2025 ජනවාරි 11 වන සෙනසුරාදා

දේශපාලනයෙන් බැට කන කතරගම දෙවොලේ “සිස්ටම් චේන්ජ්” එක

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:05 715

දෙවියන් වෙත පිදෙන පුද පඬුරුවලින් දේව කාර්යයන් ඉටුවන්නේ බොහෝ කලාතුරකිනි. රට පුරා දේවාල දස දහස් ගණනක් ඇතත්, ඒවායින් බහුතරය දෙවියන් නමින් නියෝජිතයන් ලෙස පෙනී සිටින කපු ඇත්තන් දිවි සරිකරන ආයතන සමූහයක් පමණක් වී තිබේ. නූතන ශ්‍රී ලංකාවේ පවතින දේවාල සමූහයේ මුදුන් මළකඩ වන් රුහුණු කතරගම මහා දේවාලය මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට සමත් වූයේ මේ අතරය. මේ සඳහා පෙරමුණ ගත්තේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාය.

කෙසේ වෙතත් පසුගිය දා කතරගම මහා දේවාලයේ වියදමින් මහරගම අපේක්ෂා රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ සිදුවූ සිද්ධියක් පිළිබඳව මාධ්‍ය විසින් විශාල ආන්දෝලනයක් ඇති කරනු ලැබීය. මීට හේතු වූයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ ප්‍රකාශයකි. ඒ සමඟම වර්තමාන කටයුතු පිළිබඳ සැලකිය යුතු පරිමාවේ සංවාදයක් නිර්මාණය වූ අතර, කිහිප දෙනකු විසින් නිලමේවරයා ප්‍රමුඛ පාලන අධිකාරියට චෝදනා එල්ල කරනු දැකගත හැකි විය.
බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ද සම්බන්ධ කර ගනිමින් අප මෙහි යථා තතු සොයා බැලීමට කටයුතු කළමු.

“අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ මට ගැටලු‍වක් ඇතිවුණේ නැහැ. ඒ මොහොතේ පවා වැරදි හැඟීමක් ඇතිවුණේ නැහැ. අපි තවදුරටත් දේවාලය හරහා සිදුකළ හැකි සමාජ සත්කාර සිදු කරනවා. මේ ප්‍රශ්න දේශපාලනීකරණය නොවිය යුතුයි. අපි මේ වන විට දේවාලයේ පරිපාලනය විනිවිද පෙනෙන සුළු ක්‍රමවේදයක් වෙත රැගෙනවිත් තිබෙනවා. ආදායම් වියදම් සියල්ල ඕනෑම කෙනෙක්ට දේවාලයේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.”‍

අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයෙන් රුහුණු කතරගම මහා දේවාලයේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබූ සත්කාරය අවතක්සේරුවට ලක්වූ බවට ඇතැමකු සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වා තිබුණි. අදහස් දැක්වීමක් පිළිබඳ සිය මතය ප්‍රකාශ කිරීමේ අයිතිය ඕනෑම අයකුට තිබේ. එහෙත් යම් ගැටලුවක් නිර්මාණය කොට පවතින යහපත් තත්ත්වය අවුල් කර දැමීමට කවරකු හෝ උත්සාහ දරන්නේ නම් එය ඒ ඉතා අදූරදර්ශී කටයුත්තක් බව සඳහන් කළ යුතුය.
“මේ වන විටත් අපේක්ෂා රෝහලේ තවත් ගොඩනැගිලි කිහිපයක ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතිනවා. මොනරාගල රෝහලේත් වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් සකස් කරලා තියෙන්නෙ. කතරගම රෝහල වගේම කතරගම නගරය සංවර්ධනය කිරීම සඳහාත් අපි අරමුදල් යොදවනවා. මේ සියලු‍ කටයුතු සිදුවන්නේ සද්භාවයෙන් සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් යටතේ. කිසිම කෙනකුට කිසිම දෙයක් හොරකම් කරන්න අවස්ථාවක් නෑ. හොරකම් කරන්න බැරිවෙන විදිහේ පද්ධතියක් අපි නිර්මාණය කළා. මටවත් මගෙන් පස්සේ එන නිලමේවරයකුටවත් දේවාලයේ ආදායම්වලින් වංචා කරන්න දැන් බැහැ.”‍

වර්තමානයේ ජනතාව විසින් නිරන්තරයෙන් ඉල්ලා සිටින “සිස්ටම් චේන්ජ්”‍ ප්‍රායෝගිකවම සිදුකරනු ලැබූ ස්ථානයක් ලෙස රුහුණු කතරගම මහා දේවාලය නම් කිරීම වරදක් නොවේ. වර්තමාන බස්නායක නිලමේවරයාගේ ආගමනයත් සමඟ දේවාලයේ ආදායම අට ගුණයකින් ඉහළ ගිය බව පළමුවරට අනාවරණය කරනු ලැබුවේද “දේශය”‍ පුවත්පත විසිනි. බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට රුපියල් මිලියන 50 ක්ව පැවැති වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන 400 ක් දක්වා වර්ධනය කර ගැනීමට දේවාලයේ පාලන අධිකාරිය සමත් වූයේ විශාල බාධා කිරීම් රැසක් හමුවේය.

“මේ මොහොතේ කිහිප දෙනෙක් විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. ඒවාට පදනමක් නැහැ. අඩුපාඩුවක් තියෙනවා නම් ඕනෑම අඩුපාඩුවක් නිවැරදි කරගන්න අපි සූදානම්. අපි හඳුන්වා දීලා තිබෙන ක්‍රමවේදයට වඩා හොඳ ක්‍රමවේදයක් යෝජනා කරනවා නම් එයත් ක්‍රියාත්මක කරලා බලන්න අපි සූදානම්. මම හිතන්නෙ නැහැ මෙතැන තියෙන්නේ දේශපාලන ගැටලු‍වක් හෝ බලපෑමක් කියලා. බොහෝවිට මේ කටයුතුවලට මුල සිට බාධා කරපු පිරිස් වර්තමාන තත්ත්වය පිළිබඳ අවුලට පත්වී ඉන්න පුළුවන්. කොහොම නමුත් රටේ සීයයට අනූනවයක්ම ජනතාව තාම ප්‍රසාදයෙන් අපේ කටයුතු දිරිගන්වනවා.”‍

විවිධාකාර පැමිණිලි ඉදිරිපත් කරමින් මෙම සත්කාර නතර කර දැමීමට උත්සාහ දරන්නේ මෙතෙක් දේවාල මුදල් වංචා කරමින් කටයුතු කළ පිරිස් ද යන්න පිළිබඳ පැහැදිලි සැකයක් නිර්මාණය වේ. ඉතිහාසය පුරාම කතරගම දේවාලයට විශාල ආදායම් ලැබුණු නමුත්, ඒවායේ ප්‍රතිලාභ භුක්ති වින්දේ කපු මහත්වරුන් ලෙස පෙනී සිටින කිහිප දෙනකුගේ පවුල් පමණක් බව මේ වන විටත් සැවොම දන්නා රහසකි. වර්තමාන වැඩපිළිවෙළ හමුවේ මසකට කෝටි ගණනක ආදායමක් ඔවුනට අහිමිව ගොස් තිබේ.

විටින් විට විවිධ උපක්‍රම යොදමින් බස්නායක නිලමේවරයා ඇතුළු පාලන අධිකාරිය අපහසුතාවයට පත් කිරීමට එම පිරිස් උත්සාහ කරන බවට ඕනෑ තරම් සාක්ෂි මේ වන විටත් අප සතුව තිබේ. කෙසේ වෙතත් නිලමේවරයා ඇතුළු පාලන අධිකාරිය මෙම අභියෝග හමුවේ නොසැලී සිටීම අගය කළ යුතු කරුණකි.

“තවදුරටත් කපු මහත්වරු මාසිකව දැවැන්ත මුදලක් පෞද්ගලිකව ලබාගන්නවා. ඒ දේවල් පවා ඔවුන්ට ලබාගන්න විහාර දේවාලගම් පනත යටතේ අවස්ථාවක් නැහැ. ජනතාව කාර්යාලය හරහා සිය පූජා පඬුරු ලබාදීමට කටයුතු කිරීමත් එක්ක තමා ආදායම් ඉහළ ගිහිල්ලා තියෙන්නෙ. බැතිමතුන් මේ විදිහට කටයුතු කළොත්, දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබන ගමන්, දෙවි හාමුදුරුවන්ට පින් අයිති වෙන්න මේ වගේ සත්කාර රැසක් කිරීමේ හැකියාව අපිට තියෙනවා.”‍
ගෙවී ගිය වසර කිහිපයක සිට රුහුණු හතරකම මහා දේවාල පාලන අධිකාරිය මෙරට සෞඛ්‍ය පෝෂණ සහ සමාජ අවශ්‍යතා වෙනුවෙන්, දේවාලයේ ආදායම් යෙදවීමට කටයුතු කළ අවස්ථා අපමණය. කතරගම ප්‍රදේශයේ දරුවන් සඳහා වෘත්තීය සහ භාෂා අධ්‍යාපනය ලබාදීම, අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති සිදුකිරීම ඒ අතරින් කිහිපයක් පමණි.

“අපි හිතන්නේ දේශපාලන අධිකාරියට පුළුවන් මේ විදිහට අනිත් තැන්වලත් විධිමත් ක්‍රමවේදයක් ඇති කරන්න උත්සාහ දරන්න. ජනතාව නිරන්තරයෙන්ම ඉල්ලා සිටින්නේ, තමන් යම් මුදලක් යම් කාර්යයක් වෙනුවෙන් යොදවද්දී එහි විනිවිදභාවය. ආදායම් සහ වියදම් හා නිසි පරිදි ලබාදීම හරහා ඒ විනිවිදභාවය පිළිබඳ සහතිකය අපිට ඔවුන්ට ලබා දෙන්න පුළුවන්. මේ වන විට අපි සිදු කරනු ලබන සියලු‍ වියදම් පිළිබඳ තොරතුරු අපි අනාවරණය කරනු ලබන්නේ ඒ නිසා. වසරකට එක් වතාවක් නොවෙයි මාස්පතා කාර්තුපතා අපි අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරනවා. අනෙක් හැමතැනමත් සිද්ධ වෙන්න ඕනෑ ඒ දේ තමයි.”‍

මහජනතාවගේ ආධ්‍යාත්මික විශ්වාස පදනම් කරගෙන කෝටි ගණනින් මුදල් වංචා කරන සිද්ධස්ථාන සහ පැවිද්දෝ දහස් ගණනක් මෙරට තුළ සිටිති. කඩිනමින් මෙම තත්වය වෙනස් කිරීම සඳහා පියවර ගැනීම වර්තමාන පාලකයන්ගේ වගකීමකි. කෙසේ වෙතත් එය පහසු කටයුත්තක් නොවනු ඇති බව, කතරගම වෙනසට එරෙහිව නැගෙන බලවේග දෙස බලන විට මනාව පැහැදිලි වේ. එබැවින් වැඩපිළිවෙළක් සහිතව උපක්‍රමිකව මෙරට සෙසු දේවාල සිද්ධස්ථාන සඳහා ද ආදායම් වියදම් කළමනාකරණය කිරීමට දැන් කාලය එළැඹ තිබේ.

අවසානයේ සටහන් කළ යුත්තේ ප්‍රශ්න ගැටලු‍ වැඩි කොට අර්බුද නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය භාවිතය සිදු නොවිය යුතු බවකි. එසේම දේශපාලකයන්ද අගය කළ යුතු දේ අගය කිරීමටත්, සුදුසු තැන සුදුසු දේ කීමටත්, කළ යුත්ත නිසි තැන නිසි ලෙස සිදු කිරීමටත් කටයුතු කළ යුතුමය.

• චමිඳු නිසල් ද සිල්වා