සති කිහිපයක සිට මීදුමෙන් පිරී ගිය පරිසරයද, පරිසරයේ ඇති ශීත ස්වභාවයද උදෑසන කාලයේ මිනිස් සිත්වලට එක් කිරීමට සමත් වන්නේ සනීපවත් සුන්දරත්වයකි. මතුපිටින් සුන්දර මීදුමක් ලෙස දුටුවද මෙහි ඇති අභ්‍යන්තර කතාව සුන්දර වූවක් නොවේ. සැබවින්ම මේ දිනවල උදෑසන කාලයේ අපට දැකගත හැකි වන්නේ මීදුමක් නොව, ශ්‍රී ලංකා වායුගෝලයේ ඇතිවූ වායු දූෂණ තත්වයේ ප්‍රතිඵලයකි. වෙනදා මෙන් ඈත ඇති ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම සහ තරමක් අඳුරු අහස් කුසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුණ තත්ව පැවතීම නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් කොළඹ නගරයේ මේ තත්වය වැඩි වශයෙන් පවතින අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශවලද වායුගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝබර් 27 වැනි දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.
අප වටා ඇති හිස් අවකාශය වායුගෝලය ලෙස හඳුන්වන අතර මෙහි විවිධ වායු වර්ග පිරී පවතී. තවද වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ. ඒවා ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය, ජල චක්‍රය වශයෙන් හඳුනාගත හැකිය. මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරන අතර මේවාට අනුකූල නොවන ආකාරයට වායුගෝලයේ කොටස් නිදහස් කිරීම මෙන්ම, අමතර වායු, වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම මගින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳ වැටීම සිදුවේ. මෙය “වායුගෝලීය දූෂණය” ලෙස හඳුන්වන අතර මෙහි අහිතකර ප්‍රතිඵල ලෙස සෞඛ්‍යයට හානිදායක, පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා ස්වභාවික ක්‍රියාකාරීත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්ති නිදහස් කිරීම නිසා වාතයේ ගුණාත්මක තත්වය පිරිහීම සිදුවේ.
මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇත්තේද මෙම තත්වයයි. ශ්‍රී ලංකා වායුගෝලයේ ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් ඉහත කී පාරිසරික වෙනස්කම් දැකගත හැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැනීමේ මධ්‍යස්ථානවල දත්තවලට අනුව මේ දිනවල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා වී තිබේ. මෙහිදී වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර, අමෙරිකානු වායු තත්ව දර්ශකයට අනුව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ව දර්ශකය 100 - 150 අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව දේශය අප කළ විමසීමකදී, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, පාරිසරික නිරීක්ෂණ අංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ, එච්.ඩී. සරත් ප්‍රේමසිරි මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්වය ගත්තම රථවාහනවලින්, කර්මාන්ත ශාලාවලින් වායුගෝලයේ ගුණාත්මක මට්ටම අඩුවීම සිද්ධ වෙනවා. ඊට අමතරව මේ දිනවල තිබෙන කාලගුණ තත්වයත් සමඟ ඇතිවන සුළං නිසා පිටරටවලින් දූෂිත වායුව අපේ රටේ වායුගෝලයට ඇතුළුවීමත් සිද්ධ වෙනවා. මේ කාලයේ දකුණු ආසියාතික රටවල වායු දූෂණය ගොඩක් දුරට වැඩි වෙලා තිබෙනවා. ඒ වැඩිවීමත් සමඟ විවිධ රටවලින්, විවිධ ප්‍රදේශවලින් දූෂිත වායු ලංකාවටත් ඇතුළු වෙනවා. එහෙම එන දවස්වලට ලංකාවේ වායු දූෂණ මට්ටම ටිකක් ඉහළ යනවා. පසුගිය සති තුනේ සිට මේ දක්වා සිදු වී තිබෙන්නේත් මේ තත්ත්වයම තමයි. නාගරික ප්‍රදේශවල නම්, රථවාහනවල දුම් සහ වෙනත් අහිතකර වායු සමඟ පිටින් එන දූෂිත වායු එකතු වූ විට වායුගෝලයේ ගුණාත්මක තත්වය සැලකිය යුතු ලෙස පහළට වැටෙනවා. වායු දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම 100 - 150 අතර මට්ටමට වැඩි වෙලා තියෙනවා.”
ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළුවීම මගින් සිදුවන බලපෑමක් ලෙස දැනට පවතින තත්වය හඳුනාගත හැකිය. මෙරටට බලපා ඇති වායු දූෂණ තත්වයේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව අදහස් දක්වමින් තවදුරටත් සරත් ප්‍රේමසිරි මහතා පවසා සිටියේ, “මේ තත්වය පුද්ගල සෞඛ්‍යයට සාපේක්ෂව බලපාන්න පුළුවන්. ගොඩක් දුරට වයස අවුරුදු පහට අඩු කුඩා ළමයි, වැඩිහිටි පිරිස්, විවිධ සංකූලතා තියෙන පුද්ගලයන්ට වායු දූෂණ තත්වයෙන් යම් යම් බලපෑම් සිදුවෙන්න පුළුවන්. නමුත් මේ තත්වය බිය විය යුතු තරම් අවදානම් මට්ටමක තවම නැහැ.” යනුවෙනි.
නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා ඊසාන දිග මෝසම් කාලය තුළ විටින් විට මෙවැනි තත්ව ඇතිවීමේ හැකියාව පවතින බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම, වායුගෝලයේ අහිතකර මට්ටමේ තිව්‍රතාව තීරණය වන්නේ සුළඟේ දිශාව සහ පිටතින් පැමිණෙන දූෂිත වායු ප්‍රමාණය අනුව වීම විශේෂත්වයකි.
මෙම තත්වය ඉදිරි දින කිහිපයක් දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර කුඩා ළමුන්, වැඩිහිටි පිරිස්, ගර්භණී මාතාවන් හා ශ්වසන රෝගීන් වැනි සංවේදී පුද්ගල කණ්ඩායම්වලට යම් බලපෑමක් ඇතිවීමේ අවදානමක්ද පවතී. පවතින වායුගෝලීය තත්වය නිසා මෙම කණ්ඩායම්වලට හුස්ම ගැනීමේදී යම් අපහසුතාවයක් ඇතිවීමේ හැකියාව පවතී. සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීම කළ යුතු අතර ව්‍යායාම කිරීම, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයන්හි නිරත වීම අවම කිරීම යෝග්‍ය වේ. තවද යම් ශ්වසන අපහසුතාවක් ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
වර්තමානය වන විට විශාල වශයෙන් අවදානම් තත්වයක් නොපෙන්වුවද වායු දූෂණය යනු සුළු කොට සැලකිය යුත්තක් නොවේ. මෙමගින් අපවිත්‍ර වන්නේ අප හුස්ම ගන්නා වායුව වීම කනගාටුදායකය. වායුගෝලයේ ගුණාත්මක බව පහත හෙළන අහිතකර වායු ලෙස, දැව හා ඉන්ධන අර්ධ දහනයෙන් හටගන්නා “කාබන්මොනොක්සයිඩ්” වායුව ද, ඉන්ධන දහනය, පෙට්රල්, භූමිතෙල්, ගල්අඟුරු දහනයෙන් හටගන්නා හරිතාගාර වායුවක් වන “කාබන්ඩයොක්සයිඩ්” වායුව ද, ශ්වසන ආබාධ, අධික දුර්ගන්ධය, අම්ල වැසි ඇති කරන සල්ෆර්ඩයොක්සයිඩ්, නයිට්‍රජන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන්ඔක්සයිඩ් වැනි වායු වර්ග ද හඳුනාගත හැකිය. එමෙන්ම ඕසෝන් වියනට හානි කරන “ක්ලෝරොෆ්ලුරොකාබන්” වායුව ශීතකරණ හා වායුසමීකරණවලින් පරිසරයට එකතුවන අතර “කාබන්ටෙට්රාක්ලෝරයිඩ්”, “මෙතිල්බ්‍රෝමයිඩ්” යන වායුද ඕසෝන් වියනට හානි සිදු කරයි.
වායු දූෂණය හේතුවෙන් අම්ල වැසි ඇතිවීම, ඕසෝන් ස්ථරය ක්ෂය වීම, හරිතාගාර ආචරණය, ප්‍රකාශ රසායනික ධුමිකාව වැනි අහිතරකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවන බවද සිහි තබාගත යුතුය.
• මංගලා පවිත්‍රානි