2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

“ඇතුළෙ වෙඩි තියනවෝ ගනේමුල්ල සංජීව පැන්නෝ”

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:02 233
  • රිවෝල්වරය හංගන් ආවේ දණ්ඩ නීති සංග්‍රහයේ
  • උසාවියෙන් පැන්න ඝාතකයා යතුරුපැදියකින් වෑන් රථයකට මාරුවෙයි
  • පාලාවිය මුරපොළේදී ඇසූ ප්‍රශ්නවලට හරි උත්තර දීගන්න බැරිවුණා
  • වාර ගණනක් නම වෙනස් කරලා
  • මියගිය සංජීව මිනීමැරුම් 16 ක සැකකරුවෙක්

අලු‍ත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය පසුගිය බදාදා ඉතාම කාර්යබහුල දිනයක් විය. එපමණක් නොව එදින අධිකරණ සංකීර්ණයම ඉතාම කාර්යබහුල දිනයකි. ඒ එදින නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වෙමින් තිබීමය. එසේම නඩු රැසක් විභාග වෙමින් පැවතිණි. අලු‍ත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළට දරුණු ගණයේ අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව, එසේත් නොමැති නම් මාංකිලන්ගමුවේ සංජීව බූස්ස අධි ආරක්ෂිත රැඳවුම් භාරයේ සිට ඝාතන නඩුවකට අදාළව කැඳවා තිබුණි. ඒ අංක 9 ට අදාළ නඩුවක් සහ අංක 5 විභාග වෙමින් තිබූ නඩු දෙකක් සඳහාය.

පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ උපරිම ආරක්ෂාව යටතේ රැගෙන ආ ගණේමුල්ල සංජීව විත්ති කූඩුවට නැග්ගුවේ නඩුව කැඳවීමත් සමඟය. ඒත් සමඟ විත්ති කූඩුවත් මහේස්ත්‍රාත්වරයාත් ඉදිරිපිට නීතිඥවරුන් වාඩිවී සිටින මේසයෙන් එක් නීතිඥවරයකු නැගිට ගණේමුල්ල සංජීව අසලට පැමිණ තමන් සන්තකයේ සඟවා තිබූ රිවෝල්වරය ගෙන ඔහුට එකදිගට වෙඩි තබන්නට ගත්තේ අධිකරණ ශාලාවම තුස්නිම්භූත කරමිනි. එම වෙඩි තැබීමත් සමඟ අධිකරණ ශාලාව තුළ සිටි පිරිස් හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර වෙඩි තැබූ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු රිවෝල්වරය ඒ අසලම දමා අධිකරණ ශාලාවෙන් එළියට පැමිණ “ගණේමුල්ල සංජීව පැන්නෝ, ඇතුළේ වෙඩි තියනවෝ”‍ යනුවෙන් කෑගසා අධිකරණ භූමියෙන් ඉතාම ආරක්ෂිත ලෙස පිටව ගියේය.

මහා අපරාධ රැල්ලක සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහා පුරුකක් වන ගණේමුල්ල සංජීවගේ පපුවට වැදුණු වෙඩි පහර කිහිපයත් සමඟ ඔහු කපා දැමූ කෙහෙල් කඳක් සේ විත්තිකූඩුව තුළ ඇද වැටී සිටින අයුරු බොහෝ දෙනාට දැකගත හැකිවිය. ඇස් විවෘතව මරණය සමඟ පොර බඳිමින් සිටි සංජීව එලෙස බිම වැටී සිටියත් එකවර ඔහුව ඔසවාගෙන රෝහල වෙත ගෙන යාමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ඒ වන විටත් අධිකරණ ශාලාවේ ආරක්ෂක අංශ තිගැස්සී බිය වී සිටියේය. මඳ වේලාවකට පසුව සංජීව ඔසවාගෙන ගොස් ඩිෆෙන්ඩර් රථයක දමා ජාතික රෝහල වෙත රැගෙන ගියේය.

එම වෙඩි තැබීමත් සමඟ අධිකරණ සංකීර්ණය සම්පූර්ණයෙන් වසා දමා පොලිසිය එහි පරීක්ෂා කිරීම් ආරම්භ කළේය. එසේ පරීක්ෂා කරන විට නීතිඥවරුන් අසුන්ගෙන සිටි මේසය උඩ රිවෝල්වරයක් සැඟවිය හැකි ආකාරයට කපා මැද හාරා තිබූ ඉංග්‍රීසි දණ්ඩ නීති සංග්‍රහ පොතක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව එම පොත පරීක්ෂා කරන විට පොලිසියට අනාවරණය වූයේ වෙඩික්කරු අදාළ ගිනි අවිය එම දණ්ඩ නීති සංග්‍රහ පොතේ සඟවාගෙන පැමිණ ඇති බවය.

අනතුරුව පරීක්ෂණ කණ්ඩායම් අධිකරණයේ සීසීටීවී පරීක්ෂා කළේ සැකකරු හඳුනා ගැනීමේ අරමුණෙනි. අධිකරණ භූමියට සැකකරු එන බවත්, සැකකරුට වෙනත් නීතිඥ වෙස්ගත් කාන්තාවක විසින් ගිනි අවිය අඩංගු දණ්ඩ නීති සංග්‍රහ පොත ලබාදෙන බවත් එහිදී අනාවරණය විය. නීතිඥ වෙස්ගත් මෙම දෙදෙනා මෙම ගිනි අවිය රැගෙන ඒම සඳහා පමණක් අරමුණ ඇතිව මෙම වෙස්වලා ගැනීම සිදුකර ඇති බව ඒ අනුව පොලිසියට පැහැදිලි විය. එනම් අධිකරණයට ඇතුළු වන තැන අනෙකුත් සියලු දෙනා පරීක්ෂා කළත් නීතිඥවරුන් පරීක්ෂා නොකරන බව අපරාධකරුවන් දැනගෙන ඒ හරහා ප්‍රයෝජන ගත් බව මේ අනුව පැහැදිලි විය. ඒ අනුව වහාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කෙරිණි.

මෙය අධිකරණය තුළ පුද්ගල ඝාතන සිදුවූ පළමු අවස්ථාව නොවේ. මීට පෙර කිහිප අවස්ථාවකදීම එවැනි ඝාතන රැසක් මහ දවාලේ සිදුවිය. එහෙත් මේ ආකාරයේ සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් සැකකරු හඳුනා ගැනීමෙන් පසුව විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. සැකකරු උසාවියෙන් පැමිණ යතුරුපැදියක නැගී යන ආකාරයත්, ඉන් පසුව වෑන් රථයක නැගී පිටත් වන ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන් වී තිබුණි. ඒ අනුව පොලිසිය මාර්ග බාධක යෙදීමට කටයුතු කළේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාය.

පුත්තලම පාලාවිය ප්‍රදේශයේ එක්තරා මාර්ග බාධකයකදී සැකකරු පලාගිය මෝටර් රථය නවත්වා පොලිසිය පරීක්ෂා කිරීම් සිදු කළේය. වෑන් රථය නැවැත්වූ පසුව අදාළ සැකකරු පැවසුවේ තමන් නීතිඥයකු බවත්, මෝටර් සයිකලයක් මිලට ගන්නට පුත්තලමට යන බවත්ය. මේ ගැන සැක කළ පොලිස් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලට හරි උත්තර ලැබුණේ නැත. මෙම සැකකරු අලු‍ත්කඩේ සිදුවීමේ ප්‍රධාන සැකකරු බවට තහවුරු විය. සැකකරුගේ සන්තකයේ ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක්ද විය. එහි නම සඳහන් වූයේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යනුවෙනි. එහෙත් පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරු තමන්ගේ නම එය නොවන බව පවසා තිබිණි. ඔහුගේ නම ලෙස සඳහන් කර තිබුණේ මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙසයි. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් අනතුරුව ඔහුගේ සැබෑ නමත් ප්‍රචාරය කෙරිණි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹට රැගෙනවිත් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර කෙරිණි. එහෙත් සැකකරු සමඟ පැමිණි සැකකරුට උදව් උපකාර කළ කාන්‍තාව සොයා ගැනීමට ඒ වන විටත් නොහැකි විය. එම කාන්තාව නුගේගොඩ ප්‍රදේශයට පලාගිය බවට තොරතුරු හෙළි විය. ඇය ඉෂාරා සෙව්වන්දි වීරසිංහ ලෙස අනාවරණය කෙරිණි. පොලිසිය වහාම ඇගේ ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කරමින් ඇය සොයා ගැනීමට මහජන සහාය පැතීය. මුදල් ත්‍යාගයක් ලබා දෙන බවද සඳහන් කෙරිණි.
පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තහවුරු වුණේ මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරුත් කාන්තාවත් කඩුවෙල ප්‍රදේශයේ හෝටලයක සිට සැරසී පැමිණ ඇති බවයි. එසේ පැමිණ ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ, බටුවත්තේ චාමර, ජූඩ් ප්‍රියන්ත, කමාන්ඩෝ සලින්ත සහ දරුන් යන පාතාල කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත බව කියති. කෙසේ වෙතත් මේ සියලු‍ දෙනාම කාලයක් සංජීවගේ මිතුරන්ව සිටි අතර එහෙත් කාලයත් සමඟ ඔහු මොවුන් සමඟ ගැටුම් ඇති කරගැනීම මෙම ඝාතනයේ මූලික අරමුණ වී ඇතැයි පැවසේ. සංජීව විසින් කෙහෙල්බද්දර පද්මේගේ පියා වන කෙහෙල්බද්දර නොයෙල්ව ඝාතනය කළ අතර ඒ අනුව පද්මෙට එකී වාඩුව ගැනීම මූලික අරමුණ වී තිබුණි. එසේම අනෙක් පිරිසද සංජීවගෙන් බැට කෑ පිරිස වූහ. මේ සියලු‍ දෙනාම එකතුව සංජීව ඝාතනය සඳහා කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් වෙඩික්කරු වෙත ලබා දී තිබුණි. මූලික ගෙවීම ලක්ෂ දෙකක් විය.

කෙසේ වෙතත් මෙම ඝාතනය පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂා කිරීමේදී ඝාතකයාගේ නම වෙනත් නමක් බව නැවත තහවුරු විය. 1997 දී උපන් ඔහු දඹහේන පාර, මහරගම සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරචිචි ලෙස හඳුනා ගැනිණි. මොහු ව්‍යාජ නම් භාවිතයෙන් යුද හමුදාවට සහ කොමන්ඩෝ රෙජිමේන්තුවට දෙවතාවක් එක්ව සිට ඉන් පලා ගිය අයෙකි. බඩල්ගම පාතාලයෙත්, කොළඹ පාතාලයෙත් නාඳුනන තුවක්කුකරු වී සිට ඇත්තේ ඔහුය. ඔහු මේ වනවිට ඝාතන හයකට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනයෙන් පසුව සැකකරු ඉන්දියාවටත්, ඉන්දියාවෙන් ඩුබායි රාජ්‍යයටත් පැන යාමට සූදානම් වී සිටියද මෙවර වැඩේ ගැස්සී ගියේය.

ගණේමුල්ල සංජීව යනු මිනීමැරුම් 16 කට ඍජුව සම්බන්ධ අයෙකි. කෙටි කාලයක් තුළ බලය සහ අණසක පතුරවමින් මහා පොරක් වෙන්නට හැදූ සංජීව අවසානයේ ඝාතනය වූයේ සිතා ගැනීමටවත් නොහැකි මොහොතකය. 1978 දී උපන් සංජීව, 2007 වර්ෂයේදී කරළියට පැමිණ තිබුණේ පොඩි පොඩි කොල්ලකෑම් සිදු කරමිනි. සංජීව ඇතුළු පිරිස කායවර්ධනය කිරීම සඳහා නයිවල ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයකට යමින් සිටි අතර එතැන සිටි පිරිස සමඟ එක්ව මෙකී සුළු සුළු අපරාධ සිදු කළේය. 2010 සැප්තැම්බර් 27 වත්තල තෙළඟපාත ප්‍රදේශයේදී පෞද්ගලික බැංකුවට අයත් කෝටි හතක මුදලක් මංකොල්ලකෑම සිදු කළේ මෙකී සංජීවලා විසිනි. ඒ සඳහා ආමි සම්පත්, බිම්සර සහ වේයන්ගොඩ චාමර ඇතුළු පිරිසක් එක්වූහ. එම කොල්ලයෙන් පසුව පිරිස කොටුවූ අතර බන්ධනාගාරයේදී තවත් අයෙක් එම කල්ලියට එක්විය. ඒ බ්ලූමැන්ඩල් ප්‍රින්ස් කොලම්ගේ ගෝලයකු වන බ්ලූමැන්ඩල් සංඛය.

බ්ලු‍මැන්ඩල් සංඛ සමඟ එක්වූ සංජීව, කොළඹ පාතාලයේ අනෙක් කණ්ඩායම වන දෙමටගොඩ චමින්දට එරෙහිව අවි අමෝරමින් සිට ඇත්තේ කොළඹ පාතාලයේ රජ වෙන්නටය. 2012 වසරේදී දෙමටගොඩ මස් මඩුව අසලදී දෙමටගොඩ චමින්ද ඝාතනයට පැමිණෙමින් සිටියදී දෙමටගොඩ රුවන්ගෙන් වෙඩි කා මෙකී පිරිස පලා ගියහ. පසුව කාලයක් ඩුබායි රාජ්‍යයට පැනගත් සංජීව, නැවත කරළියට පැමිණියේ 2016 වසරේ දෙමටගොඩ හන්දියේදී චමින්ද ගමන්ගත් බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම සිදු කරමිනි. එතැනින් බන්ධනාගාරගත වූ සංජීව බන්ධනාගාරයේ සිට උදම්මිට සමරේ, වේයන්ගොඩ චාමර සහ කොස්ගොඩ තාරක ඇතුළු කණ්ඩායම සමඟ කටයුතු කළේය.

අනතුරුව සංජීව, කළු අජිත් යොදාගෙන ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනය කරන්නට උත්සාහ ගෙන තිබුණේ මේ අතරය. එක් වරක් ඔහුගේ ජීප් රථයට වෙඩි තැබුණු අතර තවත් විටෙක නිවසට පැන වෙඩි තැබීමට උත්සාහ කර තිබිණි. කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි පැට්ට මංජු ඇතුළු පිරිස ගිනිඅවි මග දමා පලා ගියේ දෙවැනි උත්සාහයද වැරදීම හේතුවෙනි. ඉන් පසුව තුන්වැනි වර උත්සාහ කළේ අවුරුදු උත්සවයකදී ඝාතනය කිරීමටය. තවත් විටෙක ඝාතනයට යාමට ගිනි අවිය දුන් මොහොතේ අත්අඩංගුවට ගත් අවස්ථාද විය. මෙලෙස සංජීව, ඔස්මන් ඝාතනයට සූදානම් වූයේ ගම්පහ ප්‍රදේශයේ මත්කුඩු සහ කප්පම් ගැනීමට එරෙහි වූ බැවිනි. ඒ අනුව ඇසටවත් නොදුටු ගම්පහ ඔස්මන්ව හතුරකු කර ගත්තේ එකී අවුල හේතුවෙනි.
සංජීව කෙතරම් චාරයක් නොමැති අපරාධකාරයකුදැයි කීමට හොඳම උදාහරණය නම් තමන්ගේ මිතුරන් වී සිටි උදම්මිට සමරේ සහ කළු අජිත් වෙඩි තබා ඝාතනය කළේද ඔහුය. ඊට අමතරව ඔහු, කාන්තාවන්, තරුණයන් අමු අමුවේ ඝාතනය කළේය. ඒ කිසිදු හේතුවක් නොමැතිවය.

පසු කලෙක ඉන්දියාවට පැනගත් සංජීව උත්සාහ කර තිබුණේ ඩුබායි රාජ්‍ය හරහා යුරෝපයට පනින්නටය. එහෙත් සංජීව අවසානයේ කොටුවිය. සංජීව බන්ධනාගාරගතව සිටියදීත් සිය ජාවාරම් කරගෙන ගියේය. ඔහුගේ මූලික අරමුණ වූයේ කෙසේ හෝ ඇප ලබාගෙන ලංකාවෙන් පැන ගැනීමය. එහෙත් සංජීව (ඩුබායි පැනීමට පෙර) පොලිස් ඇප ලබා ගෙදර ගියේ නීතිඥයන්ගේ ආරක්ෂක වළල්ලක් මැදය. එවැනි අපරාධකරුවකුට එවන් ආරක්ෂාවක් ලැබුණේ කෙසේද? ඒ සියල්ල දැන සිටියේද සංජීවය. සංජීව යනු කාලයක් ගම්පහ කප්පම් දේශපාලනයේ නමගිය දේශපාලනඥයකුගේද හිතවතෙකි.

එසේ අපරාධ සිදු කළ සංජීව ඝාතනය වූ පසුව අනේ අපොයි කීමට ඉඩක් නැත. සංජීව සිදු කළ අපරාධ එමටය. ඒ අනුව ඔහුගේ මරණය ස්වභාවධර්මය ලියා ඇත්තේ එලෙසය. ඔවුන් කළ අපරාධවල ඉරණම ලියැවීම ඇත්තේ ඔවුන් හරහාමය. එය නැවැත්වීමට සක්‍රයාටත් බැරිය. කෙසේ වෙතත් වෙඩික්කරු ලස්සන වූ පසුව කවි ගායනා ලියන අයටත්, සංජීව අයියා සිංහයකු යැයි කියන මල්ලිලාටත් අපිට කියන්න ඇත්තේ එක දෙයකි. පාතාලයෝ වීරයන් වන්නේ නැත. පාතලයෝ ආදර්ශමත් වන්නේ නැත. උන් අපරාධකාරයෝ මිස දේවදූතයන් වන්නේද නැත.

• ගයාන් ගාල්ලගේ