2025 මාර්තු 01 වන සෙනසුරාදා

ත්‍රීවිල් එකක් ලක්ෂ 20යි! මෝටර් බයික් එකක් ලක්ෂ 10යි!

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:03 134

කොරෝනා වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ තිබූ දේශපාලන අස්ථාවර වීම් ඇතුළු විවිධ ගැටලු‍ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම සහ ඩොලර් සංචිත අඩුවීම හේතුවෙන්, වසර පහක් පුරාවට අලු‍ත් වාහන ආනයනය කිරීම තහනම් කිරීමට එවක පැවති රජය පියවර ගෙන තිබිණි. වසර පහක පමණ කාලයක් පුරා තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට පෙබරවාරි මස 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අවසර දීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, පෞද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යය සඳහා යොදා ගන්නා රථ, ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලබා දී තිබේ.

තමන්ගේම වාහනයක ගමන් බිමන් යාමටත්, අලු‍ත් වාහනයක් උජාරුවෙන් තම නිවෙස ඉදිරිපිට නවතා තැබීමටත් මිනිසුන් ලෙස අපට ඇත්තේ නොනිත් ආසාවකි. පෞද්ගලික ගමන් බිමන්, ප්‍රිය සාදවලට පවා පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට වඩා තමන්ගේම වාහනයක දරු පවුලත් සමඟ සුව පහසුවෙන් ගමන් බිමන් යාමට අකැමැති පුද්ගලයකු සිටිනවා නම් එය පුදුමයට කරුණකි. වාහන ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කර පෞද්ගලික භාවිතයට රථවාහන ගෙන්වීමට අවසර ලබාදීමත් සමඟ ජනතාවගේ හද තුළ තිබූ සිහිනය සැබෑ වූවා යැයි ඔවුහු සතුටු වූහ. 2025 වසරේ තමන්ගේම අලු‍ත් වාහනයක් ගැන සුබ සිහින දුටු ජනතාවගේ, රථ සිහිනය තවත් එක් මිරිඟු‍වක් බවට පත් කරමින් ආනයනික වාහනවල මිල ගණන් සාමාන්‍ය පුද්ගලයකුට දැරිය නොහැකි මට්ටමට වැඩි වී තිබේ.

2020 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කරන ලද වාහන ආනයන තහනම ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, ඉතාමත් සැලකිලිමත්ව සහ ප්‍රවේසම් සහගතව එම නිදහස් කිරීම කළ බවය. එමෙන්ම, මෝටර් වාහන සඳහා එකවර ඉල්ලු‍මක් ඇතිවීම වැළැක්වීම සඳහා අමතරව තවත් බදු කිහිපයක් පැනවූ බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.

අද වන විට මිල වැඩිවීම් කෙසේ වුවද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමට ප්‍රථම ප්‍රකාශ කර සිටියේ, ජනතාවට සහනදායී අඩු මිලට අලු‍ත් මෝටර් රථ මිලදී ගැනීමට හැකි වැඩපිළිවෙළක් සලසා දෙන බවය. ඒ අතරිනුත් ප්‍රසිද්ධම සහ ජනප්‍රියම පාඨය වූයේ විස්ට් රථයක් ලක්ෂ දොළහක් වැනි මුදලකට මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවට කළ ප්‍රකාශයයි.

කෙසේ වෙතත් වාහන ආනයනය පිළිබඳව විවිධ පාර්ශව විසින්, විවිධ අදහස් දක්වන අතර, චෝදනා යෝජනා සහ විවේචන ද සුලභව අසන්නට දකින්නට ලැබේ. ඇතැම් වාහන ආනයනකරුවන් පවසන්නේ කුඩා ප්‍රමාණයේ මෝටර් වාහනයක් වන “වැගන් ආර්”‍ රථයක මිල අද වන විට, රු. ලක්ෂ 70ත්, රු. ලක්ෂ 100ත් අතර පවතින බවත්, ඊට සාපේක්ෂව අනෙකුත් මෝටර් රථවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.

මෙරට සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන වාහනය වන්නේ, ත්‍රීරෝද රථයයි. ත්‍රීරෝද රථ යනු මෙරට සාමාන්‍ය පුරවැසියාට සිය දෛනික ගමන් බිමන් යාමට පමණක් නොව සිය ජීවිකාව සරිකර ගැනීමටද යොදා ගන්නා වාහනයකි. නව බදු පැනවීමත් සමඟ අලු‍ත් ත්‍රීරෝද රථයක මිලද ලක්ෂ විස්සකට ආසන්න වී තිබීම කනගාටුදායකය. මෙරට ප්‍රධානතම ත්‍රීරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් ඔවුන්ගේ අලු‍ත්ම අලු‍ත් ත්‍රීරෝද රථයක මිල ගණන් දක්වා ඇත්තේ භාණ්ඩ හා සේවා බද්ධ රහිතව රුපියල් 1,690,678ක් ලෙසයි.

භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රීරෝද රථයක් රුපියල් 1,995,022ක් ලෙස ගණන් දක්වා තිබේ. එමෙන්ම අලු‍ත් මොටර් බයිසිකලයක මිලද ලක්ෂ දහයකට ආසන්න බව වාර්තා වේ.

ආණ්ඩුව බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දුව පරිදි වාහන මිල අඩුවීමක් සිදු නොවූ නමුත්, බලාපොරොත්තු නොවූ පරිදි වාහන මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව අපෙක්ෂා භංගත්වයකට පත්ව සිටින අතර රජය පිළිබඳ යම් කලකිරීමකින් පසුවෙති.

කටින් කට යමින් විවිධ පුවත් මවන ආනයනික වාහනවල මිල ගණන් පිළිබඳ සැබෑ තතු දැන ගැනීමට, “දේශය”‍, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස අදහස් දක්වා සිටියේය.
“එහෙම වැඩිවීමක් වෙලා නෑ. ඒ කියන්නෙ පරණ මාකට් එකේ තියෙන ගණන් තියෙනවනෙ, අද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ගාණට 2024/ 2025 වාහනයක් ලංකාවට එනවා. එතකොට 25% කින් 30% කින් විතර සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අඩු වෙනවා.
2019 දී තිබුණු මිලට 2025 දී වාහන ගෙන්වන එක රජයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 2018/ 2019 අවුරුදුවලදී සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකෙන් ලක්ෂ හැත්තෑ ගණනකට මිලට ගත්ත වැගන් ආර් එකක්, එම මිලටම 2024/ 2025 දී වාහනයක් මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා.

2020 වසරේ ඩබල් කැබ් එකක් ලක්ෂ 350 ක් වැනි මිලකට අලෙවි වුණා. ඒ වාහනයම මේ වෙනකොට දළ වශයෙන් ලක්ෂ 250 ක් වගේ මිලකට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. හැම වාහනයක්ම 20% ක් 25% ක් විතර අඩුවෙලා තියෙන්නෙ.”‍
කෙසේ වෙතත් වාහන මිල වැඩි වී ඇති බව නම් පිළිගත යුතුමය. එලෙස වැඩි වූ මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බවත් පිළිගත යුතුමය. විවිධාකාර මතවාද මැද දෝලනය වන්නා වූ වාහන මිල ගැන “දේශය”‍ තවදුරටත් කළ විමසීමේදී, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, සුසන්ත ලියනආරච්චි මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

 “වාහන සම්බන්ධයෙන් ගත්තම විස්ට් රථයක් ලක්ෂ දොළහට දෙන්න පුළුවන් කියපු කතාව හරිම කනගාටුදායකයි. මේ රටේ දේශපාලනඥයෝ වේදිකාවල කරන ප්‍රකාශ සහ අධ්‍යාපන සාක්ෂරතාවය පිළිබඳ දැනීමක් නැතිකම ගැන මට පොඩි කනගාටුවක් තියෙනවා. ශ්‍රී ලංකා රජය පසුගිය ජනවාරි 11 වැනිදා මෝටර් රථ නිෂ්පාදන බද්ද සහ තවත් බදු වර්ග කිහිපයක් ගැන ගැසට් නිවේදනයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වාහන නිෂ්පාදන බද්ද ගත්තම 200% ත් 300% ත් අතර තියෙනවා. ඇතැම් වාහනවලට එම බද්ද 400% ත් 500% ත් අතර වන බව කියනවා. 2024 සැප්තැම්බර් මාසයේදී නව කැබිනට් පත්‍රිකාවක් මගින් වාහන ආනයනයේදී නව බදු වර්ග හතරක් හඳුන්වා දුන්නා. එතකොට වාහන බදු අගය 600% - 700% කින් ඉහළ ගියා. මේ කාරණාව වාහන ආනයනකරුවන් පවා කියනවා.”‍

වැඩිදුරටත් අදහස් දක්වමින් සුසන්ත ලියනආරච්චි මහතා පැවසුවේ, ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වාහනවලට එකතු විය යුතු බදු වර්ග හතරක් හඳුන්වා දුන් බවයි. එහි පළමුවැන්න වාහනයේ එන්ජින් ධාරිතාවය අනුව වාහනයට එකතු වන බද්දයි. දෙවැන්න වාහනයේ වටිනාකම අනුව එකතුවෙන බද්දයි. තුන්වැන්න සුඛෝපභෝගී බද්ද ලෙස හඳුන්වනු ලබයි. වාහනයක මිල ලක්ෂ හැටකට වඩා වැඩි වේ නම් එය සුඛෝපභෝගී ගණයට අයත් වන බව පවසන ඒ මහතා, මේ සියලු‍ බදු මගින් අහිමි වී යන්නේ තරුණ පරපුර ඇතුළුව රටේ සමස්ත ජනතාවගේ සිහින හා බලාපොරොත්තු බවද පැවසීය. සැබවින්ම එහි වරදක් නැත. අනෙත් අතට වාහනයක් මිලදී ගැනීමේදී ඉහත කී බදු වර්ග තුනට අමතරව 18% ක වැට් බද්දක්ද එකතු කරනු ලබයි.

එමෙන්ම වාහනවල අර්බුදකාරී මිල ගණන් පිළිබඳවද හෙතෙම අදහස් දැක්වීය.

“පෙට්රල් හා හයිබ්‍රිඩ් වාහන සඳහා මිල ගණන් ගත්තත් ජනතාව හරිම අසරණයි. සුසුකි එව්රි මෝටර් රථයක් රුපියල් ලක්ෂ 13 ක් ලෙසත්, ටොයෝටා කොරල්ලා රථයක් රුපියල් ලක්ෂ 66 ක් ලෙසත් මිල නියම වී තියෙනවා. නමුත් කලින් කියපු බදු වර්ග තුන සහ වැට් එකත් එකතු වුණාම 600% වගේ බද්දක් මේ වාහනවලට එකතු වෙනවා. ඉතින් වාහනවල මිලත් සමඟ 600% ක බද්දක් එක්ක ලංකාවේ මනුස්සයකුට වාහනයක් මිලදී ගැනීම කියන්නෙ හීනයක්ම විතරයි. ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙනවා මිලියන හතක්. ඒ මිනිස්සුන්ට මෝටර් සයිකලයක්වත් ගන්න බැරි තත්වයට තමයි පත්වෙලා තියෙන්නෙ.”‍

එමෙන්ම අලු‍ත් වාහනවල සහ පාවිච්චි කරන ලද වාහනවල අමතර කොටස්ද ඉතා වේගයෙන් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පැවසූ ඒ මහතා මෙලෙසද කියා සිටියේය.

“මේක ලංකාවේ ආර්ථිකයේ තියෙන කෲරත්වය. කොහොම හරි බදුවලින් තමයි ආර්ථිකය හදන්න හදන්නෙ. එක්තරා අවස්ථාවකදී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා වාහනවල බදු ආදායම විතරක් බිලියන හත්සීයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක සම්පූර්ණ නොදැන කරපු කතාවක්. මේ වෙනකොට වාහන ආනයන තීරු බදුත් 100% ක් ඉහළ දාලා තියෙනවා.”‍

දැනට පවතින තීරු බදු ක්‍රමය යටතේ 20% ක මූලික බද්දක් සහ ඒ මත පනවා ඇති 50% ක අධිභාරයකට යටත් වී තිබේ මෙම ක්‍රමය වෙනස් කරමින් 100% කින් තීරු බදු ඉහළ දමා ඇත්තේ, රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේය. එය 2025 ජනවාරි මස 2421/43 දරණ ගැසට් නිවේදනය මගින් නීතිගත කර තිබේ. මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ වාහන ආනයනය සඳහා වූ නව තීරු බදු ක්‍රමය හඳුන්වා දීමෙන් රටේ සමස්ත ආර්ථික ස්ථායීභාවය ශක්තිමත් කිරීම සිදු කරන බවයි.

කෙසේ නමුත් වාහන ආනයන සීමා ඉවත් කරන විට නව වාහනයක සිහින දකිමින් සතුටු වූ ජනතාවට අවසානයේදී සිදුව ඇත්තේ තමන් මිරිඟු‍වකට රැවටුණු බව සිතා, සිත සනසා ගැනීමටය. අනෙත් අතට කනගාටුවට කරුණ නම්, කුඩා ව්‍යාපාරවල නිරත වන සාමාන්‍ය පුරවැසියන් අතර බොහෝ ප්‍රචලිත ඩිමෝ බට්ටා රථ සහ ත්‍රීරෝද රථ සඳහාවත් සුළු හෝ සහනයක් නොලැබීමය. ඇති හැකි අය කෙසේ වෙතත් එදිනෙදා ජීවිතය සමඟ පොර බදන සාමාන්‍ය මහජනතාව ත්‍රීරෝද රථ හයර් කිරීම සහ ඒවා මගින් කුළුබඩු වෙළෙඳාම් ආදී කටයුතුවල නිරත වීමද, ඩිමෝ බට්ටා රථවලින් කුඩා ව්‍යාපාරවල නිරත වීමද සිදු කරති.

ත්‍රීරෝද රථවල මිල ඉහළ යාම පිළිබඳව අප කළ විමසීමේදී සුසන්ත ලියනාරච්චි මහතා මෙලෙස දැක්වීය.

“ත්‍රීවිල් එකක් ගන්න ගියාම අද වෙනකොට ලක්ෂ විස්සට ආසන්න වශයෙන් මිල වැඩිවෙලා තියෙනවා. ත්‍රීවිල් එකක් වැලියුවේෂන් කරන්න යනකොට පාරේ ඉන්න රස්තියාදුකාරයෝ වැලියුවේෂන්කාරයෝ තමයි ත්‍රීවිල් එකක් ලක්ෂ පහළොවක් වෙනවා නම් ලක්ෂ විසි පහක් කියල වැලියුවේෂන් කරන්නෙ. ඒ නිසා තමයි මේ වාහනේ ලක්ෂ විස්ස වෙනකම් ගියේ. නැතිනම් ලක්ෂ නවයට, දහයට තිබුණු ත්‍රීවිල් එක වැලියුවේෂන්කාරයෝ වැඩි ගණන්වලට තක්සේරු කරලා මූල්‍ය ආයතනවලට දෙනවා.

මිනිස්සු ගිහින් ත්‍රීවිල් එක ගන්නකොට ලක්ෂ දහ තුනකට තක්සේරු කරලා නම් ලක්ෂ හතක් විතර දෙනවා. මිනිස්සු ගෙවාගෙන යනකොට කැපිටල් එක ඉතුරු වෙනවා. ඉන්ෂුවරන්ස් එක තමයි ගන්නෙ. ඒ නිසා තමයි මෙච්චර අසාධාරණ විදිහට මිනිස්සුන්ගේ වාහන ලීස් කරන්නෙ.”‍

මේ වන විට වාහන පිළිබඳව විවිධාකාර මතවාද සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. කෙසේ නමුත් පවතින තත්ත්වය විමසා බැලීමේදී සාමාන්‍ය ජනතාවට වාහන සිහිනය නම් තවදුරටත් සිහිනයක් බව කිව හැකිය.

• මංගලා පවිත්‍රානි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:03