යෝජනා කර තිබෙන නව ස්වාධීන අභිචෝදක තනතුරක් ස්ථාපිත කිරීම සම්බන්ධව නීති ක්ෂේත්‍රය තුළ මෙන්ම දේශපාලනය තුළ ද තරමක බරපතළ සංවාදයක් සිදුවෙමින් තිබේ. ජාතික ජන බලවේගය සිය මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් මෙම කාර්යය සඳහා සූදානම් වන බව පෙනී යයි. ඒ අනුව මේ වන විටත් අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට හා එම කටයුතු සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.
මෙම අභිචෝදක තනතුරු පිළිබඳ නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ගේ අදහස් විමසා බැලීමට අපි තීරණය කළෙමු. ඒ අනුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ හසල අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීති විශාරදයකු වන හිටපු අගවිනිසුරු සහ හිටපු නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂවරයකු වන සරත් එන් සිල්වා මහතා දේශය සමඟ සංවාදයකට එක් විය.
අප හිටපු අගවිනිසුරුවරයාගෙන් පළමුව විමසා සිටියේ අභිචෝදක තනතුර යනු කුමක්ද? යන්නයි.
“අභිචෝදක තනතුර කියන එක මම අහල නැති තනතුරක්. අපරාධ නඩු අධ්‍යක්ෂ කියලා තමයි හැමතැනම තියෙන්නෙ. අභිචෝදක කියලා අර්ථයෙන් ගත්තත් එතැනදි නිර්මාණය වෙන්නෙ වෙන අර්ථයක්. අධි චෝදනා ගත්තොත් ඒවා අපේ තියෙන විදිහට නීතිපතිට විතරයි යවන්න පුළුවන්. ඊට අමතරවත් නීතිපතිට පුළුල් බලයක් තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිසියේ නඩු මෙහෙයවන්න.”
ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව නම් කර ස්ථාපිත කිරීමට සූදානම් “අභිචෝදක තනතුරේ” නිශ්චිත අර්ථය සහ කාර්යභාරය පිළිබඳ තවදුරටත් පැහැදිලි නොමැති බව සරත් එන් සිල්වා මහතාගේ පැහැදිලි කිරීම අනුව පෙනී යයි.
ඊළඟට අප අවධානය යොමු කළේ දෙවැනි තනතුරක් ස්ථාපිත කිරීම සඳහා නිර්මාණය වී ඇති අවශ්‍යතාවය පිළිබඳවයි.
“ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඕනෑ දෙයක් තියෙන්න පුළුවන්. කොහොම නමුත් දැනට මේ තනතුර තියෙන්නෙ නීතිපතිට. මේක අවුරුදු එකසිය විසි පහකට වඩා පැවති තනතුරක්. එදා ෆීලික්ස් ඩයස්වත් මේ තනතුර නැති කළේ නැහැ.”
මෙවැනි තනතුරක් 1970 - 1977 ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක විය. එකල නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය දැරූයේ අප සංවාදයට එක්වූ සරත් එන්. සිල්වා මහතාය. එකල මෙම තනතුර නිර්මාණය කිරීමටත්, එම බලතල දේශපාලන යාන්ත්‍රණයට අවශ්‍ය පරිදි මෙහෙයවීමටත් කටයුතු කරනු ලැබුවේ බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසිනි.
“එදා නීතිපති තනතුර අහෝසි වුණේ නැහැ. එතැන සිද්ධ වුණේ අච්චාරු කිරීමක්. ඔය ඩී.පී.පී. (Director of Public Prosecutions) කියන තනතුර එංගලන්තෙ තියෙනවා. ඒකට හේතුව එරට නීතිපතිවරයා රජයේ අමාත්‍යවරයෙක්. නීතිපතිවරයා දේශපාලන තනතුරක් දරන නිසා එතැන තියෙනවා ඩී.පී.පී. සහ සොලිසිටර් ජෙනරාල් කියන තනතුරු. ඒ තනතුරු ස්ථාපිත කරලා තියෙන්නෙ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා. කොහොම වුණත් බ්‍රිතාන්‍ය පාලකයන්ම තමයි නීතිපති තනතුර කියන තනතුර අපිට හඳුන්වා දුන්නෙ.”
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක වන නීතිපති තනතුර ඍජුව දේශපාලනය හා සම්බන්ධ නොවන්නකි. එම නිසාම අමතර මෙවන් තනතුරක් අවශ්‍ය වන්නේද නැද්ද යන්න කරුණ විවාද සම්පන්නය.
එම නිසාම අතීතයේ ශ්‍රී ලංකාව තුළ මෙවන් තනතුරක් ස්ථාපිත කිරීමට දැරූ උත්සාහය පිළිබඳ නැවත විමසා බැලීම වැදගත් වේ. එම වකවානුවේ සිදු වූ දෑ පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහිත හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගෙන් අපි මේ පිළිබඳ වැඩිදුරටත් විමසා සිටියෙමු.
“1972 න් ක්‍රියාත්මක කරපු ආකාරය හොඳටම අවුල් වුණා. උදාහරණයක් විදිහට ජී.එම්. ප්‍රේමචන්ද්‍ර නඩුව ගන්න පුළුවන්. සාක්ෂි තිබුණු ඔප්පු කරන්න පුළුවන් නඩුවක් ඒක. නමුත් එදා නව ක්‍රමය යටතේ පැය 24න් අධි චෝදනා පත්‍රයක් යැවීමෙන් විහිළුවක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ අදාළ පුද්ගලයාව ඇප පිට නිදහස් වීමත් සමඟ පැය 24න් අධි චෝදනා පත්‍රයක් යවන්න කියලා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක දැනුම් දීම නිසා. ඒක ගම්සභා සභාපතිවරයකුට වෙඩි තැබීම සම්බන්ධව නඩුවක්. ඔප්පු කරගන්න සාක්ෂි තිබුණා.”
මෙම වකවානුවේ මෙම තනතුර දේශපාලන පළිගැනීම් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ බවට බොහෝ චෝදනා නැගී තිබේ. ලලිත් ඇතුළත්මුදලි වැනි චරිත සම්බන්ධ සිදුවීම්ද ඊට ඇතුළත්ය. අවසානයේ එම චෝදනා ද හේතු කරගෙන එම තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රංජිත් අබේසූරිය අදාළ තනතුරින් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.
“මෙතැන සිදුවන භයානකම දේ තමයි ඇමැතිවරයාට ලැබෙන බලය. ඒ කාලේ පේරාදෙණිය සරසවියේ වීරසූරිය ශිෂ්‍ය ඝාතනය සම්බන්ධ නඩුව උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. රොනී ගුණසිංහට විරුද්ධව මිනීමැරුම් චෝදනා එල්ල වෙලා තිබුණා. ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළා ඔහුට විරුද්ධව මිනී මැරුම් චෝදනා ගොනු කරන්න කියලා. නමුත් ෆීලික්ස් ඩයස් ඒක නැවැත්තුවා.”
රොනී ගුණසිංහ වැනි චරිත පසුවද විවිධ අනීතික ක්‍රියාවල නිරත වූ බවට දේශපාලන ඉතිහාස කතාන්දර තුළ අසන්නට ලැබෙයි. එවැනි සිදුවීම්වලට ඉඩකඩ සැලසුණේ දේශපාලන බලයට යටත් වන තනතුරක් ස්ථාපිත කිරීමට එවක පාලකයන් කටයුතු කිරීම තුළ බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව අභිචෝදක තනතුරක් ස්ථාපිත කිරීම හරහා උත්සාහ දරන්නේ පසුගිය ආණ්ඩු සමයන්හිදී සිදු වූ බව කියන වංචා දූෂණ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක වීමට බව පැහැදිලිය.
හිටපු අගවිනිසුරුවරයා එම නිසාම වර්තමාන උත්සාහයේ පවතින ගැටලු සහගත තත්ත්වය පැහැදිලි කරයි.
“රාජපක්ෂලට හරි වෙනත් අයට හරි විරුද්ධ සාක්ෂි ඇති කොහේ හරි. ඒවා හොයලා හරි විදිහට කටයුතු කළා නම් හරි. අභිචෝදක වගේ තනතුරක් ගෙනාපු හැටියෙම මේක දේශපාලන පලිගැනීමක් වෙනවා. හරියට කටයුතු කරගන්න බැරිව යනවා. එදා ප්‍රේමචන්ද්‍ර නඩුවේ ඕක වුණා. අපිට ඉතා ප්‍රබල සාක්ෂි තිබුණා. හැබැයි දේශපාලකයෝ ඇවිල්ල වැඩේ ඉක්මන් කරන්න ගියා.”
කඩිනමින් නීතිය පසිඳලීමේ අවශ්‍යතාව පෙරදැරිව අමාත්‍යවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ බලපෑම් නව තනතුර වෙතද එල්ලවීමේ හැකියාව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
“එදා අමාත්‍යවරයා කිව්වා ඕක වහාම කරන්න කියලා. දැන් වුණත් ඒක වෙන්න පුළුවන්. දැන් නීතිපති ධුරය තියෙන්නෙ ස්වාධීනව. එතකොට නීතිපතිවරයා ටිකක් කල් අරගෙන බලලා නිසි පිළිවෙළ ඉදිරිපත් කරනවා.”
එය ආණ්ඩුව අපේක්ෂා කරන්නේ නම් අහිචෝදක කාර්යාලයේ ස්ථාපිත කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය.
“එදා මේ තනතුර නීතිපති දෙපාර්තමේන්තුවෙන් වෙන් කරගන්න බැරිව තිබුණා. දැන් මේක කළොත් නීතිපති දෙපාර්තමේන්තුව දෙකට කඩන්න වෙනවා. එහෙම වුණොත් මිනිස්සුන්ට විශ්‍රාම යන්න අයිතිවාසිකමක්වත් දෙන්න වෙනවා.”
ඒ අනුව රජයේ නීතිඥයන්ගේ වෘත්තීමයභාවය සහ අත්දැකීම් පිළිබඳවත් ගැටලු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සරත් එන් සිල්වා මහතාගේ පැහැදිලි කිරීම ඇසුරෙන් පෙනී යයි.
“මේ වගේ ආයතනයක් ස්ථාපිත කරනව නම් අදාළ තනතුරේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් පවා සිදු කරන්න වෙනවා. තනතුර සඳහා තෝරා ගන්නා ක්‍රමවේදය, ව්‍යවස්ථාදායක සභාවෙන් පත් වෙනවා නම් ඒ පත්වීම සිද්ධ වෙන්න ඕනෙ ක්‍රමවේදය වගේම බලතල සහ කාර්යය පිළිබඳ, ඉවත් කිරීම පිළිබඳ ව්‍යවස්ථාව තුළ පැහැදිලි කිරීමක් අවශ්‍යයි.”
1972 දී සිදු කිරීමට උත්සාහ කළ කටයුත්ත පිළිබඳව ඍජු අත්දැකීම් ඇති ජීවත්ව සිටින එකම චරිතය ලෙස තමාට ආණ්ඩුවට කීමට ඇත්තේ අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙස බව සරත් එන් සිල්වා මහතා කියා සිටියි.“හදිස්සියෙන් දේශපාලන ප්‍රතිවාදීන් හිරේ දාගන්න ඕනෑ නම් ඒක වෙන විදිහට කරගන්න.”
හිටපු අගවිනිසුරුවරයා සංවාදය අවසානයේ නැවත නැවතත් අවධාරණය කර සිටියේ දේශපාලන අවශ්‍යතා මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා පටිපාටියට අත තැබීමේ බරපතළකමයි.
• සංවාදය සටහන - චමිඳු නිසල් ද සිල්වා