රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළේ නීරෝය. රටම ආර්ථික අර්බුදයක ගිලී තිබියදී තම ප්‍රතිරූප පුම්බා ගැනීමට මහජන මුදල් නාස්ති කළ අපේ නීරෝලා ගැන මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. පසුගිය පාලන සමයේ ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයා එහි මුදල් අනීතිකව වියදම් කරමින් වංචා හා දූෂණ සිදුකළ ආකාරය කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පසුගියදා අනාවරණ වී තිබේ. ඒ ජාතික තරුණසේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 2025 පෙබරවාරි 20 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව ජාතික තරුණසේවා සභාව සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගම 2024 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා රුපියල් මිලියන 535ක් විනාශ කර ඇතැයි අනාවරණ විය. එම අනාවරණයට අනුව ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී තිබිණි. එය කෝප් කමිටුවේදී තහවුරු වූ බැවින් මේ සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා කමිටුවට කැඳවා විමසීමට කෝප් කමිටුව පියවර ගත්තේය. වාර්තා වන අන්දමට එම මුදල්, වවුචර 50කට අධික ප්‍රමාණයකින් ස්මාර්ට් යූත් වැඩසටහනට භාණ්ඩ හා සේවා සැපයූ සැපයුම්කරුවන්ට කඩිමුඩියේ ගෙවීමට කටයුතු කර තිබිණි. එම කාලයේ ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ අංශයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන පසිඳු ගුණරත්නය.
කමිටුව හමුවේ ඔහු පැවසුවේ මෙම ගෙවීම් කළේ මාස 3 කට 4 කට පෙර පැවති වැඩසටහන් වෙනුවෙන් බවටය. එහෙත් තරුණසේවා සභාවේ නිලධාරීන් සඳහන් කළේ අදාළ දින සවස 2 සිට 5 කාලය ඇතුළත මෙම චෙක්පත් සහතික කර දෙන ලෙස හිටපු සභාපතිවරයා තමන්ට බලපෑම් කළ බවටය. ඔවුන් සභාපතිවරයාගේ දැඩි පීඩනය මත එම වවුචර් පත් සහතික කළ බවද පැහැදිලි විය.
ගණන් දීමේ නිලධාරියා වන සභාපතිවරයාගේ කාර්යාලයෙන් වවුචර් පත් ගිණුම් අංශයට ලබා දෙන බවත් ගණන් දීමේ නිලධාරියා අදාළ ගෙවීම් කරන ලෙසට නියෝග කළ විට තමන්ට එම වියදම සහතික කිරීමට සිදුවන බවත් එම නිලධාරීහු කියා සිටියහ. එසේ නොකළේ නම් තමන්ට මාරුවීම් ලබා දෙන බවද ඔවුහු සඳහන් කළහ.
ජනාධිපතිවරණයට පෙර දින තරුණසේවා සභාවට මිලියන 100ක පමණ මුදලක් ලැබුණු බවද හිටපු සභාපතිවරයා වවුචර් පත් 50ක් පමණ ගිණුම් අංශයේ නිලධාරීන් තිදෙනකුට ලබා දී බලපෑම් කර ඒවා සහතික කරගත් බවද ඔවුහු පැවසූහ.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කියා සිටියේ තරුණසේවා සභාව ජනතා මුදලින් මිලියන 188ක් ජනාධිපතිවරණයට පෙර දින අවභාවිත කර එය නිලධාරීන් පිට පැටවීමට කටයුතු කර ඇති බවත් අනුමැතියක් හෝ නොමැතිව ඇතැම් වැඩසටහන් සිදුකර ඇති බවත්ය.
එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සභාවේ අරමුණුවලටද අදාළ නොවන “දේශගුණික විපර්යාස මැඩලීම” නමින් වන වැඩසටහනකට මිලියන 1.19ක් වැය කර තිබිණි. එය හිටපු ජනාධිපතිවරයාට විපර්යාස මැඩලීමේ සමුළුවකට ඉදිරිපත් කළ යුතු ලියැවිල්ල සකස් කිරීම සඳහා පැවති සූම් සාකච්ඡාවක් සඳහාය. තරුණසේවා සභාව ගොඩනැගීමේ අරමුණුවලට සහමුලින්ම පරිබාහිර කාර්යයක් සිදු කිරීම සඳහා මහජන මුදල් කිසිදු නීතිමය ආවරණයකින් තොරව භාවිත කර ඇති බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව තරුණසේවා සභාව අවභාවිත කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 53ක් පමණ වේ.
නිලධාරීන්ට තමා බලපෑම් කළේ යැයි පැවසීම සම්බන්ධයෙන් තමා පුදුම වන බව හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළ ද කමිටුව පෙන්වා දුන්නේ හිටපු සභාපතිවරයා මෙහිදී බලපෑම් කළ බව තහවුරු වන බවටය. එම ගනුදෙනු අතර ඉතා අස්වාභාවික ගනුදෙනු ද සිදුව ඇති බවට සහ ටෙන්ඩර් පටිපාටිය නිසි ලෙස සිදුකර නොමැති බවද අනාවරණ විය. ඒ අනුව හිටපු සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි බවට සහ අත්තනෝමතික ලෙස කටයුතු කළ බවද සනාථ විය.
සංගීත ප්‍රසංග සඳහා ගිනිකෙළි සැපයීම, බැනර්, පෝස්ටර්, කටවුට් වැනි සැපයුම් ලබා ගැනීම සඳහා ජාතික තරුණසේවා සභාව යටතේම ඇති ශ්‍රී ලංකා යූත් සර්විසස් පෞද්ගලික සමාගම හරහා කටයුතු කර තිබේ. එම සමාගම තමන් බාහිර පාර්ශ්වයන්ගෙන් ඇනවුම් නොකළ හා සපයා නොගත් දේ සැපයූ බවට සාවද්‍ය ඉන්වොයිස් පිළියෙළ කරමින් සභාවෙන් වැඩිපුර රුපියල් හැත්තෑතුන් ලක්ෂ තිස්තුන්දහස් හාරසිය විසි දෙකක් ලබාගෙන තිබූ බවද අනාවරණ විය. ඒ සම්බන්ධයෙන් විගණනයක් ද පවත්වා ඇත.
එසේම තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පත් කර ඇත්තේ ද එම පත් කිරීම වෙනුවෙන් අවශ්‍ය අවම සුදුසුකම්වත් නොසලකමින් බවද අනාවරණ විය. නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පත් කිරීම සඳහා උපාධියක් පැවතීම අත්‍යවශ්‍ය බවයි. එහෙත් අදාළ පෞද්ගලික ලේකම්වරයාගෙන් එම සුදුසුකම් ඉල්ලා සිටි විට ඔහු ඒවා තහවුරු කිරීමට අසමත් වූ අතර පසුව එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. අදාළ පෞද්ගලික ලේකම්වරයා ද කෝප් කමිටුව පැමිණ සිටි හෙයින් ඔහුගෙන් කමිටුව මේ සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ එම කාලයේ තමන් උපාධිය හදාරමින් සිටි බවත් එය සම්පූර්ණ කර නොතිබුණු බවත්ය. ඔහු එම තනතුරෙන් ඉවත් වුවද ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වී සේවය කර ඇති බැව් මෙහිදී අනාවරණ විය. තවද පළාත් අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් නිලධාරීන්ද පෙන්වා දුන්නේ මෙම පුද්ගලයා ද විවිධ කටයුතුවලදී නිලධාරීන්ට බලපෑම් කළ බවයි.
තරුණසේවා සභාව විසින් සංවිධානය කළ ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානය යොමුවිය. ඒ සම්බන්ධයෙන් ද නිවැරදි ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් මෙම වැඩසටහන ද ක්‍රියාත්මක වී ඇති බව කමිටුවට අනාවරණය වූ අතර කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අවශ්‍යතාව මත මෙම සියලු කටයුතු සිදු වී ඇති බව පැහැදිලි වන බවයි. එසේම මෙහිදී සැපයුම්කරුවන් සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන්ද කමිටුව ප්‍රශ්න කළ අතර හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ තමන්ට ලිපි විශාල ප්‍රමාණයක් යොමු වූ බවත් ඒවා තමන් අදාළ අංශ වෙත යොමු කළ බවත්ය. එසේම මෙම වැඩසටහන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් වෙන් වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නමුත් මෙම ක්‍රියාවලිය අවිධිමත් ආකාරයෙන් සිදු වී ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව ප්‍රකාශ කළේය.
විවිධ වැඩසටහන් සම්බන්ධ ලිපිගොනු ගණනාවක් අතුරුදන්ව ඇතැයි ද මෙහිදී අනාවරණ වූ අතර, 2023 දෙසැම්බර් 31 සංගීත ප්‍රසංගයට අදාළ ලිපිගොනුව ඉන් එකකි. ඒ “31 රාත්‍රියේ තරුණ සංදර්ශනය සඳහා කුලී පදනම මත සේවා ලබා ගැනීම” යන ලිපි ගොනුවය. එම ලිපිගොනුව සභාපතිවරයා විසින් ලබාගෙන අස්ථානගතව ඇතැයි පැවසේ. එම ලිපිගොනු යළි ලබා දෙන ලෙසට අවස්ථා තුනකදී හිටපු සභාපතිවරයාට සිහිකැඳවීම් කර ඇතත් ඒවා මෙතෙක් ලැබී නොමැති යැයි තරුණසේවා සභාවේ නිලධාරීහු කෝප් කමිටුවට ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරණ සමයේ තරුණසේවා සභාව මගින් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇති බව පැහැදිලි වන බව කාරක සභාව තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාට පෙන්වා දුන්නේය. මෙහිදී හිටපු සභාපතිවරයා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දුන් උපදෙස් අනුව එතෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල නැවැත්වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රීඩාව පමණක් අරමුණු කරගත් “ස්මාර්ට් ෆියෙස්ටා” වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්ය. එහෙත් අනාවරණ වූයේ වැඩසටහනේ නම පමණක් වෙනස් කරමින් පෙර වැඩසටහනම ක්‍රියාත්මක කර ඇති බවටය. එසේම මෙම ස්මාර්ට් ෆියෙස්ටා වැඩසටහන වෙනුවෙන් සිදුකළ සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 43ක් වියදම් කර තිබූ අතර එම වීඩියෝව තරුණසේවා සභාවට ලැබී නොමැති බවද වාර්තා විය. හිටපු සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ එම වීඩියෝව තරුණසේවා සභාවට ලබා දී ඇති බවටය. මේ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
“ජාතික තුරුණු පොසොන් කලාපය” සහ යාපනය සහ අම්පාර තරුණ හමුව වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමුවිය. එම වැඩසටහන සඳහා ඩිජිටල් තොරණ සහ 18 සන්නිය නැටීම ඇතුළු විවිධ වැඩසටහන් සඳහා මිලියන 15ක පමණ මුදලක් වැය කර තිබූ අතර, එය එම ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගෙන ඇති බවටද අනාවරණ විය. එමෙන්ම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නවීකරණය කිරීම සහ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ක්‍රියාවලිය ආශ්‍රිතව 2021 වර්ෂයේ රැස්වූ කෝප් කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී දීර්ඝ වශයෙන් මෙම කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා සිය තනතුරේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව කෝප් සභාපතිවරයා පැවසූ අතර රාජ්‍ය සේවකයන් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරමින් තම ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස තමන් සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා අනු කමිටුවක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා නම් කර තිබේ.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා