2025 ජනවාරි 25 වන සෙනසුරාදා

මහින්ද රාජපක්ෂට රජයෙන් හිමි වූ නිල නිවෙස ආපසු ගන්න අනුරට පුළුවන්ද?

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:03 232

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බවට ජාතික බලවේගය ආණ්ඩුව කරන ප්‍රකාශ තවත් තීවූර මුහුණවරක් ගෙන ඇත්තේ, ඒ පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා කළ දැඩි ප්‍රකාශයක් හේතුවෙනි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට හිමිවන වරප්‍රසාද තමන් බලයට පත්වීමෙන් පසුව කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජනබලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ මෙන්ම මහ මැතිවරණ සමයේ ද ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය.

ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත් කරනු ලැබීය.

කෙසේ වෙතත්, දැනට වාග් සංග්‍රාමයකට සීමා වී ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවතින ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කළ යුතු බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති.

ජනපතිගේ අනතුරු ඇඟවීම

ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, හිටපු ජනාධිපතිවරුන්ට නිවාස නොදෙන බවට තමා පොරොන්දුවක් දුන් බවය.

“මම ලියුමක් දෙන්න හිතාගෙන ඉන්නවා මට නම් විශ්‍රාම ගියාම ගෙවල් එපා කියලා. හැබැයි අනිත් අයටත් දෙන්නේ නැහැ. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3 ක් දෙන්න ඕනෙ. පඩියෙන් 1/3 ක් කියන්නේ, රුපියල් 30,000 ක්. මම හිතාගෙන ඉන්නෙ මහින්ද මහත්තයාට රු.30,000 ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර මාසික කුලිය ලක්ෂ 46 යි. තාම ඉඩම තක්සේරු කළේ නැහැ බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා. පඩියෙන් තුනෙන් එකක් දෙනවා. තිස් දාහයි. එහෙම නැත්නම් ඉතිරි සල්ලි දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්.”‍

දැඩි ස්වරයකින් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “හිටපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70 ක් ගිහින්. අපි ඔක්කොම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60 ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවාලු‍. තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව දෙනවා.”‍

මහින්ද රාජපක්ෂ නිල නිවස භාරදීමට සූදානම්?

ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ නිල නිවස ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට හිමිවූවක් වන අතර, ඒ පිළිබඳ ලිඛිත දැනුම්දීමක් කරන්නේ නම් එම නිවස රජයට භාරදීමට සූදානම් බවය. “ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්තමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍ය නම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතැනින් ඉවත් කරගන්න අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්වන්න පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි, ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන දෙයක්.

හදිසියේවත් නිල නිවස දීලා යන්න කියලා කිව්වොත් මොකද කරන්නෙ?

“ඕන වෙලාවක යනවා. මොකද මේවා අපේ ගෙවල් නෙමෙයි, මේවා ආණ්ඩුවේ ගෙවල්. ජනාධිපතිවරයාට මේක කාට හරි විකුණන්න ඕනෙ නම් අපි යන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ.”‍
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොකද්ද මේ සම්බන්ධයෙන් දරන මතය?
එතුමා ඉන්නෙත් ඒ මතයේ.

ඒ කියන්නෙ ඕන වෙලාවක යන්න සූදානම්?

“අයියෝ එතුමා මහින්ද රාජපක්ෂ. ඒක අමතක වෙලා ගොඩක් අයට”‍ යනුවෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති නිවාස සම්බන්ධයෙන් තීරණයක් නැහැ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, ආරක්ෂක අංශ නිලධාරීන්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නිවාස සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන නොමැති බවය. මෙය විශ්‍රාමික ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් අදාළ වන බවද ඔහු කියා සිටියේය.

මෙම වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේද?

බීබීසී සිංහල සමඟ මීට පෙර අදහස් දක්වමින්, මෙම වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේදැයි හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන කරුණු පැහැදිලි කිරීමක් කර තිබිණි.
“ධුරය අවසන් කළ ජනාධිපතිවරුන්ට මේ වරප්‍රසාද හිමි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් තුළින්. ඒ අනුව වරප්‍රසාද වැඩි කිරීම, අඩු කිරීම, කප්පාදු කිරීම සිදුකළ හැක්කේ එම පනතට සිදුකරන සංශෝධන හරහා පමණයි. ඊට අමතරව එම පනත අහෝසි කිරීමටත් හැකියාව තිබෙනවා. එම වරප්‍රසාද කප්පාදු කරන්නේ නම් එය කළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව මෙම කාරණය පිළිබඳව අධ්‍යයනය කර අදාළ සංශෝධන සිදුකළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මා විශ්වාස කරන ආකාරයට මේ වගේ සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකියි. එහෙත් මෙවැනි පනත් සංශෝධනයක් සිදු කිරීමට පෙර ඊට අදාළ පනත් කෙටුම්පතක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

එසේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි නීත්‍යනුකූලභාවය පිළිබඳව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හා ඉන් අගතියට පත්වන පාර්ශ්වයන්ට හැකියාව තිබෙනවා. ඒ ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කළ විට අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර නිගමනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරී තිබෙනවා. එවැනි අවස්ථාවක අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකිද? එසේත් නැතිනම් ඒ සඳහා විශේෂ බහුතර ඡන්දයක් ලබාගත යුතුද? යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිගමනය පදනම් කරගෙන අදාළ පනත් කෙටුම්පත සම්මත කළ හැකියි.”‍ යනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මීට ඉහත දී බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.

• BBC