ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක බරපතළ ප්‍රකාශයක් සිදු කළේය. ඒ මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙනි. මේ රට උඩින් ලස්සනට තිබුණද ඊට යටින් අපරාධ රාජ්‍යයක් ක්‍රියාත්මක වන බව ඔහු එහිදී පැවසීය. එපමණක් නොව එක්තරා කඳවුරකින් ගිනි අවි 73 ක් එළියට ගොස් ඇති බවත් තවමත් ඉන් 38 ක් පමණක් සොයාගෙන ඇති බවත් ජනපතිවරයා පැවසීය. ඊටත් වඩා බරපතළ කරුණ වන්නේ කඳවුරුවල සිටින හමුදා භටයන් කිහිප දෙනකු එළියට පැමිණ පාතාලයේ කොන්ත්‍රාත් මත මෙම ඝාතන සිදු කරන බවට කළ ප්‍රකාශයයි. ජනාධිපතිවරයා එසේ කියන විට කොළඹ දකුණ ප්‍රදේශයේ වෙඩි තැබීම් රාශියක් සිදුවී තිබිණි. එපමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් කෝටි 28 ක මුදල්ද සොයාගෙන ඇතැයි පැවසිණි. ඒ අනුව පැහැදිලිවම ජනාධිපතිවරයා පවසන ආකාරයට මේ රට අපරාධ රාජ්‍යයක් වී ඇති බව පෙනී යයි. මේ සම්බන්ධ සියල්ල අපි එකිනෙක පැහැදිලි කරගත යුතුය.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරමින් කීවේ එක්තරා කඳවුරකින් ගිනි අවි 73 ක් එළියට ගොස් ඇති බවත් එම ගිනි අවිවලින් 38 ක් සොයාගෙන ඇති බවත්ය. මෙය බරපතළ ගැටලුවකි. එහෙත් වැදගත්ම කරුණ නම් මේ ගිනි අවි අද ඊයේ නැතිවුණ ඒවාද, නැතිනම් මීට වසර කිහිපයකට පෙර අතුරුදන් වූ ඒවාදැයි නිශ්චිතව සඳහන් නොවීමය. කෙසේ වෙතත් ලියුම්කරු ගිනි අවි 72 ක් අනුරාධපුර කඳවුරකින් පාතාලයට ගිය සිදුවීමක් මීට වසර හතරකට පෙර අනාවරණය කළේය. ඒ 2021 මැයි 15 වැනිදාය. එදින එම සිදුවීම සටහන් වී තිබුණේ සිදු කළ පරීක්ෂණවලට අනුව අනුරාධපුර කඳවුරකින් කොස්ගොඩ තාරකගේ ගෝලයකු වන අමිල සහ එවකට මාධ්‍යවේදියකු එක්ව කොළඹට ගිනි අවි 72 ක් පන්නාගෙන ආ බවටය. එම ගිනි අවි රැගෙන ආවේ ජනපති ඝාතන කුමන්ත්‍රණයකට බව එවකට තිබූ කතාව මහා ආන්දෝලනයකට තුඩු දුන්නේය. කෙසේ වෙතත් ඒ සමයේදීම විශේෂ කාර්ය බලකාය මගින් ටී 81 වර්ගයේ, ටී 56 වර්ගයේ සහ ඒකේ 47 වර්ගයේ ගිනි අවි 14 ක් සොයාගනු ලැබීය.
එම පරීක්ෂණය ඒ මොහොතේ මහා පරිමාණයෙන් ඇදී ගියත් පසුව ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් සිදුවූයේ නැත. අද වන තෙක් සද්දයක් නැත. අප දන්නා ආකාරයට අනුරාධපුර කඳවුරකින් සොරාගත් ගිනි අවි කතාව එයයි. කෙසේ වෙතත් අපගේ අදහස ද ඒ ගිනි අවි කතාව දෙකක් නොව එකක් බවටය. ජනාධිපතිවරයා කියන ආකාරයෙන් එය බරපතළ ප්‍රශ්නයකි. කඳවුරකින් ගිනි අවි එකක් දෙකක් නොව 72 ක් පිටවෙන තෙක් කඳවුරු භාර නිලධාරීන් නින්දෙහි පසුවූයේද? නැතිනම් මේ දේවල්වලට ඔවුන්ගේ සම්බන්ධයක් පවතීද? යැයි පැහැදිලිවම සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් හමුදාවට එල්ල වන කැළල සුළුපටු නැත.
ජනාධිපතිවරයා පැවසූ අනෙක් කරුණ නම් ඇතැම් හමුදා සෙබළුන් කඳවුරෙන් පිටත පැමිණ අපරාධ සිදු කරන බවය. එය ද බරපතළ ප්‍රශ්නයකි. එනම් නීතිය ආරක්ෂා කරන අය නීතියේ සෙවණින් පැමිණ නීතියට මුවාවී අපරාධ අබිරහස් අපරාධ බවට පත් කිරීම සුළුවෙන් තැකිය නොහැක. එක් පැත්තකින් ජනාධිපතිවරයා කියන කාරණය ගැන අමුතුවෙන් බිය විය යුතුද නැත. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, තාජුඩීන් ඇතුළු ඝාතන මෙන්ම උපාලි තෙන්නකෝන්, කීත් නොයා, පෝද්දල ජයන්ත වැනි අයට පහරදීම් පසුපස සිටින්නේ රටේ සන්නද්ධ හමුදාව බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. ඒ සියල්ල ගැන පරීක්ෂණ සිදු කළත් ඒවා ඉදිරියට ගෙන යන්නට හැකියාවක් නොවීය. ඒ දේශපාලන බලපෑම් හේතුවෙනි. දැන් අනුර කුමාර ජනාධිපතිට සිදුවී ඇත්තේ වසර 15 ක් පමණ අතීතයේ සිදු වූ අපරාධ සෙවීමටය. ජනාධිපතිවරයා පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී එහි අසීරුතාවය පැහැදිලි කළේය. එනම් ඒ සම්බන්ධ ඇතැම් වාර්තා නොමැති බවත්, ඇතැම් ප්‍රධාන සාක්ෂිකරුවන් මියගොස් ඇති නිසා පරීක්ෂණ පැවැත්වීම අසීරු බවත්ය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් හමුදා කඳවුරුවලින් පැමිණ සිදු කරන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසඳලීම ඉක්මනින් සිදු කළ යුතුව ඇත. සක්‍රීය සේවයේ හමුදා සෙබළුන්ද ආර්ථික හානිය නිසා මිනී මැරීම සිදු වුවහොත් එහි අපකීර්තිය සමස්ත යුද හමුදාවටම එල්ල වන බැවිනි.
මේ අතර පසුගියදා පොලිසිය භාර ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේජර්වරයකු, සාමාන්‍ය සෙබළු හයදෙනකු, පොලිස් නිලධාරියකු සහ ග්‍රාමාරක්ෂක භටයකු අත්අඩංගුවට ගත් බවය. එසේ නම් තත්වය සුළු පටු නැති බව ඔබට වැටහෙනු ඇත.
එසේම මේ වනවිට රටම තිගැස්සී තිබෙන අනෙක් සිදුවීම නම් කොළඹ දකුණ ප්‍රදේශයේ සිදුවන ඝාතන රැල්ලයි. මහ දවාලේ එළියට පැමිණ නන්නත්තාරයේ වෙඩි තබමින් කෙසෙල් කඳන් කපා දමන්නා සේ සිදුවන මිනිස් ඝාතන සංස්කෘතියක් එම ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙමින් පවතී. ඒ වෙන කිසිවක් නිසා නොව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට ප්‍රදේශ බෙදාගැනීමට නොහැකිවය. මේ ආකාරයට ඩුබායි පැන සිටින පාතාලයේ කොස් මල්ලි සහ බඩෝවිට අසංක යන කණ්ඩායම් දෙකේ මිනී මරා ගැනීම නිසා මේ වනවිට හත් දෙනකු පසුගිය දින කිහිපය තුළ මියගොස් ඇත. කෙසේ වෙතත් මෙකී පාතාලය කෙතරම් පීචං ද යත් ප්‍රධාන කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනා ඩුබායි හි සැප විඳිද්දී කොල්ලෝ කුරුට්ටෝ එකිනෙකා මරාගන්නා තැනට පාතාලය හසුරුවා ඇත. ඔවුන්ගේ ගෝලබාලයන් මිනී මරාගැනීම නවත්වන්නේ ද නැත. ඒ නිසා පාතාලයට තිත වැටෙන්නේද නැත. එය නැවැත්වීමට නම් අනිවාර්යෙන්ම ඩුබායි සැඟව සිටින පිරිස මෙරටට රැගෙන ආ යුතුය.
ජනාධිපතිවරයා සිය ප්‍රකාශයෙන් සඳහන් කළේ එලෙස පිටරට සැඟව සිටින අපරාධකරුවන් 65 දෙනකු මෙරටට ගෙන ඒම සඳහා රතු වරෙන්තු ලබාගෙන ඇති බවයි. ජනාධිපතිවරයා එසේ කීවද උසාවියෙන් ඇප ලැබූ පොඩි ලැසී ඉන්දියාවට යන තෙක් මෙරට ආරක්ෂක අංශ දැන සිටියේ නැත. එසේම මැඩගස්කරයේ සිට අමාරුවෙන් රැගෙන ආ කුඩු සලිඳු අතුරුදන් වනතුරු කවුරුත් දන්නේ නැත. එසේ නම් මෙරටට අපරාධකරුවන් ගෙන්වා කුමකටද? ටික කාලයක් සිට නැවත රට පනී නම් එහි පලක් නොමැත.
ජනාධිපතිවරයා මෙලෙස පවසන විට පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ නිවෙසකින් මුදල් තොගයක් සොයාගෙන තිබිණි. එහි වටිනාකම කෝටි 28 කි. ඒ කෝටි 28 රන් මල්ලිගේය. රන් මල්ලි යනු හරක් කටාගේ ගෝලයාය. හරක් කටාගේ නියෝග මත රන් මල්ලි විසින් මෙම මුදල් යොදවා මැඩගස්කරයෙන් මැණික් ගෙන සල්ලි සුදු කිරීමට සූදානම් වූ බව සැකකරු අත්අඩංගුවට ගත් පසු අනාවරණය විය. මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන තිබිණි. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයකි. අංක එක හරක් කටා බන්ධනාගාරයේ සිට සුපුරුදු කටයුත්තේ නියැලෙන බව සැකහැර දැනගත යුතුය. දෙක මෙතරම් මුදල මත්ද්‍රව්‍ය ජාවාරමින් සොයන්නේ නම් කොපමණ කුඩු තොගයක් මෙරටට ගෙන එනවාද යන්න සොයා බැලිය යුතුය. එසේම බන්ධනාගාරයේ සිට මෙම කටයුතු මෙහෙයවනවා නම් අදාළ ආරක්ෂාවට සිටින නිලධාරීන්ටද නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. ජනාධිපතිවරයා පසුගියදා කීවේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන බවය.
මෙහිදී ජනාධිපතිවරයාට ලැබෙන තොරතුරු සත්‍ය නමුත් ඒවාට ගන්නා පියවර කුමක්ද යන්න අපි තවම නොදනිමු. එහෙත් ජනාධිපතිවරයා යම් වැඩපිළිවෙළක් සකසා ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු පොලිසියේ ව්‍යුහයද වෙනස් කිරීමට සුදානම්ව සිටී. එසේ කළ යුතුව ඇත. විශේෂයෙන් වැඩ කරන නිලධාරීහු මේ සිදුවීම් හේතුවෙන් විශාල ලෙස අසාධාරණයට පත්ව සිටිති. මේ වනවිට ඇතැම් පොලිස් නිලධාරීහු රට හැර යන තැනට පත්වී සිටිති. කංජිපානිලාගේ මරණ තර්ජන හමුවේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ප්‍රංශයට ගියේය. එහෙත් එම තර්ජන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අද වන තෙක් නැත.
දැන් තවත් අයෙක් රට හැර ගොස් සිටී. ඒ විශේෂ කාර්ය බලකායේ කාලයක් පාතාල මෙහෙයුම්වල යෙදී සිටි සහ වර්තමාන මුල්ලිවයික්කාල් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්ය. සංගීත් යනු මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට පවා මෙහෙයුම් සිදු කළ පුද්ගලයෙකි. ඔහු සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් බර ගණනකි. දක්ෂයෙකි. අවංක මිනිසෙකි. එහෙත් දැන් ඔහු ජීවිතාරක්ෂාව පතා සිය පවුලත් සමඟින් ඉතාලියට ගොස් සිටී. අඩුම තරමින් තමන්ගේ ආරක්ෂාවට ගිනි අවියක් ඉල්ලූ පසු එය ලබාදීමට පවා නොහැකි පොලිසියක් ඇති රටක තවදුරටත් ආරක්ෂාවක් ඇත්දැයි ඔහුට සිතෙන්නට ඇත. ඒ නිසා සියල්ලට ආයුබෝවන් කියා සංගීත් ද රට හැර ගොසිනි.
මේ ආකාරයෙන් දක්ෂ නිලධාරීන් රට හැර යන විට, ආරක්ෂක අංශවල ඇතැම් නිලධාරීන් මිනී මරණ විට, මේ ආකාරයෙන් රජයේ ගිනි අවි අතුරුදන් වන විට මෙරට අපරාධ රාජ්‍යයක් වීම වැළැක්විය නොහැකි බව කිව යුතුය.
• ගයාන් ගාල්ලගේ