. වජ්පායි සහ මම තවත් සියුම් කරුණු දෙකක් ගැන සාකච්ඡා කළා. 1980 ගණන්වල ජනාධිපති ජයවර්ධන සහ රජිව් ගාන්ධි අගමැතිතුමා අතර පැවති සාකච්ඡා ගැන නැවත සඳහන් කරමින් මම එහිදී අවධාරණය කළේ එකිනෙකා සමඟ සහ ලෝකයේ සෙසු රටවල් සමඟ කරන ගනුදෙනුවලදී අපේ රටවල ආරක්ෂාවට හානියක් නොවිය යුතු බවයි.

දෙවැනි ලෝක යුද සමයේදී ඉදිකරන ලද ත්‍රිකුණාමලයේ අතහැර දැමූ තෙල් ටැංකි සංවර්ධනය කිරීම පිළිබඳව ද අපි සාකච්ඡා කළා. 2002 සහ 2003 ඉන්දු ලංකා සබඳතා සඳහා තීරණාත්මක වසර වුණා. වජ්පායි සහ මා ඒ සඳහා එකඟතාවයෙන් කටයුතු කළා. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් අපට තිබුණා.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දෙදහස් ගණන්වල උච්චතම අවස්ථාවට පැමිණියා. අප විසින් නිකුත් කරන ලද මීළඟ නිවේදන දෙක මගින් ගෝලීය වශයෙන් දේශපාලනික, ආගමික හෝ මතවාදී වේවා - සියලු‍ ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිවීමේ අවශ්‍යතාවය ඉස්මතු කළා. මෙහි වඩාත්ම වැදගත් අයිතමය වූයේ 2003 වසරේ ඔක්තෝබර් ප්‍රකාශයේ සඳහන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට පුහුණුවීම් සහ උපකරණ සැපයීමේ අඛණ්ඩ සහයෝගීතාවයි.

මුහුදු කොටි ත්‍රස්තවාදීන්ගේ නාවික මෙහෙයුම් සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට දැඩි විශ්වාසයක් තිබුණා. රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් කිසිවකුට අපේ මුහුදු සීමාවේ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවට වජ්පායි සහ මම එකඟතාවකට පැමිණ සිටියා. එහි ප්‍රතිඵලය වූයේ මුහුදු කොටි ක්‍රියාකාරකම් උදාසීන කරමින් ත්‍රස්තවාදය මැඩලීම සඳහා දෙරට අතර සහයෝගීතාවය ඇතිවීමයි. 2003 වන විට ශ්‍රී ලංකාවට උපායමාර්ගික, ආර්ථික සහ ජාත්‍යන්තර වශයෙන් වාසිදායක තත්ත්වයට පත් වුණා. සාම සාකච්ඡාවලදී තමන්ට වැඩි වාසියක් ගන්න බැරි බව ප්‍රභාකරන් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු සාම සාකච්ඡා වර්ජනය කරන්න පටන් ගත්තා. මෙම තීරණාත්මක අවස්ථාවෙහි දී, ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට එල්ටීටීඊයෙන් ප්‍රතිචාරයක් ලබා දෙන ලෙසත්, ඉක්මනින් සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙසත් අවධාරණය කරමින් ඉන්දියාව අපට සහාය දැක්වුවා. එතැන් පටන් 2009 කොටි සංවිධානය පරාජය කරන තුරු ඉන්දියාව අපට සහාය දුන්නා.
වජ්පායි සහ මම සාකච්ඡා කළ එක් මාතෘකාවක් වූයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඔබ්බට ගොස් දෙරට අතර සමීප ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයි.

2003 වසරේ ඔක්තෝබර් මාසයේදී අපගේ මීළඟ ද්විපාර්ශ්වික රැස්වීම පවත්වන විට, නිදහස් වෙළෙඳ ගිවිසුම විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමක් බවට පත් වුණා. 2004 වන විට සාකච්ඡා ආරම්භ කර අවසන් කිරීමට අපි තීරණය කර තිබුණත් ඒ වන විට අපි දෙදෙනාම නිලයෙන් ඉවත්ව සිටියා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වැඩි කිරීම සහ ඉන්දියන් ගුවන් සේවයේ දෛනික සේවා වැඩි කිරීම මගින් අප දෙදෙනාගේ ඉන්දු ලංකා සබඳතා නව තලයකට ගෙන ගියා. පළමුව, ඉන්දියන් ඔයිල් ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඇතුළු වීමට ඉඩ දීම සහ ඒවා ගබඩා කිරීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භාවිත කිරීම, මෙන්ම ත්‍රිකුණාමලයේ ගල් අඟු‍රු බලාගාරයක් පිහිටුවීමට එකඟ වීමෙන් ඉන්දු ලංකා සබඳතා තවත් වර්ධනය කර ගැනීමට හැකි වුණා.

ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් පාලමක්

ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවේ දකුණු කෙළවර සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් පාලමක් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අපි එකඟ වුණා. මෙම ව්‍යාපෘතියේ අවසාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව කලාපීය සහ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි.

2015 දී, මම නැවත අගමැති වූ විට, ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ලෙස සිටියේ මගේ සම වයසේ මිතුරා වූ අගමැති නරේන්ද්‍ර මෝදිය. මීට වසර කිහිපයකට පෙර ඔහු මහ ඇමැතිවරයාව සිටියදී මම ගුජරාටයට ගියා. ලෝතාල් - පැරණි හරප්පාන් බලකොටුවේ නටබුන් නැරඹීමට ඔහු කාරුණිකව පහසුකම් සලසා දුන් අයුරු මට මතකයි. අපගේ ආර්ථික සහයෝගීතාවයේ උච්චතම අවස්ථාව වූයේ ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සමූහයකි.

IOCසහ අපගේ ඛනිජ තෙල් සංස්ථාව එක්ව සංවර්ධනය කිරීමට නියමිත ත්‍රිකුණාමලයේ ඉහළ ටැංකි, ත්‍රිකුණාමලයේ සූර්ය බලාගාරය, ත්‍රිකුණාමලයේ විශේෂ ආර්ථික කලාප සහ අනෙකුත් හඳුනාගත් ස්ථාන, කොළඹ බහාලු‍ම් වරාය පර්යන්තයක් සහ වරාය දෙක යා කරමින් දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීම මෙන්ම මන්නාරම - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය එමගින් ඉන්දියාව සමඟ අපගේ සම්බන්ධතාව වැඩිදියුණු කරන යෝජනා වුණා. රටේ වියළි කලාපයේ කෘෂිකර්මාන්තය සඳහා ජාතික වශයෙන් අක්කර දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයකට ජල විදුලිය ලබා දුන් මහවැලි යෝජනා ක්‍රමයෙන් පසු ශ්‍රී ලංකාවට වඩාත්ම බලගතු ව්‍යාපෘතිය මෙයයි.

මෙම අවබෝධතා ගිවිසුම අප දෙරට අතර පළමු වැදගත් ජයග්‍රහණයයි. එතෙක් ආර්ථික සහයෝගීතාව පිළිබඳ සැලකිය යුතු වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. එවැනි සහයෝගීතාවයක් ඇති කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ සමහර වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ ඊට විරුද්ධ වුණා. මේ අවස්ථාවේ දී පවා ත්‍රිකුණාමල ටැංකි යෝජනාවට එරෙහිව වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කළා. සමහර දේශපාලන පක්ෂ ද එය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා. ඇත්තවශයෙන්ම 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විට ඔහුට සහය දුන් වෘත්තීය සමිතිය තෙල් ටැංකි ගනුදෙනුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. කෙසේ වෙතත් කොවිඩ් 19 ව්‍යසනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ඉතා හොඳ මිතුරකු ලෙස කටයුතු කළා.

ඉන්දියාවෙන් ලැබුණු මූල්‍යාධාර නොවන්නට...

ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කර ඩොලර් මිලියන සිය ගණනක සංචිත පමණක් තිබූ ඉතා තීරණාත්මක මොහොතේ ඉන්දියාව අපට උදව් කිරීමට නිර්භීතව ඉදිරිපත් වුණා. විවිධ ණය මාර්ග හරහා ඉන්දියාවෙන් ලැබුණු මූල්‍යාධාර නොවන්නට ශ්‍රී ලාංකික ජනතාවට පැවැත්මක් නැහැ. පසුව ලංකාව බංගලාදේශයෙන් ඩොලර් මිලියන දෙසීයක ණයක් ලබා ගත්තා. තවද නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිවරයකු ලෙස ඉන්දියාව අපට වටිනා උපකාර ලබා දුන්නා. බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සහ වේගවත් වර්ධනයක් ළඟා කර ගත හැක්කේ ඉන්දියාව සමඟ සමීප ආර්ථික සහයෝගීතාවයකින් පමණක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට පැහැදිලි වුණා.

2023 වසරේ ජූලි මාසයේ දී අගමැති මෝදි සහ මම “සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්ව දැක්ම” ප්‍රකාශයට පත් කළා. මෙම ආකර්ශනීය දැක්ම ප්‍රධාන විෂයයන් පහක් ආවරණය කළා. සමුද්‍රීය සම්බන්ධතා සහ ගුවන් සම්බන්ධතා, ETCA  වලින් ඔබ්බට යන වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා, බලශක්ති සම්බන්ධතා දැක්විය හැකියි.

අපගේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම මෙහි මූලික අරමුණක් වුණා. මෙයට දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධ කිරීම ඇතුළත්. මෙම ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවට බලශක්තිය ගෙන ඒමේ සහ විකිණීමේ හැකියාව ඇති ඉන්දීය බලශක්ති පද්ධතියට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වන බව කිව යුතුයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් පාලම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් ද මීට ඇතුළත් වුණා.”

(ඉන්දියාවේ පැවති අතල් බිහාරි වජ්පායිගේ හත්වැනි අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ දේශනයෙන් උපුටා ගන්නා ලදී.)