2025 මාර්තු 01 වන සෙනසුරාදා

දොස්තරලත් සටනට

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:05 53
මෙවර 2025 අයවැය මගින් ඉතිහාසයේ වැඩිම මුදලක් එනම් බිලියන 604ක් සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන්කර තිබුණද මෙවර සිදුකළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමේදී තමන්ගේ වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා තිබුණද වෛද්‍ය සේවයටම සුවිශේෂී වූ ඇතැම් දීමනා අඩුකර තිබීම ගැන වෛද්‍ය සංගම් ගණනාවක් වෙතින් නෝක්කාඩුවක් නැගී තිබුණි.
 
මේ සම්බන්ධව පැතිර ගිය ආන්දෝලනාත්මක කතාබහ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා සවස 5.00ට රැස්වීමක් කැඳවා තිබුණි.
එහිදී දැනට රට පත්ව ඇති ආර්ථික අපහසුතා ගැන කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ අතර වුවද වෛද්‍යවරුන් ඉදිරිපත් කර ඇති කාරණා පිළිබඳ නැවත සාකච්ඡා කර සහනදායී ප්‍රවේශයක් ලබා දීමට උත්සාහ දරන බව කියා තිබුණි.
රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබූ තත්ත්වයක අවස්ථාව තිබියදීත් රට හැර නොගොස් මෙම වෛද්‍යවරුන් කළ සුවිශේෂී කාර්යභාරය ගැන සලකා බලා සිය ඉල්ලීම් සම්බන්ධව කඩිනම් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් මෙහිදී ජනාධිපතිවරයා වෙත නැවත අවධාරණය කර තිබුණි.
 
මෙවර අයවැයෙන් කප්පාදුවට ලක්වූ වෛද්‍ය සේවයටම සුවිශේෂී අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින සේවයට ගෙවන දීමනා සම්බන්ධ යහපත් ප්‍රතිචාරයක් ලබා දීමටද, සිමාවාසික වෛද්‍යවරුන්ගේ දීමනාව යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන්ද, විශේෂඥ පුහුණුවට විදේශගත වන වෛද්‍යවරුන්ගේ ජීවන වියදම් දීමනාව සංශෝධනය කරන ලෙසද, තමන්ට මෙතෙක් හිමිව තිබූ ප්‍රවාහන හෙවත් ඩැට් දීමනාවේ සංශෝධන සහ රාජකාරියට අතිශය වැදගත් වූ වාහන බලපත්‍ර නැවත ලබාදීම සලකා බැලීම සම්බන්ධයෙන්ද, පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා ඉහළ දැමීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි සම්බන්ධ ගැටලු‍ විසඳීමට මැදිහත් වන ලෙසද ඔවුන් ඉල්ලා තිබුණි. මේ අවස්ථාවේ මේ කරුණු සම්බන්ධයෙන් යම් ගැටලු‍කාරී ස්වභාවයක් මතු වී තිබෙන බව සහ ඒ සඳහා සාධනීය පිළිතුරක් ලබාදීමට මැදිහත්වීමක් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුණි.
 
මේ කාරණා සම්බන්ධව නැවත වරක් සලකා බලා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට ඇති හැකියාව ගැන වෛද්‍යවරුන් දැනුවත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ අතර ඒ සම්බන්ධව ලැබෙන ප්‍රතිචාරය අනුව ඉදිරියේදී ලබන සතිය තුළ සිය මධ්‍යම කාරක සභාව රැස්වී ඒ වන විට ලැබෙන රජයේ ප්‍රතිචාරය අනුව සුදුසු තීන්දුවක් ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා තිබේ.
 
අයවැය 2025 හරහා යහපත් වැටුප් වැඩිවීමක් සිදුවුවද, වෛද්‍ය සේවයටම ආවේණික සහ සුවිශේෂී වූ අමතර රාජකාරි දීමනාවේ අගය අඩු කිරීමේ තීරණය වෛද්‍යවරුන් තුළ බරපතළ නොසන්සුන්තාවයක් ඇතිකර තිබුණි.
 
අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වූවකි. අයවැය වෙනස වනතුරු එම අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාළ ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක් විය. නමුත් මෙවර අයවැය හරහා එක්වරම එය මූලික වැටුපෙන් 1/120 දක්වා එනම් 50% කින් අඩු කර තිබුණි.  වෛද්‍යවරුන් තම සායනික රාජකාරීන්ට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර සිය සාමාන්‍ය රාජකාරි වෙලාවෙන් අමතරව අඛණ්ඩව දින 07ම පැය 24 පුරා රෝගී සත්කාර සේවා සපයන බව සංගමය පෙන්වා දී තිබුණි. ඒ වෙනුවෙන් ලැබෙන අමතර දීමනාව සියලු‍ම වෛද්‍යවරුන් වෙනුවෙන් ගෙවනු ලැබුවේ මාසික සහ දෛනික සීමාවක් සහිතව නිසා එහි ප්‍රමාණාත්මක අඩුවක් ඒ වන විටද පැවැතුණු බව ඔවුහු කියති.
 
තත්ත්වය එසේ තිබියදී අයවැය යෝජනාවක් මගින් එය තවත් සියයට 50කින් අඩුකිරීම ඔවුන් දුටුවේ වෛද්‍යවරුන්ගේ සේවය අවතක්සේරු කිරීමක් හැටියටය. තවද මෙම අඩුවීම සමඟ වෛද්‍ය වෘත්තිකයන් සහ අනෙක් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අතර නව වැටුප් විෂමතාවක් නිර්මාණය වීමද සිදුව ඇති බව ඔවුන් පෙන්වා දී තිබුණි. තවද මූලික වැටුපෙන් 1/20 අනුපාතයකට එතෙක් ගෙවන ලද නිවාඩු දින දීමනාව ද, 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. ඒ ක්‍රමය අනුව මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කෙතරම් ප්‍රමාණයක් තම සේවා ඉටු කළ ද, ගෙවීම සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණක් විය. මේ නිසා සිය වැටුපේ සැලකිය යුතු මූල්‍යමය ප්‍රමාණයක අහිමිවීමක් සිදුවන බව ඔවුහු කියති. මේ වන විටද සේවයට සරිලන නිසි වැටුපක් නැතිව විවිධ දුෂ්කරතා මැද සුවිශේෂී සේවයක් සැපයූ තමන්ගේ භූමිකාව ඒ අනුව අවතක්සේරුවට ලක්වූ බවද අනෙකුත් වෘත්තිකයන්ට සාපේක්ෂව යෝජිත වැටුප් වැඩිවීම මගින් ලැබිය යුතු වූ සැබෑ ප්‍රතිලාභය තමන්ට අහිමිවීමක් සිදුවන බවද ඔවුන්ගේ තර්කය වී තිබේ.
 
අයවැයට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානතම ඉල්ලීමක් බවට පත්වූයේ වෛද්‍යවරුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා කාල රාමුවක් සහිත නිසි වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් අයවැය ලේඛනය හරහා ප්‍රකාශයට පත්විය යුතු බවයි. එවන් කිසිදු නිශ්චිත යෝජනාවක් මෙවර අයවැය ලේඛනය තුළ අන්තර්ගතව නොතිබීමද ඔවුන්ගේ කනස්සල්ලට හේතු වී තිබූ කරුණකි.
 
වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛනයට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ප්‍රවාහන ගැටලු විසඳීම, සීමාවාසික වෛද්‍යවරුන්ගේ සහ විදෙස් පුහුණුව ලබන පශ්චාත් උපාධි අධ්‍යයන වෛද්‍යවරුන්ගේ මාසික දීමනා ඉහළ නැංවීම, නිල නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම ආදී තවත් යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබූ අතර, එහිදී ආර්ථික අර්බුදය හමුවේ වැඩියෙන්ම බලපෑමට ලක්වී ඇති නවක සහ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ගැටලු‍ කෙරෙහි අවධානය යොමුකරන ලෙසද ඉල්ලා තිබුණි. මේ අන්දමට වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග කිසිවක් කෙරේ මෙවර යෝජනා සැකසීමේදී අවධානය යොමුකර ඇති බවක් නොපෙනෙන බව සංගමයේ අදහස විය. ඔවුන් ජනාධිපතිවරයා සමඟ කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා තිබුණේ ඒ අනුවය. වෛද්‍ය සේවයට මෙතෙක් ලද ප්‍රතිලාභ සහ වරප්‍රසාද කප්පාදුව හමුවේ මතු වූ ගැටලු‍ විසඳීමට කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට වුවද යොමුවීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් යුතුව කලින් නිකුත් කර තිබූ නිවේදනයේ දක්වා තිබුණි.
 
• සුගත් පී. කුලතුංග ආරච්චි
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05