2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

කරටි කැඩෙන ටිකට් කඩන කොළඹ පාර්කින්

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:03 156

අපේ රටේ ප්‍රමුඛ වාණිජ නගරය ලෙස සැලකෙන්නේ කොළඹ නගරයයි.‍ මෙකී වාණිජ නගරයට රට වටෙන්ම වාහන දවස ගාණේ ගලා එයි. කොළඹ නගරයට දිනකට පැමිණෙන වාහන කළමනාකරණය දැඩි අසීරුතාවක් මතු කරයි. ඒ තරමට කොළඹ නගරයට වාහන පැමිණීම නගර සීමාවේ සීමිත ඉඩකඩ අසීමිත කරන්නකි. එසේ පැමිණෙන්නන්ගෙන් ප්‍රතිශතයක් පොදු ප්‍රවාහනය භාවිත කළද පෞද්ගලික වාහනවලින් පැමිණෙන්නෝද ඒ තරමටම සිටිති. එසේ පැමිණෙන්නන්ගේ වාහන නවතා තැබීමට රථගාල් ඇතත් ඒවා සමඟ ගනුදෙනු කිරීමේදී ජනතාවට සිදුවනුයේ දිය රෙද්දෙන් බෙල්ල කපා ගන්නවා වගේ වැඩකි.

කොළඹ නගර සීමාවේ රථගාල් විශාල ප්‍රමාණයක් තිබේ. මෙම රථගාල් ලබාදීම සිදු කරනුයේ කොළඹ මහ නගර සභාව විසින් රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ටෙන්ඩර් කැඳවමිනි. වසර 2 ක උපරිමයකට යටත්ව මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකෙරෙන අතර මෙම වසරේ මේ වනවිට නව ටෙන්ඩර් කැඳවීම සිදු කර අවසන් කර තිබේ. රථවාහන ගාල් පාලක පාලිකාවන් බඳවා ගැනීම සිදු කරනුයේ අයැදුම්පත් කැඳවීමකින් පසුව කෙරෙන සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගෙනය. මේ වනවිට කොළඹ මහ නගර සීමාවේ රථවාහන ගාල්වල පාලක පාලිකාවෝ 400 ක් පමණ සේවය කරති.

නාරාහේන්පිට, කොළඹ 07 නිදහස් මාවත, කොළඹ ජාතික රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, ගාලු‍මුවදොර ආදී ස්ථානවල පවත්වාගෙන යන රථගාල්වල විවිධාකාරයේ ගැටලු‍කාරී අවස්ථාවල අප්‍රියජනක අත්දැකීම් සම්බන්ධයෙන් මහජනතාවගේ චෝදනා දිනෙන් දිනම වැඩි වන්නට පටන්ගෙන තිබේ. බොහෝ දෙනා චෝදනා කරන්නේ මෙම රථගාල්වල පාලක පාලිකාවන් තමන්ට තර්ජනාත්මකව බැණ වදිමින්, සිය වාහනවලට හානි කරමින් හිතූ හිතූ ගාණට වැඩි මුදලක් අය කරන බවයි. ඇතැමුන් පරුෂ වචනයෙන් බැණ වදින බවත් තවත් සමහරු උල් පිහි වැනි ආයුධ සන්තකයේ තබා ගනිමින් මැරවරයන් ලෙස හැසිරෙන බවත් ජනතාව පෙන්වා දෙති. එමෙන්ම කොළඹ නගර සීමාවේ සමහර රථගාල්වල ටෙන්ඩර හිමිකාරිත්වය සංවිධානාත්මක කල්ලි නායකයන් සන්තකයේ පැවතියා යැයිද අනාවරණය වී තිබේ. ඔවුන්, ඔවුන්ගේ මැර බලය යොදා ගනිමින් මෙය ජාවාරමක් ලෙස නිදහසේ කරගෙන යන්නේ නීතියේ හිඩැස්වලින් සහ පොලිසියේ ඇස් වසා බවත් ජනතාව චෝදනා කරති.

එසේම තවත් උදාහරණයක් නම් කොළඹ 10 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයයි. එකී බෙත්තාරාම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවලදී එකී ප්‍රදේශයම අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක් වේ. එකී දිනවල දැඩි රථවාහන තදබදයක් පවතී. මෙම ක්‍රිකට් තරග පැවැත්වෙන කාලවකවානුවල ක්‍රීඩාංගණයට මෙම තරඟ නරඹන්නට පැමිණෙන්නන්ගේ වාහන නැවැත්වීමට නියමිත ස්ථානයක් නැත. නිශ්චිත රථගාල් ක්‍රමවේදයක් නැත. එහෙයින් බොහෝ අවස්ථාවල ක්‍රීඩාලෝලීන්ගේ වාහන නැවැත්වීම සිදු කරනුයේ මාලිගාවත්ත දුම්රිය නිවාස අංගණය ඉදිරිපිට මහා මාර්ගය දෙපැත්තේය. මාලිගාවත්ත දුම්රිය නිවාස අංගණය යනු රජයේ සහ පෞද්ගලික නිවාස හිමියන් වෙසෙන ස්ථානයකි. ලක්හිරු සෙවණ නිවාස පෙළ පිහිටා ඇත්තේද මෙම දුම්රිය නිවාස අංගණය අසලමය. එහෙත් ක්‍රීඩා තරග පැවැත්වෙන දිනවල දැකීමට හැකි සුලභ දසුනක් වනුයේ, ලක්හිරු නිවාස පෙළේ දාමරික ඇතැම් පිරිස් විසින් මෙම දුම්රිය නිවාස අංගණය පිහිටි බිමේ පෞද්ගලික නිවාස ආශ්‍රිතව එම නිවැසියන්ට හිරිහැරයක් වන ආකාරයට ක්‍රීඩාලෝලීන්ගේ වාහන බලෙන් නවතමින් වැඩි මුදලට ටිකට් කඩන ආකාරයයි.

මෙලෙස බාහිර පාර්ශ්වයක් විසින් වෙනත් නිවාස හිමියන්ගේ අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝණය කිරීම කනගාටුවට කරුණක් වුවද මේ සඳහා මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙය බෙත්තාරාම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා තරඟ පැවැත්වෙන සෑම දිනකම සිදුවන හිංසාකාරී පීඩාකාරී ක්‍රියාවකි. මාලිගාවත්ත දුම්රිය නිවාස අංගණයේ නිවැසියන්ට සිදුවන්නේ බාහිර දාමරිකයන් සමඟ මෙම ගැටලු‍ව හුදෙකලාව විසඳා ගැනීමටය. මෙම ප්‍රදේශය අයත් වනුයේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයටය. අවස්ථා ගණනාවකදී මෙම ගැටලු‍ව පොලිසිය දක්වාම දුර ගියද මේ සඳහා පැමිණිල්ලකදීවත් පොලිසියේත් මැදිහත්වීම අඩු බව දැකිය හැකි වන්නේ කවරාකාර සබඳතාවලටදැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු.

මේ එක් උදාහරණයක් පමණි. මෙවැනි උදාහරණ ඕනෑ තරම් පැවසිය හැකිය. කොළඹ ගාලු‍මුවදොරද පැවති තත්ත්වය මීට දෙවැනි නැත. ගාලු‍මුවදොරට පැමිණෙන විනෝද චාරිකා බස්රථවලින් මුදල් ගැරීමට ඇතැම් පිරිස් හුරු වී සිටි අතර කොළඹ නාගරික පොලිසිය මැදිහත් වී ගාලු‍මුවදොරට පැමිණෙන බස් රථ පිරිස බස්සවා වෙනත් ස්ථානයක ගාල් කරවීමට ලබා දුන් මැදිහත්වීම අගය නොකරම බැරිය. එහෙත් එහිද සාර්ථකත්වය සියයට සියයක්ම නැත. ඒ මන්ද යත් කුඩා දරුවන් රැගෙන මවුපියන්ට බොහෝ දුරක් බස් රථය දක්වා මහා මාර්ගයේ පා ගමනින් යෑමට සිදුවන බැවිනි.

මේ ආකාරයට මැර බලය උපයෝගී කරගෙන පෞද්ගලික ස්ථාන පවා අයිති කරගනිමින් කොළඹ මහ නගර සභා සීමාවේ සිදුවන මෙම ක්‍රියාදාම නැවැත්වීම සභා බලධාරීන්ගේ වගකීමයි. එහෙත් වර්තමානය වනවිට කොළඹ මහ නගර සභා සීමාවේ වාහන ගාල්වල සිදුවන අත්තනෝමතික ක්‍රියාදාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව ඒවාට විරුද්ධව ක්‍රියා කිරීමට බලධාරීන් පෙරමුණේ සිටීම ප්‍රශංසනීයය.
කොළඹ පාකින් ගාස්තු සම්බන්ධයෙන් කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ මේ වනවිට රථගාල් ටෙන්ඩර් කර අදාළ ආයතනවලට භාර දී තිබෙන බවයි. රථගාල් පාලනය සහ කළමනාකරණයේදී වාහනයක් නතර වූ සැණින් ගාස්තුවක් අය කිරීමට නීතියක් පනවා නොමැති බවත්, වාහනයක් නතර කර පළමු විනාඩි 10 නොමිලයේ වන අතර එකී කාලයේදී මුදල් අය කළ නොහැකි බවත්, වාහනය නැවතූ වෙලාව දමා රිසිට් පතක් පමණක් ලබා දීමට හැකි බවත් කොමසාරිස්වරයා පැවසුවේය.

පාලිත නානායක්කාර මහතා එහිදී මෙසේද පැවසුවේය.

“මුල් විනාඩි 10 ඇතුළත මුදල් ගෙවීමට කිසිදු අවශ්‍යතාවක් නෑ. විශේෂයෙන් කියන්න ඕනෑ වාහනය නතර කළ අවස්ථාවේ වෙලාව සඳහන් කරන්නම ඕනෑ. එකී රියැදුරා විනාඩි 10 ඇතුළත තම කාර්යය කරගෙන එම ස්ථානයෙන් පිටත් වෙනවා නම් ගාස්තු ගෙවන්න අවශ්‍ය නෑ. විනාඩි 10 ඉක්මවා ගියහොත් පැයකට රුපියල් 70 ක මුදලක් පමණක් අය කළ හැකියි. එයට වඩා මුදලක් අය කරන්න කිසිසේත්ම බෑ. පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී අයකිරීම් කරන්නේ නෑ. ඒ වගේම මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ගාස්තු අය කරන්නෙත් නෑ.

පාකින් ස්ථානවල ගාස්තු අය කරන්නන්ට කොළ වර්ණයෙන් යුතු ඒප්‍රනයක් දී තිබෙනවා. පාකින් ස්ථානවල සේවකයන් නිල ඇඳුමෙන් සැරසී සිටීම අනිවාර්යයි. විවිධ ඇඳුම්වලින් පැමිණ යමකු ගාස්තු අය කිරීමට උත්සාහ ගන්නවා නම් පාරිභෝගිකයාට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකියි.”

මේ ආකාරයට කොළඹ නගර සීමාවේ පාර්කින් විෂමාචාරවලින් තොර කලාප බවට පත් කිරීමට හැකි නම් එය ජනහිතකාමී වනු ඇත. ඒ සඳහා බලධාරීන්ගේ නොමඳ මැදිහත්වීම සහ නීත්‍යනුකූල බව වඩා වැදගත්ය.

• සසංක චලන ගිම්හාන