වැඩ බලන පොලිස්පතිවරයා පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී ඇඟට පතට නොදැනී ඇඟ ලොමු දැහැගන්වන කතාවක් කීවේය. එනම් මේ රටේ සක්‍රීය අපරාධ කල්ලි 58 කුත් ඊට අදාළව සාමාජිකයන් 1400කුත් හඳුනාගෙන සිටින බවයි. මෙය පොලිස්පතිවරයා ඇඟට පතට නොදැනී කිව්වද රටේ ජාතික ආරක්ෂාවට ඉතාම බරපතළ තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ අපරාධකරුවන් එකාට එකා නැති වුණත් මේ 1400 එක තැනකට එක්වූ පසුව රටක් අල්ලන්න බැරිකමකුත් නැත. ඊටත් වඩා බරපතළ තත්ත්වය වන්නේ මෙකී අපරාධකරුවන් 1400 දෙනා මහමග මරාගන්නා ආකාරයට අවට මිනිසුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානිය සුළුපටු නොවේ. ඒ නිසා මේ අපරාධකරුවන් 1400 යනු සුළු පටු ගාණක් නොව මහා අපරාධ රැසක නරක පෙරනිමිත්තකි.
කෙසේ වෙතත් දැන් කතාව මෙලෙසය. මෙකී කණ්ඩායම් කල්ලිවල සාමාජිකයන්ගෙන් නායකත්වය ගෙන කටයුතු කරන 200කට ආසන්න පිරිසක් රටින් පැන ගොසිනි. එක්කෝ ඉන්දියාවේය. නැතිනම් ඩුබායිවලය. එහෙමත් නැතිනම් යුරෝපයේ කොහේ හෝ තැනකය. ඔවුන් එලෙස සැඟවී එක්කෝ කුඩු ජාවාරම, නැතිනම් කුලියට මිනී මැරීම, කප්පම් ගැනීම ජයට සිදුකරගෙන යන්නේ විදෙස්ගතව සිටියදීය. ඔවුන්ගේ දෙන්නම් කාසි පොරොන්දුවලට ලණු කන මෙරට සිටින ඇච්චෝ බැච්චෝ විහින් අමාරුවේ වැටෙන්නේ ජීවිතයද නන්නත්තාර කර ගනිමිනි.
ඊට හොඳම උදාහරණය වන්නේ පසුගියදා ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව එම ඝාතනයේ මහ මොළකරු යැයි සැක කෙරෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳට අයත් පන්නල පිහිටි නිවෙස වීඩියෝගත කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට පත්වීමයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වයස 21ත් 23ත් අතර දෙදෙනෙකි. පසුව ඔවුන් සන්තකයේ තිබී ගිනි අවියක්ද සොයාගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ තමන්ට මත්ද්‍රව්‍ය පානය සඳහා මුදල් ලබා දෙන නිසා ඩුබායි සමීරගේ උපදෙස් මත එය සිදු කළ බවය. එසේම ගණේමුල්ල සංජීවට වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුට ලැබුණු කොන්ත්‍රාත්තුව කෝටි එකහමාරකි. එහෙත් වෙඩික්කරුට ලැබී ඇතැයි කියන්නේ ලක්ෂ දෙකක් පමණි. දැන් ඉතිරි මුදලුත් නැත, හිරේ ලගින්නත් සිදුව ඇත. ඒ නිසා පැහැදිලිව පෙනෙන දෙය නම් අනික් උන් විශ්වාස කරමින් ලංකාවේ සිට මෙවැනි අපරාධවලට බෙල්ල තියන තරුණ තරුණියන්ට සිදුවන්නේ අවසානයේ මහඋළු ගෙදර ලැගීමට බවයි.
මෙහිදී හඳුනාගත් කල්ලිවලට අමතරව තවත් හඳුනා නොගත් පිරිසක්ද වෙති. ඒ අය සමාජයට නිරාවරණය වන්නේ ඉහත කී පිරිස් අපරාධයක් සිදුකළ විටය. එනම් ඒ අය මේ අපරාධකරුවන් සඳහා විවිධාකාරයෙන් උදව් දීම හරහාය. ඊට හොඳම උදාහරණය වන්නේ සංජීව ඝාතනයෙන් පසුව අත්අඩංගුවට ගත් පිරිසයි. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද වූහ. ඔවුන් අපරාධ කළ යුත්තන් නොවේ. නීතිය රකින නිලධාරීන්ය. එහෙත් ඔවුන් අපරාධකරුවන් සමඟ සබඳතා ඇති බවට දැනගැනීමට ලැබුණේ මෙකී සිදුවීම්වලින් පසුවය. ඒ අය මෙකී අපරාධකරුවන්ටත් වඩා භයානකය. ඔවුන් පොලිසියේ සිදුවන පරීක්ෂණ පවා අපරාධකරුවන් අතට යවමින් අපරාධ රාජ්‍යයක් ගොඩනැගීමට සහාය වන පිරිස්ය. එසේ නම් අපරාධකරුවන් ලැයිස්තුව 1400 ක් පමණමද? නැත දැන් අපරාධ ලෝකය මහා විශාල ලෙසට පුළුල් වී ඇත. ඒ නිසා අපරාධකරුවන් 1400 යනු හුදී හඳුනා ගැනීමක් පමණි. එහෙත් ලැයිස්තුව මීට වඩා දස ගුණයකින් ඉහළ යනු ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වී සිටින්නේ අපරාධවලට සම්බන්ධ විදෙස්ගතව සිටින පිරිස් කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගැනීමටය. ඒ සඳහා පොලිසිය යුහුසුළුව කටයුතු කරන අතර දැන් දවස ගාණේ ඩුබායි සිට එකා දෙන්නා ලංකාවට එන්නේ ඔලුවේ සිට පාදාන්තය තෙක් රෙදි ඔතාගෙනය. ඉස්සර දුසිම් ගණන් මිනී මැරුවත් ජාත්‍යන්තර රතු නිවේදන නොමැති වුවද දැන් එක මිනී මැරුමක් සිදුකර රටින් පැන ගියද රතු නිවේදන නිකුත් කරන තැනට පොලිසිය සියල්ල සූදානම් කර ඇත. ඒ අනුව මෑත කාලයේ බොහෝ දෙනෙක් ලංකාවට පැමිණියහ. එලෙස පැමිණි අය අතර මෑත කාලයේ අපරාධයකට දෙකකට සම්බන්ධ අය ද වූහ. කෙසේ වෙතත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් දේශය මේ පිළිබඳ විමසීමේදී ඔහු සඳහන් කළේ මින් ඉදිරියට සුළු හෝ වරදක් කර රට පැන ඇත්නම් ඔවුන්ට විරුද්ධව ජාත්‍යන්තර වරෙන්තු ලබා ගන්නා බවය.
මේ අතර පසුගියදා වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නේ නම් ඔත්තුව ලබා දෙන පුද්ගලයාට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ලබා දෙන බවය. ඒ අනුව ගම්පහ උතුර අපරාධ විමර්ශන ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබිණි. ඒ ගම්පහ මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක ටී 56ක් සහ උණ්ඩ තොගයක් වළදමා ඇති බවටය. ඒ අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත කණ්ඩායමක් ගොස් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට ලක් කළේය. එහිදී අදාළ ගිනි අවිය සොයා ගැනීමට පොලිසියට හැකි විය. කෙසේ වෙතත් මේ ගිනි අවිය කාගේදැයි තවම නිශ්චිත තොරතුරක් නොමැත.
මීට අමතරව ගණේමුල්ල සංජීව ඝාතනයත් සමඟ බොහෝ දෙනා සිතුවේ ප්‍රශ්නය අවසන් වී ඇති බවකි. එහෙත් ප්‍රශ්නය අවසන් වූයේ නැත. සංජීවට සහාය දැක්වූ බොහෝ දෙනා අවසන් නිවේදන නිකුත් කරමින් කියා සිටියේ මේ ඝාතනයට සම්බන්ධ කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලිඳු සහ ජූඩ් ප්‍රියන්ත යන අයගේ ගෑවුණු අය පවා ඝාතනය කරන බවටය. ඒ අනුව පළමු බිල්ල ගැනීම සඳහා පද්මේගේ නිවෙස තරුණයන් දෙදෙනකු විසින් වීඩියෝගත කිරීමේදී ඔවුහු අත්අඩංගුවට පත්වූහ. එහෙත් සංජීවට සහාය දක්වන කල්ලි වැඩේ නැවතුවේ නැත. පද්මේගේ ජාවාරම්වලට උදව් කරන පාසල් මිතුරකුට මිනුවන්ගොඩදී වෙඩි තැබිණි. ඔහුගේ ජීවිතය අනූ නවයෙන් බේරුණේය. කෙසේ වෙතත් ඒ හරහා සංජීවට සහාය දෙන එම කල්ලිය කවුද යන්න අනාවරණය විය. ඒ වෙන කවුරුත් නොව දකුණේ පාතාලයේ කරන්දෙණියේ සුද්දා සහ මිනුවන්ගොඩ පාතාලයේ හීනටියන සංඛ යන දෙදෙනාය. ඒ අනුව ආරම්භ කරන්නට යන ඝාතන රැල්ලේ ආරම්භකයන් කවුදැයි අනාවරණය විය. එපමණක් නොව ඩුබායි සංඛද ඒ අතර විය. දැන් මේ අය උත්සාහ කරන්නේ සංජීව ඝාතනයෙන් පසුව පොරක් වෙන්නට යන කෙහෙල්බද්දර පද්මේට වැඩක් දෙන්නටය. හත්මුතු පරම්පරාවෙන්ම පලිගන්නටය.
ඒ අනුව පැහැදිලිව පෙනෙන්නේ යුද්ධය අවසන් වී නැති බවයි. දැන් පාතාලය ගිනි කෙළි දල්වමින් සිටී. ඒ ඇතැම් ආරක්ෂක අංශයේම අය සමඟයි. ඒ නිසා පොලිස්පතිවරයා කළ යුත්තේ මේ අඩමාන ගණන් හිලව් කීම නොව මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමය. නැතිනම් වෙන්නේ හැමදාම මැරෙන ගාණත් මරන්නට ඉන්න ගාණත් පාතාලයේ ගාණත් පමණක් රටට කියන්නටය. එවැනි පොලිසියක් අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ රටේ නීතියක් සාමයත් ආරක්ෂා කරන ආයතනයකි. බංකුවක් ගෙන පැමිණෙන්න, ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ අයට අපට කීමට ඇත්තේ අපට ටියුෂන්කාරයන් වැඩක් නැත, අපට අවශ්‍ය වැඩකාරයන් බවය. එසේ නොමැති තාක් මේ රට අපරාධ රාජ්‍යයක් පමණක් වනු ඇත.
• ගයාන් ගාල්ලගේ