ලංකා ඉතිහාසයේ ලොකුම පොලිස් පුටු මාරු කිරීම මේ වනවිට වේදිකාවේ රඟ දක්වමින් ඇත. සීනියර් ඩීඅයිජීගේ සිට ඕඅයිසී දක්වාත්, ඉන් පහළටත් හෝසෙට පුටු මාරු කරමින් සිටින්නේ ගිනස් වාර්තාවක් තැබීමක් ලෙසය. පොලිසිය ප්‍රතිව්‍යුහගත කරමින් අලුත් මුහුණු පරණ පුටුවලට හඳුන්වා දෙමින් පොලිසිය කාර්යක්ෂම කිරීම නව රජයේ වැඩපිළිවෙළ වී ඇති නිසා මෙම මාරුවීම් ශීඝ්‍රගාමී ලෙස සිදුවෙමින් පවතී.
මේ සියල්ල සිදුවන විට පසුගිය සතියේ අපූරු පුවතක් පොලිසියෙන් වාර්තා විය. එනම් ගල්කිස්ස පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු තම සේවා ටී56 ගිනිඅවිය සහ උණ්ඩ 30 ක් සමඟ අතුරුදන් වීමයි. එම පොලිස් නිලධාරියා එම ගිනි අවියත් උණ්ඩත් රැගෙන මහා පාතාල ගින්නක් පත්තුවන බඩෝවිට ප්‍රදේශයට ගොස් එතැනින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඩුබායි රාජ්‍යය බලා පිටත් වූ බව පසුව වාර්තා විය. කෙසේ වෙතත් කොස්තාපල්වරයා ගිනිඅවිය රැගෙන විදෙස්ගත විය නොහැකි නිසා නියත වශයෙන්ම එය බඩෝවිට ප්‍රදේශයේ සඟවන්නට ඇතැයි බැලූ බැල්මට පෙනෙන දෙයකි. ඒ අනුව පසුව අනාවරණය වූයේ අදාළ ගිනිඅවිය බඩෝවිට අසංකගේ කල්ලියට ලබා දී ඇති බවයි. මෙය පුදුමසහගත සිදුවීමක් වුවත් මහජන ආරක්ෂාව සලසන ආයතනයක සිදු නොවිය යුතු දෙයකි.
ඉහත කී සිදුවීමට අමතරව මේ රටේ ශ්‍රී ලංකා පොලිසිය මෑත කාලයේ විශාල වශයෙන් පාතාලය සමඟ දීග කන සිදුවීම් රැසක් අනාවරණය විය. 2020 වසරේ නාකොටික් නිලධාරීන් 16 දෙනකු අත්අඩංගුවට පත්වීම, හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට කොස්තාපල්වරයකු උදව් කිරීම, වීරකැටියේ පංච පුද්ගල ඝාතනයට පොලිස් පරීක්ෂකවරයකු කොටුවීම, ඇල්ටෝ ධර්මේ නැමති අපරාධකරුවන්ගෙන් මුදල් ගත් පොලිස් නිලධාරීන්, රත්මලානේ රොහා ඝාතනයට කොන්ත්‍රාත් ගැනීම් වැනි අපරාධ රැසක් සිදු කිරීමට පාතාලයට ඍජුව උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මේ සියල්ල සිදුවෙමින් පවතින මොහොතේ පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 17 දෙනකු සම්පූර්ණයෙන් සේවයෙන් ඉවත් කර ඇති බවත් තවත් පිරිසක් හඳුනාගෙන ඇති බවත්ය. එපමණක් නොව, පාතාලයේ කොන්ත්‍රාත් මත තොරතුරු දුන් සහ ඝාතනවලට ඍජුව හවුල් පොලිස් නිලධාරීන්ද මේ වන විට අනාවරණය වී ඇත. එවන් භයානක තත්ත්වයක් හමුවේ රටක් ලෙස සාමකාමී රාජ්‍යයකට වඩා බිහිවෙමින් ඇත්තේ අපරාධ රාජ්‍යයක් පමණක් බව අමුතුවෙන් කිව යුතු නැත.
2020 වසරේදී මින්නේරිය හමුදා කඳවුරෙන් ගිනිඅවි 72ක් පන්නා ගෙනැවිත් දුන්නේද පාතාලයට මිස කොස් කොටන්නට නොවේ. එතැන් පටන් තැන් තැන්වල බල්ලෝ බළලුන් සේ මිනිස්සු මහ මග නිරපරාදේ ඝාතනය වූයේ පාතාලයේම වරදින් පමණක් නොව ආරක්ෂක අංශයේ ඇතැම් දූෂිත පොලිස් නිලධාරින්ගේද වරදින්ය. කුඩු කෑ උන් පමණක් නොව කුඩු ගහන උන්ද සුළුතරයක් සේවයේ නියුතු මේ ආරක්ෂක අංශවල සාමාජිකයන් නිසා සමස්ත රටම අනතුරකට පත් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙකී නිලධාරීන් නිසා නීතිගරුක ලෙස සේවය කරන පොලිස් නිලධාරීන්ගේ ජීවිතද දැඩි අවදානමකට ලක්ව ඇති බව කිවයුතුය. පරීක්ෂණ කණ්ඩායම් සමඟ කරට කර සිටින ඇතැම් දූෂිතයන් මෙම පරීක්ෂණවල තොරතුරු ක්ෂණයකින් ඩුබායිවලට ලබා දෙන්නේ රටම කා දමා විනාශ කිරීමේ පාපයට කර තබමිනි. මේ හේතුවෙන් ඍජුව වැඩ කරන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සැබෑ ලෙසම මෙම දූෂිතයන් නිසා තර්ජනයට ලක් වී තිබේ.
පොලිසිය ප්‍රතිව්‍යුහගත කරමින්, ඔළුගෙඩි මාරු කරමින් ආණ්ඩුව හෝ එකී අමාත්‍යංශය ගුණාත්මක පොලිස් සේවයක් රටට ලබා දීමට බලාපොරොත්තු වන්නේ නම් එය විහිළුවකි. එනම් අභ්‍යන්තරය පුරාම පිළිකාවක් ලෙස පැතිර යන මෙම පොලිස් නිලධාරීන් සහ පාතාලය අතර ඇති අවියෝජනීය සම්බන්ධය එම ඔළුගෙඩි මාරුවලින් වෙනස් කිරීමට හැකියාවක් නැත. කුඩු කෑ පොලිස් නිලධාරීන්ට පාතාලයන් අම්මා අප්පා නැතිවෙන්න බැණ වැදුණු හැටි අපි අසා ඇත්තෙමු. එක් පොලිස් නිලධාරියකුට “ඕයි තමුසෙගේ ගෑනි දෙනවා ඔයිට වඩා හොඳයි” කී විට කාකි ඇඳුමට සහ පිරිමිකමට නිග්‍රහ කරමින් “අනේ බං මං ගැන වැරදියට හිතන්න එපා, උඹලට වැරැද්දක් කළේ නෑ මං” කියමින් බැගෑපත් වු අයුරු අපට මතකය. එහෙත් එවැනි තක්කඩි පොලිස් නිලධාරීන් වෙනුවෙන් ගත් පියවර කුමක්ද යන්න අදටත් ප්රශ්නයකි. එසේ කිරීමටද හැකියාවක් නැත. ඒ උන් එක්කම මහ උන්දැලාද කුඩු කෑ බැවිනි. ඒ නිසා නැවත නැවත කීමට ඇත්තේ ඔළුගෙඩි මාරුවෙන් හොඳ පොලිස් සේවයක් බිහි කිරීමට කිසි දින හැකි නොවනු ඇත. ඒ සඳහා කළ යුත්තේ අභ්‍යන්තර ආරක්ෂාව තර කර ගැනීමය. යට ගිය අපරාධ සොයනවා හා සමානවම පොලිසියේ ලොකු ලොක්කන් කෑ හැටි සෙවීමට කටයුතු කළහොත් පහළ සිටින පුංචි පැංචන් සියල්ල අතහැර පලා යනු ඇත.
ලියුම්කරුට මෑතක හඬ පටයක් අසන්නට ලැබිණි. ඒ බඩෝවිට අසංක විසින් ඩුබායි රාජ්‍යයේම සිටින අයකුට සිදු කළ තර්ජනයකි. එහිදී අසංක පැවසුවේ “ලංකාවට ගියොත් නියත වශයෙන්ම ඝාතනය කරනවා” යනුවෙනි. අසංකලා වැනි පාතාලයේ හාල් කෑලි සමාජයටම එලෙස තර්ජනයක් වී ඇත්තේ පාතාලය පමණක් නොව දූෂිත නිලධාරීන්ගේද වරද හේතුවෙනි. එවැනි අපරාධකරුවන් රටින් පැන යන තෙක් අත් බැඳ සිටි ඇතැම් නිලධාරීන් දැන් විමර්ශන සිදු කරන්නේ නින්දෙන් ඇහැරුණා හා සමානවය. ඩුබායි පැනගත් බහුතරයක් ගියේ ගුවන් තොටුපොළ හරහා මිස තටු ගසා අහසින් නොවේ. කුඩු අල්ලන්න අල්ලන්න කුඩු ආවේ මුහුදෙන් සහ ගුවනින් මිස වෙන කොහෙන්වත් නොවේ. ඊට හොඳම උදාහරණය නම් මේ දිනවල කොකේන් කෑල්ලක වටිනාකම 50000 ඉක්මවීමයි. බඩු කොහෙවත් ගන්නට නැත. ඇයි?වරායේ පවතින ගැටලුව සහ ගුවන් තොටුපොළේ හදිසි වෙනස්වීම හේතුවෙනි. දැන් බඩු ගෙන්වීමට බය නිසා කොකේන් සොයාගන්නට නැත. එසේ නම් පැහැදිලි අවුල ඇත්තේ කොතැනද යන්න ඔබට වැටෙහනු ඇත.
එසේම පාතාලයේ එකිනෙකා මරාගන්නේද එල්ටීටීඊ හෝ කුඩු තොග අස්සේ පැමිණි ගිනිඅවිවලින් පමණක් නොවේ. ආරක්ෂක අංශයේම ගිනිඅවිවලිනි. ඇතැම් වෙඩික්කරුවන් ආවේද කඳවුරු තුළින්මය. එවන් මොහොතක ජාතික ආරක්ෂාවට හිමි තැන පිළිබඳ ප්‍රශ්නයක් ඇත. එපමණක් නොව, අපරාධ රාජ්‍යයක් බිහිවීමේ ඉඩකඩද එලෙසම පවතී. එසේ නම් පොලිසිය දැන් බේරාගත යුත්තේ කාගෙන්වත් නොව පොලිසියෙන්මය. දේශපාලන ප්‍රතිපත්ති සහ පරණ කෝන්තර මත මාරුවීම් කරන්නේ නම් එකක් මතක තියාගත යුතුය. ඒ “කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවේ” යන්නයි.
• ගයාන් ගාල්ලගේ