2025 ජනවාරි 18 වන සෙනසුරාදා

ගාණ අඩුවෙන් බෝතල් ගන්න හිටි අයට ලැබුණු තෑග්ග

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:03 232

ඉන්දියාව සහලින් හැදූ සුරාව අපේ රටටත් රජ කාලයේ පටන් රාජ පානයක් ලෙස පැමිණියද මෙරට මිනිසුන් අරක්කුවලට වැඩි හරියක් පුරුදු වුණේ ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසුවය. එදා සිට අද දක්වාම දේශීය සහ විදේශීය විවිධාකාර අරක්කු පාන වර්ග වෙළෙඳපොළේ දැකිය හැකිය.

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා පැවසුවේ ගොඩගැහෙන මත්පැන් ගොන්නට නව සාමාජිකයකු එකතු වීමට නියමිත බවයි. ඔහු පැවසුවේ සෙවණගල සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවලින් අතුරු නිෂ්පාදන යොදාගනිමින් සෞඛ්‍යාරක්ෂිත අඩු මිල මත්පැන් වර්ගයක් නුදුරේදීම හඳුන්වා දෙන බවයි. නව වසරේ සියලු‍ ආකාරයේ මත්පැන් සහ දුම්වැටිවල බදු ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගත්තේය. මෙම බදු නැංවීම අනුව මද්‍යසාර කාණ්ඩ 9 ක් සඳහා අය කෙරෙන බදු සංශෝධනයක් ඉකුත් 10 වැනිදා සිට ගැසට් නිවේදනයක් මගින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව මෙරට නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මද්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7244කි. මෙරට නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදාගැනෙන මද්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7752 කි. මෙරට නිෂ්පාදනය කරන විදෙස් මත්පැන් සඳහා යොදාගන්නා මද්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 7969 ක බද්දක්ද පැනවෙයි. මෙම නව බදු සංශෝධනය සමඟ රුපියල් 3580 කට තිබූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102 කින් වැඩිවනු ඇත. එසේම ඕල්ඩ් ඇරෑක් වර්ගයේ රුපියල් 4000 ට පැවති බෝතලයක මිල රුපියල් 109 කින් වැඩි වෙයි. මෙරට නිෂ්පාදනය කරන විදේශීය විස්කි වර්ගවල මිල රුපියල් 40 කින් ඉහළ යනු ඇත. බියර් වර්ගවල මිල ද රුපියල් 30-40 මිල ගණන්වලින් ඉහළ යයි. 

විදේශීය මත්පැන් වර්ගවල මිල ඒ ඒ මත්පැන්වල සැර ප්‍රමාණය අනුව වැඩිවන බව දන්වයි. දුම්වැටි මිලද කාණ්ඩ හතරක් යටතේ මෙම මිල වැඩිකිරීම සිදුකෙරෙන බව ලංකා දුම්කොළ සමාගම පවසයි. දුම්වැටි කාණ්ඩ 2 ක් රුපියල් පහකින් සහ තවත් කාණ්ඩ 2 ක් රුපියල් 10 කින් ඉහළ නැංවෙනු ඇතැයිද ලංකා දුම්කොළ සමාගම පවසයි.

මෙයට පෙර අවස්ථාවක සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසුවේ රටේ නීතිවිරෝධී මත්පැන් අලෙවිය නැවතීමේ අරමුණින් අඩු මිලකට නව මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට නියමිත බවයි. මෙම අලු‍ත් බෝතලය ලබන වසරේ මුල් කාර්තුවේ සිට හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසුවේය. එදා සුරාබදු කොමසාරිස්වරයාගේ මේ කතාව මුළු සමාජයටම බට පඳුරට ගිනි ඇවිළුණා සේ විය. සූර් මරුවන්ට රජ මගුල්ය. ගෘහණියන් දුම්මල වරම අතට අරගෙනය.

ඒ වගේම රට වටෙන්ම ආගමික නායකයන් ඇතුළු විවිධ පිරිස්වල විරෝධයක්ද මෙයට එල්ල විය. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජාතික සංඝ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මගින් දැනුම් දුන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ තේමාව වූ ලස්සන ජීවිතයක් පොහොසත් රටක් නිර්මාණය කිරීමට නම් අඩු මුදලට මත්වතුර ලබාදීම නුසුදුසුදු ක්‍රියාවක් බවත් එය අප්‍රසන්න පුවතක් බවත්ය.‍ මේ සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමියන්ගේ අත්සනින් නිකුත් කළ ලිපියේ මෙසේ ද සඳහන් විය.

“රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝණය වන පරිදි ක්‍රියා කරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී ඇති නිසාදැයි සාධාරණ සැකයක් අපට තිබේ. මත්ද්‍රව්‍ය නිසා රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබුණද මත්ද්‍රව්‍ය නිසා සිදුවන ආර්ථික, සෞඛ්‍ය සමාජයීය හානිය එකී ආදායමට වඩා වැඩිය.‍ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා තිබෙන මත්ද්‍රව්‍ය වර්ගවලට අමතරව තවත් මත්ද්‍රව්‍ය සුලබ කිරීමේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ බලාපොරොත්තුව ගැන දැඩි අප්‍රසාදය පළ කරමු.”

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නීත්‍යනුකූල මත්පැන් බෝතලයක් අඩු මිලට ලබාදීමෙන් රටේ ජනතාව රෝගී වීම ඉහළ යෑමක් බවයි. එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වගකීම විය යුතු වන්නේ මද්‍යසාර බදු නිවැරැදි ලෙස අය කර ගනිමින් නීත්‍යනුකූල නොවන මද්‍යසාර වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, සුරාබදු නොගෙවූ වෙළෙඳපොළේ ඇති මත්පැන් හඳුනා ගැනීමත් සහ ඒවා වෙළෙඳපොළට නිකුත් කළ කූට වෙළෙඳුන්ට නීති මගින් කටයුතු කිරීමත් බවයි. මේ සම්බන්ධයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

“නීත්‍යනුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අවම කරමින් රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩිකර මද්‍යසාර සමාගම්වලට වාසි සහගත තත්ත්වයක් ඇති කරමින් ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බවයි. 1996 වසරේදී එවකට සිටි මුදල් අමාත්‍යවරයා මෙවැනිම තර්කයක් ඉදිරිපත් කරමින් නීත්‍යනුකූල මද්‍යසාර පාලනය කරනවා යැයි පවසමින් බියර් බදු සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් පහත දැමූ බවත් එයින් වූයේ සියයට 200 කට වැඩි අගයකින් බියර් භාවිතය වැඩිවීමයි.”

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එසේ කියද්දී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දුන්නේ රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ දැනටත් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයක් බවත්, එය නව ක්‍රමවේදයක් ලෙස හුවා දක්වමින් ඇතැම් සංවිධාන බොරු ජනතා විරෝධයක් මවාපාමින් රජයත් නව සුරාබදු කොමසාරිස්වරයාත් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය‍.

සුරාබදු ආඥා පනතට අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එක් සමාගමක් බියර් නිෂ්පාදනය සඳහා මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිත කරන අතර දැනට වෙළෙඳපොළේ පවතින බියර් නිෂ්පාදනවල ප්‍රමිතිය සොයා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය පවසයි. අලු‍ත් මත්පැන් බෝතලයට විරෝධය පාමින් මෙම කාර්යය අඩාල කිරීම පිටුපස ප්‍රකට මෘදු මත්පැන් නිෂ්පාදනය කරන බියර් සමාගමක් සහ එයින් යැපෙන අමාත්‍යංශ නිලධාරීන් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් බවත් එම ලිපියේ සඳහන් වෙයි.

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ මත්පැන් සහ දුම්වැටිවල බදු අනුපාත ඉහළ දැමුවේ මෙරට පවුල් කුටුම්භ සතුටෙන් තැබීමට බවයි. ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් දුම්වැටි මිල වැඩි කළා කියා කිසිදු පවුලක බිරියක් අකැමැත්ත පළ කර නැති බවයි. මත්පැන් දුම්වැටි භාවිත කරන්නවුන් ඒ හරහා සොයන්නේ සතුටක් විනෝදයක් බවත්, ඒ සතුට සහ විනෝදය වෙනත් ආකාරයෙන් ලබාදෙන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නැංවෙනු ඇති බවත් සුරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එකී මෙකී නොකී සෑම කතාවක්ම කිරා මැන බැලීමේදී මතුවන අතුරු කතා බොහොමයක් දැකිය හැකිය. යළි යළිත් පැවසීමට ඇත්තේ නව මත්පැන් බෝතලයක් රජයක් මගින් හඳුන්වා දීම කෙතරම් උචිතදැයි වෙනම සිතා බැලිය යුතු කරුණක් බවය. එසේම මත්පැන් බෝතලයක් සෞඛ්‍යාරක්ෂිත ලෙස නිපදවන්නේ කෙසේදැයි බලධාරීන් වෙනම පැහැදිලි කළ යුතුය. නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මේ මිහිපිටින් අතුගා දැමීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් මෙලෙස නව මත්ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය කරනුයේ දුම්කොළ හා මද්‍යසාර පනත ඇතුළු රටේ නීතිය අනුවම මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය තහනම් කර ඇති පසුබිමකය. ගමේ කසිප්පු තිප්පොළ වැසීම වැදගත් කාරණයකි. එහෙයින් ආණ්ඩුවෙන්ම හඳුන්වා දීමට යන අලු‍ත් බෝතලය බොනවාද නැද්ද යන්න තීරණයත් ජනතාව සතුය.

• සසංක චලන ගිම්හාන

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:02