2025 ජනවාරි 04 වන සෙනසුරාදා

රට පුරා ප්‍රවාහන පහසුකම් සපයන විජය පුවත්පත් සමාගමේ අලුත්ම සේවාව

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:05 136

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත”‍ යැයි පරණ කතාවක් ඇත. එහෙත් ඒ කතාව අද වනවිට බොහෝ මිනිසුන් බොරු කර ඇත. අද එක දෙයකට විතරක් සිත යොමුකර දියුණු වෙන්නට බැරිය. අද තමන්ගේ දැනුම, අවබෝධය සහ දක්ෂතාවය විවිධ පරාසවලට විහිදුවමින් එක් දෙයක් නොව බොහෝ දේ ජයගත යුතුව ඇත. “යුතුව ඇත”‍ කියනවාටත් වඩා අද බොහෝ දෙනකු එලෙස බොහෝ තැන් ජයගෙන හමාරය.

ඇතැම් විට මේ කතාව කියන විට තනි පුද්ගලයකු අදහස් වුවත්, තනි පුද්ගලයකු පමණක් නොව සමූහයක් කටයුතු කරන ආයතනයක් ලෙස වුවද විවිධ පරාසයන්හි හැකියා, දක්ෂතා, දැනුම පෙන්විය යුතු කාලයක් බවට වර්තමානය පරිවර්තනය වී තිබේ. ඒ නිසා තනි ආයතනයක් වුවද “එකක් නොව විශාල පරාසයක් ජයගත යුතු කාලය” එළැඹ ඇත. ලෝකය පුරා ඊට අප්‍රමාණ උදාහරණ තිබේ. ඒවා අමුතුවෙන් කිවයුතු යැයි අපි නොසිතමු.

විශේෂයෙන් ආයතනයක් ලෙස ගත් කල මේ තත්ත්වය, එනම් බහුවිධ ප්‍රදේශ ජයගත යුතු තත්ත්වය උදා වූයේ ප්‍රධාන වශයෙන් පසුගිය “කොරෝනා”‍ සමයේදීය. ලෝක වසංගතය හමුවේ පවතින ව්‍යාපාර වැසෙමින් යන්නට වූයේ “ක්‍රයිසීස් මැනේජ්මන්ට්”‍ හෙවත් “ආපදා කළමනාකරණය”‍ සම්බන්ධයෙන් පැවති අනවබෝධය හේතුවෙනි. මේ තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයන් හෙවත් “බිස්නස්මන්”‍ ලා හාන්සි වී ගියේ කොරෝනා වසංගතය හමුවේ තම ආයතන රැක ගැනීමේ නොහැකියාව මතය. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ ව්‍යාපාර විනාශ වන විට තවත් ව්‍යාපාර, ආයතන පැවති තත්ත්වයේ තබා ගැනීමටත්, නැතහොත් ඊට වඩා වැඩි දියුණුවක් ලැබීමටත් හැකියාව උදා කරගෙන තිබිණි. එසේ වූයේ කෙසේද? මේ ඒ පිළිබඳවය.

බිස්නස් කිරීමත්, ව්‍යවසායකත්වයත් යනු අහසට පොළොව වැනි කරුණකි. බිස්නස් කිරීම තුළ සිදුවන්නේ ගනුදෙනු පමණි. ව්‍යවසායකත්වය තුළ සිදුවන්නේ නව නිෂ්පාදන, සේවා ඇති කිරීමය. එකී ව්‍යවසායකයන් තම ආයතන රැක ගත්තේ එසේය.

මේ පැවසීමට යන්නේ ද එවන් ව්‍යවසායකත්වයක් ගැනය. එනම් ශ්‍රී ලංකාවේ අංක එකේ පුවත්පත් මාධ්‍ය ජාලය හිමි විජය පුවත්පත් සමාගම එවන් ව්‍යවසාය ලක්ෂණ පෙන්නුම් කරමින් ආපදා කළමනාකරණය නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සිය ව්‍යාපාර ජාලය පුළුල් කළ ආකාරයයි. එලෙස ව්‍යාපාරය පුළුල් වීම තුළ නැවතත් ජනතාවට සේවය සැපයීම සඳහා අලු‍ත් සේවයක් සමගින් ඔබ ඉදිරියට ආ ආකාරය මෙලෙස සටහන් කරමු.

කොරෝනා සමය යනු පුවත්පත් සමාගම් ප්‍රශ්න රාශියකට මුහුණ දුන් අවස්ථාවක් විය. ඒ කොරෝනා වෛරසය පුවත්පත් හරහා ද පැතිරෙන බවට කළ හෙළි කිරීමත් සමඟය. මේ නිසා පුවත්පත් කර්මාන්තය ඉතා දරුණු අනතුරකට මුහුණ දෙමින් තිබිණි. ශ්‍රී ලංකාවේ අංක එකේ පුවත්පත් සමාගම වන අපට ද එලෙස එම අර්බුදයට මුහුණ දීමට සිදුවිය. එහෙත් ආයතනයේ සේවකයන් කප්පාදු කිරීමට නොහැක. වැටුප් ලබා නොදී සිටීමට ද නොහැක. ඒ සියලු‍ දේවල් කලට වෙලාවට සිදු කළ සමාගම ඒ මොහොතේ ව්‍යාසායකත්ව ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ කළේය. එනම් සියල්ල නවතා දැමීම වෙනුවට ඒ මොහොතේ නව ව්‍යාපාරයකට අත ගැසීමය. ඒ තමන්ට හිමි සම්පත් යොදා ගනිමිනි.

විජය පුවත්පත් සමාගම යනු මේ රටේ පුවත්පත් සමාගමක් සතුව ඇති පුළුල් ප්‍රවාහන ජාලයක් හිමි ප්‍රධාන ආයතනයකි. මේ නිසා එහි කළමනාකාරීත්වය සිදු කළේ තමන්ට හිමි වාහන ඔහේ නවතා තබා ගැනීම නොව අදාළ පුවත්පත් ප්‍රවාහන පහසුකම්වලදී ද උපරිම ඵල නෙලා ගැනීමය. ඒ අනුව ලංකාවේ විශ්වාසවන්ත ආයතනයකින් විශ්වාසවන්ත ප්‍රවාහන සේවා සැපයුමක් කොරෝනා වසංගත සමයේ නව ව්‍යාපාරයක් ලෙස ආරම්භ විය. ඒ Reach Transport Service නමිනි. ලංකාවේ සෑම නගරයක් පුරාම විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ සිට අනෙකුත් සියලු‍ පුවත්පත් බෙදාහැරෙන මොහොතක ඒ සෑම නගරයක් කරාම මෙකී Reach Transport Service ප්‍රවාහන සේවය දියත් කෙරිණි.

මෙම සේවය හරහා මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, කුරියර් සේවා ආදී සියලු‍ පහසුකම් සැපයීම සිදු කරන අතර එම සේවාව සියලු‍ ජනතාව වෙත විවෘතව පවතී. කෙසේ වෙතත් ආරම්භයේදී එය මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන සමඟ, ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ සේවා සැපයීම් සමඟ අත්වැල් බැඳගත්තද අද වනවිට රටේ ජනතාව වෙත ඒ සියල්ල විවෘත වූ බව මෙම ආයතනය දැනුම් දෙන්නේ ඉතාමත් සතුටෙනි.

මෙහි ඇති වාසිය කුමක්ද? එය ඔබට ඇති ප්‍රශ්නයකි. උදාහරණයක් ලෙස අම්පාරේ ජීවත් වන අයකු තමන්ගේ බඩු බාහිරාදිය රැගෙන කොළඹ ප්‍රදේශයට පදිංචියට පැමිණීමට තීරණය කළහොත් ඔහුට නිවසේ භාණ්ඩ රැගෙන කොළඹ ඒම සඳහා ලොරි රථයකට විශාල මුදලක් දරන්නට සිදුවනු ඇත. එහෙත් රාත්‍රියේ කොළඹින් පිටත් වන පුවත්පත් රැගත් ලොරි රථය අම්පාරට ගොස් පුවත්පත් බෙදාහැර නැවත එන්නේ හිස් අතිනි. එකී අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් Reach Transport Service ආයතනයේ අම්පාරේ සිට කොළඹ පැමිණෙන ලොරි රථයට ඔබේ නිවසේ භාණ්ඩ රැගෙන ඒම සඳහා ඉඩ ලබාදුනහොත්, ඔබට සාමාන්‍ය ලොරි රථයකට ගෙවන මුදලට වඩා 50% ක වාසියක් ලැබෙනු ඇත. ඒ නිසා මෙම සේවාව හරහා ඔබට ලැබෙන වාසිය සුළු පටු නැත.

එසේම නුවරඑළිය ප්‍රදේශයට පිරිසක් සමඟ විනෝද චාරිකාවක් යාමට අවශ්‍ය නම්  සුඛෝපබෝගී වෑන් රථයේ සිට සුඛෝපභෝගී බස් රථ දක්වා ඔබට පහසුකම් ලබාගත හැක. විශේෂයෙන් ඇතැම් සමාගම්වලට ඔවුන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන් කරා හුවමාරු කිරීම විශාල ප්‍රශ්නයක් වී ඇත. ඒ නිසා එම ආයතනවලට විශාල මුදලක් දෛනිකව කුරියර් සේවා සඳහා වැය කිරීමට සිදුවේ. එහෙත් මෙම සේවාව හරහා ඔබට වැය වන්නේ ඉතාම අඩු මුදලකි.  ඒ සඳහා ඔබ සිදු කළ යුතු වන්නේ පහසුකම් රැසක් සපයන ප්‍රවාහන සේවා සැපයුමක එක් පාරිභෝගිකයකු වීම පමණි. ඒ අනුව ඔබට තනිව ඒ බර දරන්නට සිදුවන්නේ නැත.

දැනට ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රවාහන සේවාව මේ වසරේ සිට පුළුල්ව දියත් කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබේ. විශ්වාසවන්ත සමාගමක් හරහා විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීම හැමදෙනාටම ප්‍රශ්නයක් වී ඇති මොහොතක, මෙම ප්‍රවාහන සේවය ඔබගේ හිතට සැනසුමක් ගෙන දෙනු ඇත.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එම ආයතනයේ කළමනාකාරීත්වය සඳහන් කළේ රන් භාණ්ඩ, පිසූ ආහාර සහ මත්පැන් ප්‍රවාහනය කිරීම මේ හරහා සිදු නොවන බවයි. ඒ හැර අනෙකුත් සියලු‍ම ප්‍රවාහන ගැටලු‍ සඳහා Reach Transport Service ආයතනය සමගින් ඔබට අත්වැල් බැඳගත හැකි බව එම කළමනාකාරීත්වය සඳහන් කරයි.

විශේෂයෙන් ප්‍රධාන සමාගමක් මෙම සේවාව ලබාගන්නේ නම් තමන් සමඟ ගිවිසුම් ගතවීමේ හැකියාවක් පවතින බවද එම කළමනාකාරීත්වය සඳහන් කළේය. එසේ ගිවිසුම්ගත වූ පසුව ඔබට ලැබෙන වට්ටම තවත් ඉහළ යනු ඇත. කෙසේ වෙතත් දැනට ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක ප්‍රවාහන සැපයුම්කරු වන්නේ Reach Transport Service ආයතනයයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අංක එකේ පුවත්පත් සමාගම මෙහි එක් කොටස්කරුවකු වීමය. ඒ නිසා මෙහි වගකීම සහ විශ්වාසය ගැන අමුතුවෙන් සහතික දිය යුතු නැත.

මේ වනවිට විජය පුවත් සමාගමේ පුවත් සමගින් රට පුරා ගිය වෑන් රථ ඔබ සමඟ විනෝද චාරිකා ගමන් බිමන් යමින් සිටී. උණු කැවුම් සේ ලංකාව පුරා විකිණෙන ඉරිදා ලංකාදීප, ලංකාදීප, දේශය, අද, ඩේලි මිරර්, ටයිම්ස්, විජය ආදී පුවත්පත් බෙදාහැරි ලොරි රථවල අද ඔබට ඉඩක් වෙන් කර ඇත. ඒ නිසා එම සේවාව අවශ්‍ය නම් ඔබට පහත සඳහන් අංක වෙත ඇමතුමක් ලබා දීමෙන් එය ඉටු කරගත හැක.

කෝලිය 0770381080
බුද්ධික – 0785949999 සහ 0112479039

• ගයාන් ගාල්ලගේ