2025 ජනවාරි 04 වන සෙනසුරාදා

පැතුම් වෙනස් වෙන විසුම්පාය

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04 235

කොළඹ 2 ස්ටේපල් වීදියේ පිහිටි උස් තාප්පයකින් වටවූ වන ගොමුවක් වැනි ගස් ගොන්නක් මැද පිහිටි ඉපැරණි ගොඩනැගිල්ල සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් සහිත සුද්දන් ඉදිකළ මන්දිරයකි. ආණ්ඩුවට අයත් ඓතිහාසික විසුම්පාය ගොඩනැගිල්ල බුටික් හෝටලයක් සඳහා පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමට පසුගිය ආණ්ඩුව තීරණය කර තිබූ අතර ඒ ගැන බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය. ජාතික ජනබලවේග ආණ්ඩුව ඒ තීරණය අත්හිටුවා ඒ වෙනුවට ගොඩනැගිල්ලේ අයිතිය ආණ්ඩුවට තබාගනිමින් රටට වඩාත් ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්කට යෙදවීමට තීරණය කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය. පසුගිය ආණ්ඩු කාලයේ මේ ගොඩනැගිල්ල ලබාදීම පිටුපස විවිධ දූෂණ කටයුතු සිදුවන බවටත් ආරංචි පැතිර ගියේය. රුපියල් බිලියන 8 ක් වටිනා විසුම්පාය රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4 ට ආයෝජකයකුට ලබාදීමට සූදානම් වන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තුවේ දී චෝදනා එල්ල කළේය.

අක්කර 5 ක ඉඩමක පිහිටි මේ ගොඩනැගිල්ල දිගුකාලීන බදු පදනම යටතේ පෞද්ගලික ආයෝජකයකුට ලබාදීමට නගරික සංවර්ධන අධිකාරිය ගිවිසුමක් අත්සන් කර තිබූ අතර ආයෝජකයා එය තක්සේරු කර තිබුණේ රු. බිලියන 4-5 අතර මුදලකටය. එහි රජයේ තක්සේරුව රු. බිලියන 9 කට ආසන්න විය. නව රජය විසින් මේ ගොඩනැගිල්ල මෙන්ම කොළඹ පිහිටි රජයට අයත් ඇමැති බංගලා ද ඵලදායී ආයෝජන කටයුතු සඳහා යෙදවීමට තීරණය කර තිබේ. රටේ තිබෙන ආර්ථික තත්ත්වය පදනම් කර ගනිමින් මෙවැනි පෞරාණික ගොඩනැගිලි පුද්ගලික හා පොදු හවුල්කාරීත්වය යන ක්‍රමයට නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වියදම් නොකර සංවර්ධනය කිරීමට පසුගිය ආණ්ඩුව කාලයේ තීරණය වූ අතර නුවරඑළිය පැරණි තැපැල් හල ද එසේ විකිණීමට උත්සාහ කළත් සේවක සහ මහජන විරෝධය මත එය ක්‍රියාත්මක වූයේ නැත.

පරිසර හිතකාමී ඉහළ මට්ටමේ බුටික් හෝටලයක් (Boutique Hotel) ලෙස විසුම්පාය සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබූ අතර මෙහි ඉහළ මට්ටමේ සංචාරකයන් සඳහා නවාතැන් ගැනීම සඳහා සුඛෝපභෝගී කාමරද, පොදු ප්‍රදේශ හා අවන්හල්වලින් සමන්විතව වෙනස් කිරීමට සැලසුම් සකස් කෙරිණි.

විසුම්පායේ ඉතිහාසය 1835 දක්වා ඈතට ඇදී යයි. එවකට මෙරට පාලනය කළ එංගලන්තයේ විලියම් රජුගේ නියෝගය පරිදි මෙය ඉදිකර අවසන් කර ඇත්තේ 1835 අගෝස්තු 24 දාය. මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලේ පහළ මාලය ආරුක්කු ආකාර බරාදවලින් සමන්විතය. ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවී ඇති මෙම ගොඩනැගිල්ල මුලින්ම හඳුන්වනු ලැබුවේ ඇක්ලන්ඩ් හවුස් (Acland House) වශයෙනි. එය අලංකාර සැලසුමකට අනුව තැනූ මන්දිරයකි. එය පිහිටි ඉඩම වඩා උස් නොවූ තාප්පයක් තනා තිබුණි. එක් පැත්තකින් කොළඹ යුනියන් පෙදෙසට මායිම් වන මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ඉංග්‍රීසි ආණ්ඩුවේ ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබුණි. ඉන් පසුව කොළඹ කොමර්ෂල් සමාගමේ කළමනාකරුවන්ගේ නිල නිවස ලෙස එය යොදා ගත්තේය.

පෞද්ගලික සමාගමක අයිතිය යටතේ පැවති මේ ගොඩනැගිල්ල 1970 පත්වූ සිරිමා බණ්ඩාරනායක රජයේ සමාජවාදී ප්‍රතිපත්ති යටතේ ආණ්ඩුවට පවරා ගනු ලැබීය. ඒ 1971 ව්‍යාපාර අත්පත් කරගැනීමේ පනත යටතේය. ඉන්පසු එය ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ රජයේ ප්‍රභූ නිල නිවාසයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත් කරගත් දේශපාලනඥයන් වශයෙන් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී.එල්. පීරිස් ආදී අමාත්‍යවරුන්ගේ නම් සඳහන් වේ. හිටපු ඇමැති අනුර බණ්ඩාරනායක මියයන විට පදිංචිව සිටියේ ද මෙම ගොඩනැගිල්ලේය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. මේ නිසාම ලංකාවට පැමිණෙන බොහෝ රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ගේ නවාතැන්පොළක් ලෙසද ඇක්ලන්ඩ් හවුස් ගොඩනැගිල්ල භාවිත කෙරිණි. ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි. පසුකාලීනව රාජ්‍ය නායකයන්ට විශාල වියදමක් දරා තරු හෝටල්වල නවාතැන් ලබාදීමට කටයුතු කිරීම නිසා මෙම ගොඩනැගිල්ල එසේ භාවිත කිරීම සිදු නොවිණි.
පසුගිය කාලයේ රජය සතු පුරාණ ගොඩනැගිලි නවීකරණය කර පෞද්ගලික අංශයට බදු දීම සිදුවූ අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණි. මෙහිදී සමහර ව්‍යාපෘති අසාර්ථක වූ අතර සමහරක් සාර්ථක විය. කොටුවේ ඕලන්ද රෝහල නවීකරණය කිරීමේදී පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ගොඩනැගිල්ලේ අගය අඩු වූ බවට සමහරු චෝදනා කළහ. නිදහස් චතුරස්‍රයේ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් සහ රේස්කෝස් එසේ නවීකරණය වූ ගොඩනැගිලි විය. ඒවා පසුව සාප්පු සංකීර්ණවලට යොදාගෙන තිබේ. මෙවැනි ගොඩනැගිලිවල ඓතිහාසික අගය වෙනස් නොවන සේ සංරක්ෂණය කිරීමෙන් නූතන ආයෝජනවලට භාවිත කිරීමට යොදාගැනීම වඩාත් යහපත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා හදිසි ඉදිකිරීම් නොකර පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

පෞරාණික උරුමය සුරැකී පවතින ගොඩනැගිලි නවීකරණය කර ප්‍රායෝගික භාවිතයට යොදා ගැනීම ලොව පුරා ක්‍රියාත්මක වේ. එවැනි ගොඩනැගිලි සංචාරක ආකර්ශනයක් වශයෙන් ද වැදගත්ය. අප රටේ ද යාපනයේ හැමන්හිල් බලකොටුව නාවික හමුදාව යටතේ සංචාරක හෝටලයක් බවට පත්ව තිබේ. රොස්මිඩ් පෙදෙසේ පැරණි බණ්ඩාරනායක නිවාසය ද අවුරුදු කිහිපයකට පෙර පෞද්ගලික සංචාරක නවාතැනක් ලෙස අලු‍ත්වැඩියාවට ලක්විය.

විසුම්පාය සංචාරක ආකර්ශනයක් ලෙස නවීකරණයට ලක්වන්නේ නම් එහි ගොඩනැගිල්ල මෙන්ම ඉදිරිපස අංගනයත් ඇතුළත්ව විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව සැලසුමක් සකස් කළ යුතු වේ. ඉන් ගොඩනැගිල්ලේ පෙනුමට මෙන්ම පැරණි ඉදිකිරීම්වලටද හානියක් නොවිය යුතුය.

• කුසුම්සිරි විජයවර්ධන