2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

යුගයක කටයුතු නිම කළ හැරී ජයවර්ධන සහ කෙන් බාලේන්ද්‍ර

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:03 126

අධිරාජ්‍යවාදී යුගයේ සිට අරගලකාරී ශ්‍රී ලංකාව දක්වා කර්මාන්ත හා ව්‍යාපාර අංශවල ඉහළින්ම නම සටහන් වූ විශිෂ්ට පුද්ගලයන් දෙදෙනකු පසුගිය සතියේ රටට අහිමි විය. ජයවර්ධනයන් හැරී යන අකුරු දෙකකින් සිය අනන්‍යතාව සලකුණු කරගැනීමට සමත්ව සිටියේය. බාලේන්ද්‍රයන්ද කෙන් යන හුරුබුහුටි නාමය ඉතිරි කොට තැබීය.

දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන මහතා තියුණු ව්‍යාපාරික ඥානයක් තිබුණු දක්ෂ ව්‍යවසායකයකු වූ අතර එයිට්කන් ස්පෙන්ස් සහ සිලෝන් ඩිස්ටිලරීස් සමාගම් ඉහළට ඔසවා තබන්නට පියවර ගත් බව සඳහන් කළ හැකිය. කන්දයියා බාලේන්ද්‍ර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකීය සභාපතිවරයාය. ලංකා බැංකුවේ සභාපති ධුරයද හෙබවීය. බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ සහ යුනියන් ඇෂුවරන්ස් හි සභාපති ධුරය ඉසිලූ හෙතෙම ලංකා වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවේ සහ දකුණු ආසියානු ඇව්රෝස් ආයෝජන අරමුදල් කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කළේය.

අසමසම පුද්ගලයන් දෙදෙනකු අතර තිබුණු එකම වෙනස හැරී ජයවර්ධන තමන්ගේ ව්‍යාපාරික ජාලයක් මෙහෙයවීම හා කෙන් බාලේන්ද්‍ර ඔහුට අයත් නැති ඔහුගේ නායකත්වය යටතේ දැවැන්ත ව්‍යාපාර සමූහයක් පාලනය කිරීමට සමත් වීම බව දැක්විය හැකිය. හැරී ජයවර්ධන මහතා ඔහුට ආවේණික ක්‍රමෝපාය අනුව දේශපාලන නායකයන් ඇසුරු කරමින් ගමන ඉදිරියට ගියේය. කෙන් බාලේන්ද්‍ර මහතා කළමනාකරුවකු වශයෙන් කොටස් හිමියන්ට සහ ලැයිස්තුගත සමාගම් ගණනාවක් ඔහු යටතේ තිබුණු බැවින් රෙගුලාසිවලට යටත්ව ක්‍රියා කළේය.

හැරී ජයවර්ධන ජාඇල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක දරුවෙකි. 1942 අගෝස්තු 17 උපත ලැබූ ඔහුගේ බාල කාලය ගැන කතා නොකෙරේ. පාසල් අධ්‍යාපනයෙන් පසු තේ ටේස්ටවරයකු ලෙස බ්‍රිතාන්‍ය සමාගමකට බැඳුණු බව ප්‍රකාශ වේ. එහිදී තමන්ට පළමුවෙන්ම තේ කෝප්ප සෝදන්නට සිදුවූ අතර එය නියම කළ අතර එය කැමැත්තෙන් කරන්නේද යන්න ඔවුන් බලා සිටි බව පසු කාලයක ප්‍රසිද්ධියේ පවසා තිබේ. නියම කරන ලද කාර්යය හොඳින් අවසන් කළ අතර එය විජාතික පාලකයන්ගේ ප්‍රශංසාවට හේතු වී තිබුණි. තරුණ අවධිය මිහිරි නැති බව නොයෙක් විට හෙතෙම සඳහන් කර ඇත. නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙන කාලයේ ඔහු තේ කර්මාන්තයේ පසුබිම දන්නා නැගී එන ව්‍යාපාරිකයෙකි. බ්‍රිතාන්‍ය සමාගමෙන් ඉවත්ව එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ කොන්සොල් එක්පෝහි ප්‍රධානියා වශයෙන් වගකීම භාරගෙන කටයුතු කළේය. කියුබාව සමඟ අත්සන් කරන ගිවිසුමක් අනුව තේ අපනයනය කරන අවස්ථාව අත්පත් කරගත් රාජ්‍ය ව්‍යවසායක් විය. 1977 වසර වන විට ඔහුටම අයත් ස්ටෙසන් එක්ස්පෝර්ට් යන කුඩා සමාගම පළමුවෙන් පිහිටුවාගෙන ඇත. තේ සහ වියළි පොල් අපනයනය කළ අතර එය විශාල ව්‍යාපාර ජාලයකට පදනම සකස් කළේය. 2008 වසර වන විට ඔහු ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා සේ ශ්‍රේණිගත කිරීම තුළ ව්‍යාපාර පසුබිම මැනවින් හඳුනාගත හැකිය.

හැරී ජයවර්ධන ව්‍යාපාර ක්‍රමයෙන් විහිදුවන අතර එයිට්කන් ස්පෙන්ස්, ඩිස්ටිලරිස්, ලංකා මිල්ක් ෆුඩ්, මඩොල්සිම හා බලංගොඩ යන වැවිලි සමාගම්, බ්‍රවුන්ස් බීච්, එයිට්කන්ස් හොටෙල්, කන්ඩලම, හෙරිටෙනස් ටී ෆැක්ටරි හොටෙල් ඇතුළු ව්‍යාපාර එයින් කොටසකි. හැරීගේ දක්ෂතාවය දේශපාලන භේදයෙන් තොරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් ප්‍රයෝජනයට ගෙන තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් සංස්ථාව, කොළඹ කොටස් වෙළෙඳපොළ හෙතෙම සභාපති ධුරය හෙබවූ ප්‍රධාන ස්ථානයන්ය. ජාත්‍යන්තර වෙළෙඳාම හා විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද රජයට උපදේශකයකු වශයෙන් ක්‍රියා කර තිබේ. එක් අවස්ථාවක මෙරට ප්‍රධාන බැංකු ගණනාවක ප්‍රධානතම කොටස් හිමියා වශයෙන් පෙනී සිටි ජයවර්ධන මහතා මෙරට සමාගමක් ෆෝබ්ස් සඟරාව ශ්‍රේණිගත කරන ලද පළමු අවස්ථාවටද හිමිකම් කියන්නෙකි. ඔහුගේ එයිට්කන් හා ඩිස්ටිලර්ස් සමාගම් මෙලෙස දක්වන ලද ෆෝබ්ස් සඟරාව නැවතත් 2007 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන දෙසීය ඉක්මවන ලද සමාගමක් සේ ඔහුට අයත් ඩිස්ටිලරීස් ජාත්‍යන්තරයේදී ඔසවා තැබීය.

බිරිඳ ප්‍රියා සහ ස්ටැෂිනි දියණිය හා හසිත පුතා ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. ව්‍යාපාරික කටයුතුවලදී පවුලේ සාමාජිකයන් තරමක් පැත්තකින් තබන්නට සමත් වූ හෙතෙම පසු කාලයකදී දියණිය මනාපයක් දක්වා සිටි බැවින් පමණක් ඇයට සිය ව්‍යාපාර අධිරාජ්‍යයේ ගමන පෙන්වා දී තිබුණු බව දැක්වේ.

හැරී හා සමානවම කෙන් ද සාමාන්‍ය පවුලක දරුවෙකි. ඔහුගේ පසුබිම විවෘතව කතා කර තිබේ. දරුවන් හත් දෙනකුගේ පවුලක සාමාජිකයකු වූ බාලේන්ද්‍රන් මහතා බාල වියේදී කොල්ලුපිටියේ කුඩා නිවෙසක විසීය. කෙන් වෛද්‍යවරයකු වනු දැකීම කොළඹ නගර සභාවේ සේවය කළ පියාගේ උවමනාව වී තිබුණි. රාජකීය විද්‍යාලයේ ඉගෙනීම හැදෑරූ දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ කෙන් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් අසමත් වූ අතර හපුගස්තැන්න වතුයායේ නිලධාරියකු ලෙස පත්වීම් ලබා ඇත. ජීවිතය ජයගන්නට පමණක් නොව ජීවිතයේ හවුල්කාරිය සොයාගන්නට පදනමද මෙහිදී සිදුවී තිබේ. ඇය වෛද්‍යවරියකි. ඇය රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි ස්වෛරීය. සිංහල හා හින්දු චාරිත්‍ර දෙකම පවත්වන ලද විවාහයක් වූ එය මහත් උත්කර්ෂවත් අවස්ථාවකි.

වැවිලි සමාගමේ වසර හතක සේවයට පසු ජෝන් කීල්ස් සමාගමට ඉල්ලුම් පත්‍රයක් යොමුකර ඇති අතර එවකට සිටි යුරෝපීය පාලකයන් යටතේ තේ බ්‍රෝකර්වරයකු සේ පත්වීම ලබා තිබේ. 1980 දී ජෝන් කීල්ස් බ්‍රෝකර් සමාගමේ සභාපති පදවියට පත්ව ඇත. හෙතෙම ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස් හා ලංකා බැංකුව සභාපති වශයෙන් විශාල කාර්යභාරයක් මෙහෙයවා ලංකාවේ අංක එකට ගෙනැවිත් තැබීය. බාටා (ලංකා) සමාගමේ, කොමර්ෂල් බැංකුවේ සහ දකුණු ආසියානු කලාපීය අරමුදලේ විධායක නොවන අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කර ඇත. කොළඹ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති, අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානයේ ප්‍රධානී, ඩන්කන් වයිට් පදනමේ භාරකරු, ජෝර්ජ් කිට් කලා පදනමේ උප සභාපති වූ අතර සමාගම් ගණනාවක, ස්වේච්ඡා සංවිධානවල හා දෙස් විදෙස් ආයතනවලට සිය අත්දැකීම් නොමසුරුව පිරිනමන ලද දැවැන්ත චරිතයකි.

කෙන් බාලේන්ද්‍ර සහ ස්වෛරී යුවළට දරුවන් දෙදෙනෙකි. පුතා ක්‍රිෂාන්ය. හෙතෙම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති ධුරය හොබවයි. දියණිය ආචාර්ය නතාෂා බාලේන්ද්‍රය. ඇය කලක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වශයෙන්ද සේවය කළාය.

කෙන් බාලේන්ද්‍ර කිසිම අවස්ථාවක ඔහුගේ යටගියාව අමතක කළේ නැත. කුඩා නිවෙසක පියාගේ සුළු වැටුපෙන් ජීවත් වීමේදී මුහුණපෑ දුෂ්කරතා නොයෙක් අවස්ථාවල සඳහන් කර තිබේ.

මහා ව්‍යාපාර ජාලයකට නායකත්වය දෙන අතර ඔහු සමාජයේ සරණ හිමිවිය යුතු කොටස්වලට සිය ආධාරය නොඅඩුව සපයන්නට ඉදිරිපත් විය. 1998 වසරේදී එල්.එම්.ඩී. සඟරාව කෙන් බාලේන්ද්‍ර වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරන ලදී. පෝලන්තයේ මෙරට ගරු කොන්සාල්වරයා ලෙස සේවය කළ හෙතෙම 2007 දී එරට ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීය. 1998 දී ශ්‍රී ලංකා රජය දේශමාන්‍ය සම්මානය පිරිනමන ලද අතර නිදහසට පසු මෙරට ව්‍යාපාරික අංශයට වැඩිම බලපෑමක් කරන ලද අතිවිශිෂ්ට පුද්ගලයා ලෙස 2011 වසරේදී එල්.එම්.ඩී. සඟරාව පාඨක ඡන්දයෙන් තෝරා ගෞරවයට පාත්‍ර කළේය.

කෙන් බාලේන්ද්‍ර පෝලන්තයේ ගරු කොන්සල්වරයා වන විට හැරී ජයවර්ධන ඩෙන්මාර්කයේ ගරු කොන්සල්වරයා වශයෙන් සේවය කළේය. 2005 දී හැරී දේශමාන්‍ය සම්මානයෙන් පුදනු ලැබූ අතර එයින් වසර පහකට පසු ඩෙන්මාර්ක් රජය ඔහු නයිට්වරයකු සේ නම් කරන ලදී.

යුගයක් සරසවන ලද දැවැන්ත චරිත වශයෙන් හැරී සහ කෙන් යන විශිෂ්ටයන්ගේ අරමුණු, කටයුතු හා දැක්ම ඉතිහාසයේ ලියැවෙනු ඇත. නිදහස ලබන්නට කලින් ජන්ම ලාභය ලැබූ ඔවුහු නිවහල් යුගයක්, නිදහස් ආර්ථිකයක් ගොඩනගන්නට අප්‍රමාණ වෙහෙසකින් කටයුතු කළහ. දෙපැත්තකට දෙආකාරයකින් ගමන් කරන ලද හැරී හා කෙන්ගේ නායකත්ව යටතේ හැදී වැඩී ඉහළට පැමිණ පිරිස අති විශාලය. ඔවුන්ගේ සමාගම්වල රැකියාව කර ජීවත් වූ පිරිස ලක්ෂ ගණනකි. ශ්‍රී ලංකාව අද පවතින දියුණු තැනට පරිවර්තනය කරනු සඳහා පෞද්ගලික අංශයේ නායකයන්ට කළ හැකි කාර්යභාරය සම්බන්ධයෙන් හැරී හා කෙන් ඉහළින්ම දැක්විය හැකි අද්විතීය පුද්ගලයන්ය.

• සාරා කන්දෙගොඩ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05