දකුණුදිග වැල්ලේ ඩොලර් මලු හෙල්ලෙන්නේ අදක ඊයෙක නොවේ. ඒ අතරිනුත් මිරිස්ස වෙරළ තීරය යනු මෙරට සංචාරක කර්මාන්තයේ ඩොලර් උල්පතකි. රට වටකර මුහුද තිබුණත්, එකී මුහුදේ නිල් තල්මසුන් සහ ඩොල්ෆින් දැකිය හැකි හොඳම මුහුදු තීරයක හිමිකම් ලබන්නේ මිරිස්සය. මෙකී නිල් තල්මසුන්ගේ රැඟුම් බලන්නට දෙස් විදෙස් සංචාරකයන් මිරිස්ස වෙරළට එන්නේ වැල නොකැඩීය. එහිදී නිල් තල්මසුන් බලන්නට හැකියාව ඇත්තේද මුදල් ගෙවා ලබාගන්නා බෝට්ටු සේවයකිනි.
නිල් තල්මසුන්ගේ සෙල්ලම් අතරේ තවත් හොඳ සෙල්ලමකින් මිරිස්ස සංචාරක මුහුදු තීරය මේ වනවිට උණුසුම් වී තිබේ. එයට හේතු වී ඇත්තේ ටිකට් හුටපටයකි. තල්මසුන් නැරඹීමට මිරිස්ස වෙරළට පැමිණෙන විදේශිකයකු වෙනුවෙන් ඩොලර් 18.8 ක රුපියල් 6000 කට ආසන්න මුදලක් වනජීවිය අය කරයි. මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරැකීමේ සංගමයේ සභාපති රංගන මනෝජ් මහතා වනජීවියට චෝදනා කරනුයේ සංචාරකයන්ගෙන් ලබාගන්නා මුදලට ඔවුනට ටිකට්පතක් නිකුත් නොකරන බවයි. රංගන මනෝජ් මහතා එහිදී අනාවරණය කරන තවත් කාරණයක් වනුයේ විදේශිකයන්ගෙන් තනි තනිව මුදල් අය කළද වනජීවිය ටිකට් කඩන ආකාරයේ විනිවිදභාවයක් නොමැති බවයි. විදේශිකයන්ගෙන් වෙන වෙනම මුදල් අය කර පොදුවේ එක ටිකට්පතක් කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන බවත් එම ලබාදෙන ටිකට්පත් කැඩීමේදී වංචාවක් අවභාවිතයක් වන බවත් ඔහු පවසයි.
ඔහු මෙසේද කියයි.
“අපි ටිකට් 35 කට සල්ලි දුන්නාම වනජීවිය ඒ 35 ටම එක ටිකට් එකයි අපිට දෙන්නෙ. ඒකත් මැෂින් එකේ නිකන් ප්‍රින්ට් අවුට් එකක්. ඒවාගෙ ගණන් මිනුම් පස්සෙ වෙනස් වෙනවාද දන්නෙ නෑ. පහුගිය දෙසැම්බර් ජනවාරි මාසවල සංචාරකයන් 120-140 ක් විතර බෝට්ටුවකට පටවනවා.
ඒ 140 ට විදේශිකයකුට රුපියල් 6000 ක් ගන්නවා. ඒ 140 ට විදේශිකයො 90-95 යි. මෙරට සංචාරකයන් 30-35 යි. ඒත් බෝට්ටුවෙ ඉන්නවා විදේශිකයො 130 ක් විතර. ලංකාවෙ අය 10-12 යි. මේක ඇතැම් බෝට්ටු හිමියන් සහ වනජීවියේ ඇතැම් නිලධාරීන් එකතු වෙලා කරන වැඩක්. අපිට ඒවා අදාළ නෑ. මම කියන්නෙ මම මගේ සංචාරකයන්ට සම්පූර්ණ සල්ලි ගෙවනවා නම් මට ඒ ටිකට් ටික ඕනෑමයි. මට වෙන විකල්ප නෑ,” යැයි රංගන මහතා පවසයි.
රංගන මනෝජ්ගේ ප්‍රකාශයේ බරපතළ කාරණා කිහිපයක් මතු කරයි. එය සංචාරක කර්මාන්තය වැල් පාලමක යන්නා සේ පෙනෙන රටකට හානිදායක බව ඕනෑම පොඩි එකකුට වුවද පැහැදිලි වන්නකි. ටිකට් මුදල්වලින් වංචාවක් සිදුවනවා නම් එයින් විදේශීය ආකර්ශනයට කළු පැල්ලමක් එල්ල වනවා සේම රජයට කරන බරපතළ හානියකි. රජයේ මුදල් අවභාවිත කිරීමකි. මෙවැනි විශාල ප්‍රශ්න රැසක් මෙම ප්‍රකාශයෙන් මතුවෙයි.
අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී තල්මසුන් නැරඹීමේ යාත්‍රාවකට නිකුත් කරන පෝරමයක් අපට හමුවිය. එහි දිනය, යාත්‍රාවේ නම, ලියාපදිංචි අංකය, ප්‍රවේශ පත්‍ර අංකය, විදේශීය සහ දේශීය සංචාරකයන් ගණන (වැඩිහිටි, ළමා, කුඩා වශයෙන් වෙන වෙනම), යාත්‍රා හිමිකරුගේ නම, ගණනය කිරීම කළ වනජීවී නිලධාරියාගේ අත්සන, වරාය නිලධාරියාගේ අත්සන සහ අධීක්ෂක වනජීවී නිලධාරියාගේ අත්සන වශයෙන් සඳහන්ය. එය බෝට්ටුවකට දෙන බලපත්‍රයක් විනා පෞද්ගලිකව වෙන් කරන ටිකට්පතක් නොවන බව පැහැදිලිය. මේ කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අපට නැගුණු ප්‍රශ්න පත්‍රයක් අපි මිරිස්ස වනජීවී කාර්යාලයෙන් විමසුවෙමු. එහි මුල්ම ප්‍රශ්නය වශයෙන්, විදේශිකයන් වෙන වෙනම ගෙවීම් කරනවා නම් ඒ සඳහා වෙන වෙනම ටිකට්පත් නිකුත් කිරීමට බැරි ඇයි? යන ප්‍රශ්නය අපි යොමු කළෙමු. එයට පිළිතුරු දෙමින් මිරිස්ස වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී රවින්ද්‍ර කුමාර මහතා මෙසේ අදහස් දැක්වූවේය.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ නිසා අපට මාධ්‍යයට අදහස් දක්වන්න බෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමට අවස්ථාව උදා කර දී තියෙන්නෙ උදෑසන 5.30 ඉඳන් 7.30 දක්වා පැය දෙකක කාලයක් පමණයි. ඒ මොකද, ඒ වෙලාවෙන් පස්සෙ ගියාට තල්මසුන් බලන්න බෑ. ඊටපස්සෙ අව්ව වැටුණාම ගමන් කරන මගීන්ටත් අපහසුයි. උඩවලව, යාල වගේ තැන්වලත් මේ තල්මසුන් නැරඹීමට තියෙනවා. ඒත් මිරිස්සෙ මේ බලපත්‍රය නිකුත් කරන්නෙ දිනකට පැය දෙකක් ඇතුළතයි. තල්මසුන් බලන්න යන බෝට්ටුවක මගීන් 60 - 120 ක් අතර ප්‍රමාණයක පිරිසක් ගමන් කරනවා. බෝට්ටුවක සිටින මගීන් ප්‍රමාණයට ක්ෂීරපායී සතුන් නැරඹීමේ බලපත්‍රයක් විදිහට තමයි එක බෝට්ටුවකට එක ගාණේ අපි මෙම බලපත්‍රය නිකුත් කරන්නෙ. මේ දර්ශනය වන පැය දෙකට හත්සීයකට දාහකට ටිකට් කඩන්න අමාරුයි. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා පැය දෙක ඇතුළත ප්‍රමාද වුණාට හැමෝටම ටිකට්ටුවක් කඩා වෙරළ ආරක්ෂක කණ්ඩායම් සමඟ එක්වී ටිකට් පරීක්ෂාවක් කිරීමට,”යැයි රවින්ද්‍ර කුමාර මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ, මිරිස්ස සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට සහකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත් එම කමිටු වාර්තාවෙන් පසු තීරණය ප්‍රකාශයට පත් කරන බවත්ය.
මෙයින් කියැවෙන්නේ එක් සිද්ධියකි. රාජ්‍ය යාන්ත්‍රණයේ මහජන සම්බන්ධතාවය සම්බන්ධයෙන් කියැවෙන මෙවැනි අවස්ථාවක මෙහි ඇත්ත නැත්ත කිරා නොබලා තීරණ ගැනීමෙන් එය පොදු සමාජයටම බලපෑමක් කරයි. එය යම් අවස්ථාවක යුක්තිගරුක රාජ්‍ය සේවකයන්ට කරන අවමානයකි. එසේම මෙවැනි සිද්ධියකදී කොතැනක හෝ යම් වරදක් තිබේ නම් ඒවා කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී තරාතිරම නොබලා දඬුවම් දීම අත්‍යවශ්‍ය කරුණකි. මෙවැනි පැටලිලි කෝලාහල කවරාකාරවල අවසාන ප්‍රතිඵලය කුමක් වුවද එයින් මෙරට සංචාරක කර්මාන්තයට හානියක් නොවීමට වගබලා ගැනීම වටී. එය මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යහපත් බලපෑමක් කරනු ඇත.
• සසංක චලන ගිම්හාන