“අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා” නමින් අප කුඩා කාලයේ උගත් වාෂ්ප දුම්රිය පිළිබඳ, අප කා තුළත් පවතින්නේ සොඳුරු හැඟුමකි. වර්තමානයේ නිතර දක්නට නොලැබුණත් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන මෙම දුම්රිය සමඟ පෙමින් බැඳුණු දුම්රියලෝලීහු දහස් ගණනක් ලොව පුරා විසිර සිටිති. ඔවුහු වාෂ්ප බලයෙන් වැඩ කරන දුම්රිය සොයා ලොව පුරා සංචාරය කරන්නෝය. 1986 සිට ඉතා මෑතක් වනතුරු ශ්‍රී ලංකාවද ඔවුන්ගේ ගමනාන්තයක් බවට පත්ව තිබුණි. එහෙත් මෙම සුවිශේෂී ව්‍යාපෘතියට කනකොකා හැඬීමට පටන්ගෙන ඇති බව පසුගියදා අපට ආරංචි විය. අද දවසේ මෙම සොයා බැලීම ඒ හා සම්බන්ධවය.
හැට හැත්තෑව දශකවල ශ්‍රී ලංකාවද ඇතුළුව මුළු මහත් ලෝකයම ක්‍රමයෙන් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක දුම්රිය එන්ජින් භාවිතය අත්හැරියේය. ඊට හේතු වූයේ ඩීසල් එන්ජින්වල පැවති කාර්යක්ෂමභාවයයි. 1980 වන විට ශ්‍රී ලංකාවද වාෂ්ප දුම්රිය එන්ජින් භාවිතය මුළුමනින්ම අතහැර දැමීමට කටයුතු කළේය. අනතුරුව මෙම එන්ජින් උණු කොට යකඩවලට විකුණා දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් එවක බලධාරීන් හට නොතිබුණි. ඒ අනුව මෙරට භාවිතා වූ වාෂ්ප දුම්රිය එන්ජින් රැසකට සිදුවූයේ යකඩවලට උණු වී දිය වී යාමටයි.
මේ අතර කාලයේ මෙරට ප්‍රකට සංචාරක නියෝජිත ආයතනයක් වන JF Tours ආයතනයේ එවක පාලන අධිකාරියට සිය මිතුරු විදේශිකයකු අපූරු අදහසක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ඉතිරි වී පවතින වාෂ්ප දුම්රිය කිහිපයක් හෝ සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් JF Tours ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. අනතුරුව ඊට කැබිනට් අනුමැතියක්ද ලැබුණි. ඒ අනුව යකඩවලට උණුවෙමින් රාත්තලට විකිණෙමින් පැවතුණු දුම්රිය එන්ජින්වලින් තුන හතරක් අනාගතය උදෙසා සුරක්ෂිත කිරීමට බලධාරීහු කටයුතු කළහ. JP Tours ආයතනයේ සැලසුම වූයේ මෙම දුම්රිය එන්ජින් හරහා නව සංචාරක ව්‍යවසායක් ගොඩනැගීමයි.
සංචාරකයන්ට ගැලපෙන ලෙස මෙම දුම්රිය තවදුරටත් සංවර්ධනය කරමින් අවශ්‍ය සුඛෝපභෝගී පහසුකම් අන්තර්ගත කොට, තරු පන්තියේ හෝටලයක ලැබෙන සුවපහසුව සහිත වන පරිදි ගොඩනැගීමට මෙම සංචාරක නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කළේය. 1986 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර මේ වන විට ඒ සඳහා වසර හතළිහක පමණ කාලයක් සම්පූර්ණ වී තිබේ. ශ්‍රී ලාංකිකයන් අතර එතරම් ජනප්‍රියත්වයක් නොවන නමුත්, ලොව පුරා දුම්රියලෝලීන් අතර මේ සුඛෝපභෝගී සුපිරි වාෂ්ප දුම්රිය ගමන අතිශය ජනප්‍රියත්වයට පත් වූවකි.
විශේෂයෙන්ම ලොව ප්‍රකට දුම්රියලෝලීන්ගේ සංගම් පසුගිය දශක හතර තුළම මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඉහළ අවධානයකින් කටයුතු කොට තිබේ. වසරකට කිහිප වරක් යුරෝපාකරයේ පවතින මෙම සංගම්වල පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරයකට එකතු වී ඇත්තේ, මෙම දුම්රිය එන්ජින්වල ගමන් කිරීමේ අරමුණ සහිතවය. විවිධ දුම්රිය එන්ජින්වල ගමන් කිරීමේ අරමුණ සහිතව ලොව පුරා සංචාරය කරන මෙම පිරිස්, සාමාන්‍යයෙන් මෙවන් සංචාරයක් වසරක පමණ කාලයක සිට සැලසුම් කරන්නෝ වෙති. කෙසේ වෙතත් මෙවර වාෂ්ප දුම්රියේ සංචාරය සඳහා කල් ඇතිව දින වෙන් කරගත්තද, එම සංචාරකයන් හට නියමිත දිනට අදාළ ගමන යාමට හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව දැන ගැනීමට ලැබී ඇත. ඊට හේතුව වී ඇත්තේ අදාළ දුම්රිය එන්ජිම මෙම සංචාරය සඳහා ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමය.
නිශ්චිත හේතු දැක්වීමක් හෝ පැහැදිලි කිරීමක් රහිතව සිදුවන මෙම ප්‍රතික්ෂේප කිරීම, ඉතා ගැටලු සහගත තත්වයක් බව JF Tours ආයතනය කියා සිටී. යම් කාර්මික දෝෂයක් හෝ වෙනත් කාරණාවක් බැව් සඳහන් කළද එය පිළිගත නොහැකි තත්වයක් බව ඔවුහු සඳහන් කරති. අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ එක් දුම්රිය එන්ජිමක් දැනටද භාවිත කර හැකි මට්ටමේ පවතින අතර, තවත් දුම්රිය එන්ජිමක් දින කිහිපයකින් ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් පවතින බවයි.
1986 දී ව්‍යාපෘතිය ඇරඹී දශකයක් එකහමාරක් ගතවන විට ගල්අඟුරු ආනයනය කිරීමේ අපහසුතාවලට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී තිබිණි. මෙම සංචාරය සඳහා අනතුරුව ගල්අඟුරු ආනයනය සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය බොහෝ විට සිදුකර ඇත්තේ JF Tours ආයතනයේ මැදිහත්වීම සමඟය. ඇතැම් අවස්ථාවල දුම්රිය එන්ජින් නඩත්තුව සඳහා විශේෂඥයන්ද මෙරටට ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කර තිබේ. මේ වන විටත් රුපියල් මිලියන ගණනක ගල්අඟුරු තොග අතැතිව සංචාරය සඳහා අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් මෙම ආයතනය බලා සිටියි.
කෙසේ වෙතත් සමස්තයක් ලෙස මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා මෙම පෞද්ගලික ආයතනය ඉතා සහයෝගයෙන් සිදු කළ කටයුත්තක් බව අතීත තොරතුරු වාර්තා අධ්‍යයනයේදී පෙනී යයි. මීට අදාළ ගිවිසුම් වසර පහෙන් පහට යාවත්කාලීන කරමින් ඉදිරියට රැගෙන යාමට දෙපාර්ශ්වයම කටයුතු කර තිබේ. ඉන්ධන, සේවය, නඩත්තුව ඇතුළු සියල්ල වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමට අදාළ ආයතනය කටයුතු කර ඇත. මෙය දෙපාර්ශවයටම ජයග්‍රහණය අත්කළ ව්‍යාපෘතියක් බව ඉතා පැහැදිලිය.
එහෙත් විවිධ හේතු මත අවස්ථා කිහිපයකදී වසර කිහිපයක් ගිවිසුම් රහිතව, කල් ඇතිව මුදල් ගෙවා දුම්රිය වෙන් කරගැනීමට මෙම සංචාරක නියෝජිත ආයතනයට සිදුව ඇත. එවන් කාල පරාසයක් තුළදී සිදුවූ යම් ගැටලුවක් වර්තමාන බාධා කිරීම් පිටුපස වන බව කරුණු අධ්‍යයනයේදී පෙනී යයි. 2002 - 2009 අතර කාලයේදී, ගිවිසුම රහිතව මෙම දුම්රිය භාවිතය කල් ඇතිව මුදල් ගෙවමින් දුම්රිය වෙන් කරගැනීමට අදාළ ආයතනය කටයුතු කර ඇත. කෙසේ වෙතත් 2012 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව සංචාරක නියෝජිත ආයතනය වෙත දන්වා ඇත්තේ 2005 - 2008 අතර කාලය තුළ සිදු කරනු ලැබූ අලුත්වැඩියාවකට අදාළ රුපියල් මිලියන හයක බිල්පතක් ගෙවන ලෙසය. නමුත් අලුත්වැඩියාවලටද අදාළව වාරික ගෙවීම් සිදුකිරීම සහ මෙම වකවානුවේ ගිවිසුමක් නොවීමත් හේතුවෙන් අදාළ ගෙවීම සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුව මේ හා සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසීමක්ද දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකර ඇති බව කියැවේ. කෙසේ වෙතත් මෙය ප්‍රායෝගික නොවන තත්වයක් බව සියලු පාර්ශ්ව අවබෝධ කරගැනීමෙන් පසු අදාළ ඉල්ලීම යටපත්ව ගොස් තිබේ. එහෙත් 2020 වසරේදී නැවතත් මෙය කරළියට රැගෙන එමින්, මෙය නඩු කටයුත්තක් දක්වා ඉදිරියට රැගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි වාර්තා වේ. මේ වන විටත් අදාළ අධිකරණ කටයුතු සිදු කරන බැවින් ඒ හා සම්බන්ධව වාර්තා කළ නොහැකි තත්වයක් උද්ගතව ඇත.
කෙසේ වෙතත් වර්තමානයේදී වාෂ්ප දුම්රිය භාවිතය සඳහා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අනියමින් පවතින හේතුව මෙය බව JF Tours ආයතනයට දැන ගැනීමට ලැබුණු බව ඔවුහු පවසති. එහෙත් කිසි ලෙසකින්වත් මෙම හේතුව සාක්ෂි කොට ප්‍රතික්ෂේප කිරීමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකර නොමැති බවද සඳහන් කළ යුතුය. වර්තමාන නෛතික පසුබිම තුළ එවන් දෙයක් සිදු කිරීමට හැකියාවක් නොපවතින බවද බොහෝ දුරට පෙනී යයි.
එහෙත් මේ වන විට ඩීසල් එන්ජින් පමණක් ලබාදෙමින්, වාෂ්ප එන්ජිම ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තුළ විශාල බලපෑමක් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී තිබේ. මෙම සුවිශේෂී සංචාරකයන්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙන් බිඳවැටෙමින් පවතින තත්වයක් මේ වන විටත් නිර්මාණය වී ඇති බවද දැන ගැනීමට ලැබෙයි. මෙම දුම්රියලෝලීහු වාෂ්ප දුම්රියේ ගමන තමන්ගේ ජීවිතයට අභිමානයක් කොට සලකන්නෝ වෙති. ඔවුහු සිය දුම්රිය ගමන් වාර මෙන්ම ගමන් කළ දුම්රිය එන්ජින් පිළිබඳවද දත්ත සටහන් තබා ගන්නෝය. එවන් පසුබිමක කල් ඇතිව වෙන් කරගත් චාරිකාව අතරමග නතරවීම ඔවුන් බරපතළ තත්වයක් ලෙස සලකා සිටීම සම්බන්ධව පුදුම විය යුතු නැත.
අවසන් සතියේද මේ හා සම්බන්ධ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඒවාද මේ වනවිට නතර වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දුම්රිය ලබා ගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග වෙතද මේ වනවිට සංචාරක නියෝජිත ආයතනය ගමන් කර ඇති බව කියැවෙයි. ඒ ඔවුන් කැබිනට් අනුමැතිය සහිතව අත්සන් කරනු ලැබූ ගිවිසුම ප්‍රකාරවය. තවත් පසෙකින් නියෝජිත ආයතනයෙන් අතීත බිල්පතට මුදල් ලබා ගැනීමට 2020 පටන් දුම්රිය දෙපාර්තමේන්තුවද අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. කෙසේ වෙතත් මෙම සමස්ත ක්‍රියාවලියෙන් සිදුව ඇත්තේ මෙරටට තවත් මිලියන බිලියන ගණනක සංචාරක ආදායම් අහිමිවීම පමණි.
මෙම සංචාර සඳහා එක්වන්නේ ලොව සුපිරි ධනවතුන් වන අතර, ඔවුහු සුඛෝපභෝගී සංචාරකයෝ ලෙස හඳුන්වනු ලබති. මේ වන විට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නන් බොහෝ සුඛෝපභෝගී සංචාරකයන් නොවන අතර, සමස්තයක් ලෙස තනි තනිව සංචාරකයන් ලෙස රටට එකතු කරන ආදායම් ඉතා අවම මට්ටමක් ගෙන ඇති බව වාර්තා වේ. එවන් පසුබිමක මෙම දුම්රියලෝලී සංචාරකයන් විශාල මුදලක් රට තුළ සිය අවශ්‍යතා සඳහා වියදම් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. එබැවින් මෙය සංචාරක කර්මාන්තය විෂයෙහි බරපතළ පාඩුවකි.
තවත් පසෙකින් වාෂ්ප දුම්රියේ ශ්‍රී ලාංකික සන්නාමය බිඳ දැමීම ජාතික අපරාධයක් බව අවසානයේ සඳහන් කළ යුතුය. මෙය අනාගතයේදී පෙරටත් වඩා දියුණු තියුණු කරමින් ඉදිරියට රැගෙන යා යුතු ආකර්ශනීය සංකල්පයකි. දෙපාර්ශ්වයටම එකඟ විය හැකි නිසි ක්‍රමවේදයක් යටතේ දුම්රියේ සම්පූර්ණ නඩත්තුව පවා භාරගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීමට සංචාරක නියෝජිත ආයතනය සූදානමින් පසුවන බව ඔවුහු කියා සිටිති. එබැවින් මෙම ගැටලුව කඩිනමින් විසඳාලීම බලධාරීන්ගේ වගකීමකි.
• චමිඳු නිසල් ද සිල්වා