2025 මාර්තු 08 වන සෙනසුරාදා

කෝපා කමිටුවට ගිය කොළඹ කනත්තේ මල් ශාලාව

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:02 161

පාර්ලිමේන්තුවේ කාරක සභා අතරින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරිනුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව යනු රජයේ සහ පළාත් සභා, පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි. පාර්ලිමේන්තුව විසින් වෙන් කරනු ලබන මුදල් වෙළුම් 6 කින් යුත් විගණකාධිපතිවරයාගේ වාර්තාව සමඟ පරීක්ෂා කිරීම මෙහි කාර්යභාරයයි.

මේ කියන කෝපා කමිටුවට 2022-2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු කැඳවනු ලැබ සිටියහ. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී ආන්දෝලනාත්මක තොරතුරක් අනාවරණය විය. එනම් කොළඹ මහ නගර සභාවේ සේවකයකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් එහි මල් ශාලාවක් 1994 සිට නීතිවිරෝධීව පවත්වාගෙන යන බවය.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මේ සම්බන්ධයෙන් කෝපා කමිටුව හමුවේ වර්තමාන නාගරික කොමසාරිස් ඇතුළු නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් අදහස් දැක්වූ අතර ඔවුන් දැක්වූ අදහස් කමිටුව නොමග යවන සුළු බවත් මේ හේතුවෙන් ඔවුන් සියලු‍ දෙනාම රහසක් සඟවන බවත් මෙම කමිටුවේදී හෙළි වූ බව පැවසිණි. ඒ සම්බන්ධයෙන් වර්තමාන නාගරික කොමසාරිස් ඇතුළු නගර සභාවේ නිලධාරීන් කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. මෙම මල් ශාලාව පරිසර බලපත්‍රයක් නොගෙන අනීතිකව පවත්වාගෙන ගොස් තිබූ බවද කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

මල් ශාලාව පවත්වාගෙන යන බව කියන සේවකයා කොරෝනා වසංගත සමයේදී දේහයක් භූමිදාන කිරීම සඳහා ලක්ෂ 6 ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත් වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූවකු බව එම කමිටුවේදී අනාවරණය විය. කෝපා කමිටුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු වූ අතර එය සිදු කළේ කොළඹ මහ නගර සභාවේ එවක හිටපු නාගරික කොමසාරිස්වරියක වන නීතිඥ රෝෂිණී දිසානායකයි.

ඇය කමිටුව හමුවේ මෙසේ පැවසුවාය.

“1994 ඉඳන් 2020 දක්වා මේ දේපළ අවභාවිතය ඉතාම ප්‍රසිද්ධියේ වෙලා තිබුණා. නගර සභාවේ ඉඩමක නගර සභාවේ කනත්ත භාරකරු මෙම මල් ශාලාව පවත්වාගෙන ගොස් තියෙනවා. අවුරුදු 26 කින් මේකට මූලික විමර්ශනයක් හෝ කිසිදු විගණන විමසුමක් තිබුණේ නෑ. 2020 මා නාගරික කොමසාරිස් තනතුරට වාර්තා කළා. ඒ වසරේම දිනක් කාන්තාවක් පැමිණ මේ කියන මල් ශාලාවට සැලසුම් අනුමැතියක් ඉල්ලා සිටියා. සැලසුම් කමිටුවේ සභාපතිවරයා වන්නේ නාගරික කොමසාරිස්. මගේ නිලධාරීන් මට දැනුම් දුන්නා මෙය නගර සභාවේ ඉඩමක තියෙන්නෙ, මේ සේවකයා මෙය ප්‍රසිද්ධියේ කරන බවත් ඒ නිසා මෙයට අනුමැතිය දිය නොහැකි බවත්. ඔවුන් ඔප්පු ඉදිරිපත් කළා මේ දේපළ ඔවුන්ගේ කියලා. ඉන්පසු අපි අපේ නීති නිලධාරී හරහා මෙම ඔප්පුව ඉඩම් කච්චේරියෙන් තහවුරු කර ගත්තා. එහිදී අනාවරණය වුණා ඔවුන් සතුව තිබෙන්නේ ව්‍යාජ ඔප්පු කියලා. අපිට මේ විමර්ශනයට නිලධාරිනියන් බහුතරයක් සහභාගි වුණා.

මා ඇතුළු ඔවුන් සියලු‍ දෙනා මේ විමර්ශනය කළේ ජීවිත තර්ජන මැද්දේ. ඉන්පසු මෙම කනත්ත භාරකරු බව කියන තැනැත්තා ප්‍රකාශයක් දුන්නා මෙම මල් ශාලාව පවත්වාගෙන යාමට ඔහුගේ සම්බන්ධයක් නැති බවත් මෙය සිය බිරිය සහ පියා විසින් කරගෙන යනු ලබන බවට. ඒත් අපි දිගින් දිගටම ලේඛන සොයා ගියාම 2008 දී හවුල් ව්‍යාපාරයක් ලෙස ඔහුගේ නමින් ලියාපදිංචි කර තිබුණා.”

බොරැල්ල කනත්ත භාරකරු ලෙස සේවය කරමින් සිටියදී ඉඩම් අවභාවිත කරමින් සභා සේවකයකු මෙලෙස සභාවේ දේපළ සමඟ බැඳියාවක් පවත්වා ගන්නේ කෙසේදැයි ගැටලු‍සහගතය. නගර සභා ආඥා පනතේ 180 සහ 190 යන වගන්ති ප්‍රකාරව නගර සභා සේවකයකුට පොදු දේපළ සමඟ බැඳියාවක් තබා ගැනීමට නොහැකි බව පැහැදිලිව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් රෝෂිණී දිසානායක මහත්මිය මෙසේද පැවසුවාය.

“මේ සම්බන්ධයෙන් 2021 දී මූලික විමර්ශන කමිටුවක් පත් කළා. ඒ අතරතුර මොහුට විරුද්ධව තවත් චෝදනාවක් ලැබුණා ව්‍යාජ රිසිට්පත් සම්බන්ධයෙන්. බොරැල්ල කනත්තේ සේවා ලබා ගැනීම වෙනුවෙන් ලබාදෙන රිසිට්පත් ඔහු අත්සන් කර නීතිවිරෝධීව ඔහු විසින් ලබා දී අයථා ලෙස මුදල් ලබාගෙන තිබුණා. මෙහි අත්සන ඔහුගේම බව රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර ගත්තා. බස්නාහිර පළාත් ආයතන සංග්‍රහය අනුව අත්සන තහවුරු කරගැනීමට ලියන හඳුනන දෙදෙනකුගේ සාක්ෂි ප්‍රමාණවත් වුවත් මෙම කාර්යය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන්ගේ සහායෙන් පවත්වාගෙන ගිය නිසා තමයි අපි මේ සිද්ධියේ බරපතළකම ගැන සිතා රජයේ රසපරීක්ෂක ලවාම මේ අත්සන තහවුරු කරවා ගත්තේ.
මෙම මල් ශාලාව සම්බන්ධයෙන් චෝදනාව විමර්ශනය කිරීම සඳහා මුලින්ම ඔහුට ස්ථාන මාරුවක් දුන්නත් ඔහු එය පිළිගත්තේ නෑ. ඉන්පසුව 2021 අප්‍රේල් 30 වැනිදා ඔහුගේ වැඩ තහනම් කළා. ඔහු වෙනුවෙන් චෝදනා පත්‍රයක් නිකුත් කළත් ඔහු ඒ කිසිවක් පිළිගත්තේ නෑ. මේ චෝදනාලාභියා කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයෙක්. එහි අංශ ප්‍රධානියා ලවා චෝදනා පත්‍රය ලබාදුන්නත් ඔහු එය පිළිගත්තේ නෑ. ලියාපදිංචි තැපෑලෙන්, පොලිසිය මගින් ආදී විවිධ නීත්‍යනුකූල ක්‍රම මගින් මම නාගරික කොමසාරිස් හැටියට මෙය ලබා දෙන්න උත්සාහය කළත් මේ සේවකයා මෙය ලබාගත්තේ නෑ. ඒ අතරතුර මේ සේවකයා නඩුවක් දැම්මා ඔහුගේ වැඩ තහනම් කිරීම නීත්‍යනුකූල නෑ කියලා. මෙම දේපළවලට ව්‍යාජ වරිපනම් අංකයක් ලබාගෙන තිබුණා. මේ පරිශ්‍රයේ තියෙන කනත්ත භාරකරුගේ නිල නිවාසය රජයේ දේපළක්. 1998 අගෝස්තු 1 වැනිදා සිට මෙම නිල නිවාසය ඔහුට පවරා දී තිබෙනවා. නගර සභාව එදා පටන් ඔහුගෙන් නිල නිවාස කුලිය අය කරගෙන තියෙනවා. මේ ගිවිසුමෙන් පසුවයි මේ අනවසර ඉදිකිරීම කර තියෙන්නෙ. ලේඛනවල පැහැදිලිව තියෙනවා මල් ශාලාවේ සිට නිල නිවාසයට ප්‍රවේශයක් තියෙනවා කියලා.

නිල නිවාස අවභාවිතය සම්බන්ධයෙන් මෙම චෝදනාලාභියාගෙනුත් ඔහුගේ බිරියගෙනුත් ප්‍රකාශ ලබා ගත්තා. බිරියගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා ඔවුන් කිසි දවසක මෙම නිල නිවාසයේ සිට නැති බව. ලක්ෂ 3 ක හිඟ ජල බිල්පත් තියෙනවා. ජලය භාවිත කර තියෙන්නෙත් මල් ශාලාවේ කාර්යයට. නිල නිවාසයේ විදුලි සැපයුම තමයි වහළයට උඩින් අරගෙන මල් ශාලාවට අවභාවිත කර තියෙන්නෙත්. මල් ශාලාවේ භාවිත කරන වරිපනම් අංකය නගර සභාව නිකුත් කර නෑ. මෙම ස්ථානයේ පවත්වාගෙන යන බව පවසමින් තමයි ඔහු මෙම ව්‍යාපාරය ලියාපදිංචි කරන්නෙ. ඒත් ඔහු කාලයෙන් කාලයට මෙහි නමත් වෙනස් කරමින් හිමිකාරිත්වයත් මාරු කරන්නෙ නගර සභා සේවකයකු නොවන බව පෙන්වීමට. මෙය කාලයක් කැලණි අධ්‍යක්ෂවරු නමින්ද පවත්වාගෙන ගොස් තිබුණා.”

මල් ශාලාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ හිටපු නාගරික කොමසාරිස්වරියට කෝපා කාරක සභාව මෙහිදී ප්‍රශංසාව පිරිනැමීය. මෙම මල් ශාලාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටු සභාපති අරවින්ද සෙනරත් මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරියට උපදෙස් දුන්නේය.

මෙය මෙරට රජයේ දේපළ අවභාවිත කරමින් කාලයක පටන් කරගෙන ගිය මහා පරිමාණ වංචාවක් ලෙස සැලකිය හැකිය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන නගර සභා සේවක වන්නේ චානක කෙනත් පෙරේරා මහතාය. ඔහුට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසනුයේ මෙම මල් ශාලාව කනත්ත භූමියේ නොව කනත්ත ඉදිරිපිට ඇල්විටිගල මාවතේ ඇති බවත් තමා ගිණුම් කාරක සභාව හමුවට කැඳවුවහොත් තමාට එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබා දෙන බවත්ය. මෙම මල් ශාලාව තම පවුලේ අයට අයත් බවත්, මෙම ඉඩමේ භුක්තිය කොළඹ මහ නගර සභාවට නොව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බවත් ඔහු පැවසීය. එහි භුක්තිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් හෙතෙම පැවසුවේය. තමා වසර 36 ක සිට නගර සභාවේ සේවය කරන බවත් මේ වනවිට සුසාන භූමි භාරකරු (විශේෂ ශ්‍රේණිය) ධුරයේ රාජකාරි කරන බවත් ඔහු පැවසීය.

මෙහිදී කෝප් කමිටුවේදී අනාවරණය වූයේ මෙම කාරණය දීර්ඝ කාලයක සිට බලධාරීන් දැනුවත්ව කරගෙන පැමිණ ඇති බවයි. මෙවැනි ජාවාරමුන්ට සහාය ලබාදෙන නිලධාරී පිරිසකුත් මේ මිහිපිට සිටින බවට මෙම සිදුවීමම සාක්ෂියකි. මෙම සිදුවීම යළිත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී මෙම චෝදනාලාභියා වැරැදිකරුවකු නම් ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගෙන සභාවට වූ පාඩුව අයකර ගැනීමට අවශ්‍ය සියලු‍ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව සිහිපත් කරමු. මේ හෙළිදරව්ව කරනුයේත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියකි. ඇයට මෙහි විමර්ශන සහාය ලබා දී ඇත්තේත් එවැනිම රාජ්‍ය නිලධාරීන් පිරිසකි. එය අගය නොකරම බැරිය. මෙම නිලධාරීන්ගේ මහන්සිය සහ කැපවීම සහ වගවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේද ප්‍රසාදය හිමිවිය. එසේම මේ හොඳ නිලධාරීන් අතරම සිටිමින් මෙවැනි වංචනික ක්‍රියාවලට සහාය ලබාදෙන ඇතැම් නිලධාරීන්ට එරෙහිවද නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එයින් අනාගතයේ හෝ මෙරට රාජ්‍ය තන්ත්‍රය සුපිළිපන් රාජ්‍ය සේවයක අපේක්ෂා දල්වාගත හැකි බව සිහිපත් කරමු.

• සසංක චලන ගිම්හාන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:02