2025 ජනවාරි 11 වන සෙනසුරාදා

බිරින්දෑවරුන් ලස්සන කළ සැමියෝ!

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:04 160

ජීවිත ගමනේදී අනේක විධ ගැටලු‍, සංකා, ප්‍රශ්නවලට මුහුණ දීමට අපට සිදුවේ. ඇතැම්හු මෙම ගැටලු‍වලට මුහුණ දීමට හයියක් නොවුණු විට සියදිවි හානි කර ගැනීමට පෙළඹෙති. ජීවිත ගැටලු‍වට මුහුණ දීමට සවියක් නොවුණු තැන ලංකාවේ කොහේ හෝ තැනක විවිධ ක්‍රම භාවිතයෙන් තමන්ගේ පමණක් නොව තම දරුවන්ගේ, සැමියාගේ, බිරිඳගේ, ජීවිතවලට පවා හානි සිදු කරන සිදුවීම් වාර්තා වේ. මෙවැනි ඇතැම් සිදුවීම් වාර්තා බවට ප්‍රසිද්ධ වෙද්දී ඇතැම් සිදුවීම් ජීවිතත් සමඟ පොළොවට යටවෙයි.

මෙවැනි ගැටලුවලින් පීඩා විඳින පවුල්වලට යම් සහනයක් ලබා දෙමින් සිදු කළ අපූරු වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. මෙය හඳුන්වා තිබුණේ “මෙන් කෙයාර්”‍ නමිනි. මෙම වැඩසටහන සිදු කරන ලද්දේ බෙරෙන්ඩිනා (Berendina) සංවර්ධන සේවය මගිනි. එම සංවර්ධන සේවය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මේ අනුව ඔවුන් මධ්‍යම නුවර ගම්පළාතේ සහ තිරුප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තෝරාගන්නා ලද ඉසව්වල සේවය කර තිබිණි. මෙහිදී මෙම පිරිස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් එකොළහකදී සේවය ලබා දීමට කටයුතු කළහ. එහි වෙසෙන ජනතාවගේ දරිද්‍රතාවය මට්ටමෙන් ඉහළටම සිටින 10% ක පිරිසක් ඔවුන්ගේ ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන තිබිණි.

“මෙම තෝරාගත් පිරිස අතරින් අපි නිර්ණායක කිහිපයක් සලකා බැලු‍වා. ඒ අනුව ඔවුන්ගෙන් පවුලේ සැමියා අවුරුදු තිස්පහත් ඒ ආසන්න වයසක පසුවිය යුතු වෙනවා. ඒ වගේම එම පවුල්වල දරුවන් සිටිය යුතු වෙනවා. මේ ප්‍රධාන සාධක සලකා බලා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තිස්දෙනකු බැගින් කොට්ඨාස දෙකෙහිම හැටදෙනකු අපි මේ සඳහා තෝරා ගත්තා. මෙය වැඩසටහන් මාලාවක් ලෙසින් අපි පැවැත්වුවා.”‍ යැයි බෙරෙන්ඩිනා ආයතනයේ ප්‍රජා සංවර්ධන සම්බන්ධීකාරක හර්ශනාත් සේනානායක මහතා දේශයට පැවසීය.

මෙය වැඩසටහන් තුනකින් යුත් වැඩසටහන් මාලාවකි. පළමු වැඩසටහන් දෙක පවත්වන ලද්දේ තෝරාගත් පවුල් හැටෙහි සැමියන්ටය. තෙවැනි වැඩසටහන මව, පියා ඇතුළුව දරුවන්ටද, තෙවැනි වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෝටලයක නේවාසික වැඩසටහනක් ලෙසින්ද පැවැත්විණි.

මෙම පළමු වැඩසටහනේදී සැමියන්ට තම පවුල් වටපිටාව ප්‍රීතිමත් පවුලක් ලෙසින් පවත්වාගෙන යා යුත්තේ කෙසේද, සැමියා හා බිරිඳ අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ කෙසේද, යනුවෙන් දැනුවත් කිරීමක් සිදුවිය. දෙවැනි වැඩසටහන තුළ දී පියා හා දරුවන් අතර ඇති සම්බන්ධතාවය සුහදව පවත්වාගෙන යන්නේ කෙසේදැයි දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

මෙම වැඩසටහන් මාලාවේ තෙවැනි වැඩසටහන විශේෂිත විය. එහිදී ප්‍රීතිමත් පවුලක් ලෙසින් ජීවිතය ගෙවන්නේ කෙසේදැයි දැනුවත් කිරීමක් සිදු කෙරිණි. එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද සම්බන්ධ විය. ඔවුහු සෞඛ්‍ය සම්බන්ධයෙන් මනා අවබෝධයක් මෙම පවුල්වලට ලබා දුන්හ. මෙම අවසාන වැඩසටහනට සහභාගි පවුල් තිහක් පමණ සහභාගි වූහ.

“ගම් මට්ටමේ වැඩ කටයුතු කරගෙන යද්දී පවුල් අවුල් හේතුවෙන් දරුවන් විශාල වශයෙන් පීඩා විඳින බව අපි තේරුම් ගත්තා. මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දේට යොමුවීමෙන් අඹුසැමි සම්බන්ධතා නිසි ලෙස නොතිබීමත්, එවැනි සම්බන්ධතා පවත්වාගෙන යාමට අවශ්‍ය ජීවවිද්‍යාත්මක සාධක සම්බන්ධයෙන් දැනුමක් නොමැතිකම හේතුවෙන් පවුල් අතරේ ගැටුම් ඇතිවන බව අපි තේරුම් ගත්තා. අපි ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන ආයතනයක්. අපේ ප්‍රතිලාභීන්ගේ පවුල් ඒකකය සතුටින් නැතිනම් කොයිතරම් දේවල් අපි කළත් වැඩක් නැහැ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාවක් ගොඩනැගීමට අපිට අවශ්‍ය වුණා. මෙම වැඩසටහනින් පසුව අපි හොඳ ප්‍රතිඵලයක් අසන්නට ලැබුණා. විශේෂයෙන් වැඩසටහනට සහභාගි වුණු සැමියන්ගේ බිරින්දෑවරු තම සැමියාගේ ලොකු වෙනසක් ඇති බව පැවසුවා. වෙනදාට වඩා නිවස ගැන හොයලා බලන බව ඔවුන් පැවසුවා. ඒ අතරේ සිටි එක් සැමියෙක් නිතරම තම බිරිඳට කෝටුවකින් පහර දෙන බවත්, වැඩසටහනට සහභාගි වී නිවසට පැමිණි වහාම එම කෝටුව කඩා ඉවත් කළ බවත් පැවසුවා.”‍ යැයි සේනානායක මහතා පැවසීය.

මෙම වැඩසටහනට සහභාගි වූ ප්‍රතිලාභීන්ගෙන්ද ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබිණි. ඔවුන්ට තම පවුල් ජීවිතය සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බැලීමට අවශ්‍ය කරන සාධක මෙම වැඩසටහන් මාලාවෙන් ලබා ගැනීමට හැකිවිය. මෙම වැඩසටහන් මාලාව මගින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍යවලින් සිදුවන අයහපත් බලපෑම සම්බන්ධයෙන්ද කතාබහ කර තිබිණි. දරුවන් ඉදිරියේ පරමාදර්ශී පියකු වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට දැනුවත් වීමක් මේ හරහා ලබා දී තිබිණි.

මෙය සාකච්ඡා මට්ටමින් පැවැත්වූ වැඩසටහනක් පමණක් යැයි කිව නොහැක. එහිදී විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරිණි. මෙම වැඩසටහනට සහභාගිවූවන්ට ඒ හරහා සිතීමේ මානසිකත්වයට යොමුවීමට හැකි විය. ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඔවුන් තුළ ජීවවිද්‍යාත්මක ගැටලු‍ සම්බන්ධයෙන් පැවති දැනුමෙහි අඩුවක් ද පෙනී ගොස් තිබිණි. මේ නිසාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා අවශ්‍ය දැනුමද ලබාදීම සිදුවිය.

තෙවැනි වැඩසටහන මගින් සැමියා හා බිරිඳ අතර පවතින බැඳීම වැඩිදියුණු කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා සංවිධායකවරු ඔවුන්ව විවිධ ක්‍රියාකාරකම්වල යෙදවූහ. එහිදී ඔවුන්ට අවශ්‍ය රූපලාවණ්‍ය ආලේපනය ලබා දී තිබිණි. ඒවා උපයෝගී කරගනිමින් තමන්ට හැකි උපරිමයෙන්ම තම බිරින්දෑවරුන් ලස්සන කිරීමට සැමියන්ට අවස්ථාව ලැබිණි. බොහෝ සැමියෝ තම බිරින්දෑවරුන්ගේ හිස අපූරු විලාසිතාවලින් හැඩ කළහ. කිසිම දිනක අත් නොවිඳි එවැනි ක්‍රියාකාරකම්වලින් ඔවුහු බෙහෙවින් සතුටු වූහ.
ඒ අතරේ ඔවුහු තමන්ගේ අනාගත සිහිනය චිත්‍රයකට ඇන්දාහ. ඒ සඳහා අවශ්‍ය දෑ ලබා දී තිබුණි. කවදා හෝ දිනක සැබෑ කරගන්නට උත්සාහ කරන ඒ සිහින සිතුවම ඇඳීමට මුළු පවුලම එකතු වූහ. එමෙන්ම පවුලේ සමගිය ගොඩනගැනීම සඳහා බැලු‍ම් එකතු කරමින් උසම බැලුන් කුලු‍න සෑදීමට ද අවස්ථාව ලබා දී තිබිණි. එම විනෝදජනක ක්‍රියාකාරකම්වලින් සැවොම සතුටු වූහ. තුන්වැනි වැඩසටහන ආරම්භ වීමට පෙර ඒ පවුල්වල ඡායාරූපයක් ගැනීමට සංවිධායකවරු අමතක නොකළහ. වැඩසටහන අවසානයේදී රාමු කරන ලද තම පවුලේ ඡායාරූපය ත්‍යාගයක් ලෙසින් ඒ හැම පවුලකටම ලැබිණි. එය දකින හැම මොහොතකම පවුලක් ලෙසින් එකට සිටි එම දිනය ඔවුන්ට සැමවිටම මතකයට නැගෙනු ඇත. පවුල් ගැටලු‍වක් පැමිණි හැම මොහොතකම සිනහවකින් සිටි තම පවුලේ ඡායාරූපය ඔවුන්ගේ ඇස් අතීතයට ගෙන යන බවට ඔවුහු විශ්වාස කළහ.

පවුලක් අතර සමගිය ඇති කිරීමට දැරූ එක් උත්සාහයක් මෙමගින් සාර්ථක වූවා යැයි වැඩසටහනට සහභාගිවූවෝ විශ්වාස කළහ. මෙම වැඩසටහනට සහභාගි වූ බොහෝ දෙනෙක් කුලී රැකියාවක් කරමින් තම දෛනික ආදායම සොයා ගන්නා පිරිස වූහ. ආර්ථික අපහසුතා බොහොමයකින් හෙම්බත්ව සිටි ඔවුන්ට මෙම වැඩසටහන අපූරුම වැඩසටහනක් විය.

• දිශානි ජයමාලි කරුණාරත්න

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:03