2025 මාර්තු 08 වන සෙනසුරාදා

ඔන්න ආවා අලුත් වාහන... ඊළඟට...

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:04 151

2020 වර්ෂයේ මුල් භාගයේ සිට පනවා තිබූ වාහන ආනයන තහනම 2421/44 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2025 ජනවාරි 01 දා සිට ලිහිල් කිරීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කිරීම මෑත කාලයේ සමාජය තුළ දැඩි කතාබහකට ලක්වූ කාරණයක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල් වාහන තොගය පසුගිය පෙබරවාරි 27 දා හම්බන්තොට වරායට සේන්දු වූ අතර එම වාහන තොගයට වාහන 196 ක් අඩංගු විය. අනතුරුව 28 වැනිදා ද තවත් වාහන 7 ක් ජපානයේ සිට මෙරටට ළඟා වූ බවට වාර්තා විය.

අනතුරුව තායිලන්තයේ සිට ඩබල් කැබ් රථ විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට ගෙනැවිත් ඇති අතර, වාහන ආනයන සමාගම් පවසන්නේ එම වාහන සියල්ලම පාහේ මේ වනවිට පාරිභෝගිකයන් වෙන් කරගෙන ඇති බවය. ඊළඟට ගෙනෙන වාහන සෙසු ඉල්ලුම්කරුවන්ටද ලබාදෙන බව ආනයනකරුවෝ පවසති. ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ වනවිට වාහන 3000 කට අධික සංඛ්‍යාවක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒවා ටිකෙන් ටික ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද මෙවර මුලින් ආනයනය කරන්නේ ගැනුම්කරුවන් විසින් ඇණවුම් කරනු ලැබ ඇති වාහන වන අතර 2020 වසරට පෙර මෙන් වාහන ගෙනැවිත් තොග රැස්කර තබා ගැනීමට මෙවර අවසර නොලැබීම එයට හේතුවයි. ගෙන ආ වාහන මාස 3 ක් තුළ විකුණා අවසන් කළ යුතු යැයි කොන්දේසියක් පනවා තිබේ.

ජනාධිපතිවරයා වාහන ආනයන සීමා ලිහිල් කරමින් පැවසුවේ “මෙය ඉතාම සැලකිලිමත්ව සහ ප්‍රවේශම් සහගතව ගත් තීරණයක්” බවය. එසේම බදු පැනවීමක් සිදුකර ඇත්තේ අධික ඉල්ලුම පාලනය කිරීමට බව හෙතෙම පවසයි.
කෙසේ වුවද වාහනවලට අධික ලෙස බදු පැනවීම නිසා අලුත් වාහනයක් ගැනීම සිහිනයක් වනු ඇති බවට ජනතාව මැසිවිලි නගති. එයට හේතුව එන්ජින් ධාරිතාව සී.සී. 1000ට අඩු වාහනයක් පවා රුපියල් ලක්ෂ 75 - 100 ක් දක්වා මිල ඉහළ ගොස් තිබීමය. එසේම සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන වැගන්ආර් රථයක මිලද ලක්ෂ 65 – 75 දක්වා මිල ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. එසේම සුඛෝපභෝගී වාහන මිලද ඔරොත්තු නොදෙන සේ විශාල ලෙස ඉහළ ගොස් ඇත.

වාහන ආනයන සීමා ලිහිල් කිරීම, උණු හින්දා බොන්නත් බැරි - කිරි හින්දා අහක දාන්නත් බැරි තීරණයක් බව, මේ වනවිට බොහෝ අයට තේරුම් ගොස් ඇත. එක අතකට අත්තනෝමතික ලෙස වාහන ආනයනය කිරීමට අවසර දුන්නා නම් බොහොම උත්සාහයකින් යම් පමණකට ගොඩනගාගෙන ඇති රටේ ආර්ථිකය යළිත් වරක් අවදානම් වී රට පරණ පීල්ලට වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම් නිසා ආනයන සීමා පිළිබඳ තීරණ ගැනීම සීරුවෙන් මාරුවෙන් කළ යුතු දෙයක් බව රටට ආදරය කරන කාගේත් පිළිගැනීමක් විය. එම තත්ත්වය නිසා වාහන අපේ රටට විශාල වශයෙන් ගෙන එනු ඇතැයිද ඒ නිසා ඒවායේ මිල පහළ යනු ඇතැයිද උපකල්පනය කිරීමට කිසිවකුටවත් ඉඩක් නැත.

වාහන සීමා ලිහිල් කිරීම රටේ ආර්ථිකයට කොතරම් දුරට හිතකර හෝ අහිතකර වන්නේද යන්න මෙන්ම පොදු ජනතාවගේ වාහන සිහිනය සදාකාලිකවම සිහිනයක් බවට පත්වනු ඇතැයිද යන්න සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි. එසේම වාහන ආනයනය කිරීමෙන් පසු සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳවද පසු විපරමක් කළ යුතුව ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා මූල්‍ය පීඨයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ මෙම අවස්ථාවේ පෞද්ගලික වාහන ගෙන්වනවාට වඩා පොදු වාහන ආනයනය දිරිමත් කිරීම වැදගත් බවයි. දුම්රිය, බස් රිය හා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ඉක්මනින් ආනයනය කිරීම වැදගත් වෙනවා. එයට හේතුව එමගින් පොදු මහජනතාවට සහනයක් ලැබෙන නිසයි. අද අපේ දුම්රිය, බස් රිය හා ප්‍රවාහන වාහන අබලන්. සමහර ඒවා කල් පැනපුවා. පොදු වාහනවලින් රටට ජනතාවට ඉටුවෙන සේවය ඉතා වැදගත් නිසා මේ අවස්ථාවේදී ඒවාට ප්‍රමුඛත්වය දිය යුතුයි. අද රටේ දුවන බොහෝ වාහන අවුරුදු පහට වැඩියි. පැරැණියි. ඒ නිසා පොදු වාහන ආනයනය මුලින්ම දිරිමත් කළ යුතු වෙනවා. එවිට ජනතාව පෞද්ගලික වාහනවලට යන්නෙ නැහැ.

පෞද්ගලික වාහන ආනයනයට ඉඩ දීමෙන් ගෙවුම් ශේෂ හිඟයට අයහපත් ලෙස බලපානවා. සීමා නොකර කළහොත් එයින් රුපියල අවප්‍රමාණ වෙලා භාණ්ඩ හා සේවාවලට අයහපත් ලෙස බලපානවා. රජය පෞද්ගලික වාහන ආනයනයට සීමා පනවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත බවයි කිව යුත්තේ. එහෙත් මෙය දිගින් දිගටම පාලනය කිරීම දුෂ්කරයි. යම් විදියක ස්වයං පාලනයක් ඇතිවෙනවා නම් හොඳයි. වාහන ආනයනයෙන් විශේෂ විධිවිධාන බදු බිලියන 230 ක් පමණ බලාපොරොත්තු වෙනවා. රජය සැලසුම් කර ඇත්තේ බදු ගෙවන්නන්ගෙන් අය කරන ඍජු බදු අඩුකර ඒ ප්‍රමාණය විශේෂ බදුවලින් ආවරණය කර ගැනීමටයි.

සුඛෝපභෝගී වාහන බදුවලින් බිලියන 12 ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා. ඒ නිසා තමා සුඛෝපභෝගී වාහන අලෙවියට ප්‍රමුඛස්ථානයක් දීලා තියෙන්නෙ. රජය වාහන ආනයනයට අවසර දීලා තියෙන්නෙ කොන්දේසි රැසකට යටත් වන ලෙසටයි. එක් කොන්දේසියක් වන්නේ විශාල ලෙස වාහන ගෙනල්ලා ගබඩා කර තබාගන්න නොහැක කියන එකයි. ආනයනය කර දින 90 ක් තුළ අලෙවි කළ යුතු වෙනවා. ඊට වැඩි කාලයක් ගබඩා කර තබා ගැනීම වරදක්. වාහන ලියාපදිංචි කිරීමේ මෝටර් වාහන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඒවා ආනයනය කළේ කවදද කියලා බලනවා.

එහෙම ප්‍රමද වුවහොත් විශාල බදු මුදලක් ගෙවන්නට වෙනවා. ඉස්සර වගේ වාහන ගෙනල්ලා ගොඩගසාගෙන ඉන්න බැහැ. අලෙවි කරන්න ඇණවුම් ලැබුණු වාහන පමණයි ගේන්නෙ. කෙසේ වුණත් පොදු මහජනතාවට වාහන සඳහා මෙතරම් විශාල මුදලක් ගෙවන්න පුළුවන්ද යන ගැටලුව තියෙනවා. ඒ නිසා වෙළෙඳපොළ විශ්වාස කරලා ආනයනය කරන්න බැහැ. සීමිත වෙළෙඳපොළ හැර සාමාන්‍ය ජනතාවට ගැලපෙන වෙළෙඳපොළක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා වාහන අපේක්ෂා කරන ජනතාවට මෙමගින් විසඳුමක් ලැබෙන්නෙ නැහැ. කුඩා වාහනවල මිලද ලක්ෂ 50ට ඉහළයි. මේවා ආනයනය කිරීමේදී ගැටලු ද මතු වෙනවා. ව්‍යාපාරිකයන් වාහන විශාල ලෙස ආනයනය කරන්න මුදල් යට කරලා බලා ඉන්න කැමැති නැහැ. ඒ නිසා වර්තමානයේ පවතින තත්ත්වය සාර්ථක වේදැයි විමසිල්ලෙන් බලා සිටිය යුතු වෙනවා.

අනිත් ප්‍රශ්නය වෙන්නෙ අනාගතයේදී රටට එන වාහනවලට අපේ මාර්ග පද්ධතිය ප්‍රමාණවත්ද කියන එකයි. ඒ නිසා මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට යා යුතු වෙනවා. නැතිනම් ඉන්ධන පිරිවැය අධික වන අතර අනතුරුද බහුල විය හැකියි. මේ තත්ත්වය මත රජය අනාගතයේදී පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා. යම් ආකාරයක පොදු ප්‍රතිපත්තියක් තනලා පොදු වාහනවලටද පහසුකම් සැලසිය යුතුයි. පොදු වාහන කොතරම් ගෙනාවත් ඒවාට සරිලන මාර්ග පද්ධතියක් නැතිනම් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. වාහන හැසිරවීම කළමනාකරණය කළ යුතු වෙනවා. අපේ ආනයන වැයෙන් සියයට 30 ක් යන්නේ ඉන්ධන ආනයනයටයි. මේ නිසා ඉන්ධන වැය තවත් වැඩිවීම විශාල ගැටලුවක් වෙනවා.

මේ වනවිට ආනයන සීමා ලිහිල් කරලා පළමු වාහන තොගය ගෙනාවා. එහෙත් වාහනවලට ඇත්තේ කෘත්‍රිම මිලක්. ඒ නිසා මේ මිල ස්ථායිකරණය කළ යුතු වෙනවා. ඒ සඳහා මාස 6 ක් අවුරුද්දක් විතර යාවි. පවතින මිලට අනුරූප ලෙස රටේ පවතින පරණ වාහනවල මිල ගණන් වෙනස් විය යුතුයි. දැනට ආනයනය කර ඇති වාහනවලට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ විමසිල්ලෙන් බලා සිටිය යුතුයි. ඉදිරියේදී ආනයනයට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි වෙයිද? කොහොම වුණත් මේ අවස්ථාවේදී ව්‍යාපාරාත්මක ව්‍යුහයකින් පමණක් මේ දෙස බැලිය යුතු නැහැ.”

Sri Lanka Vehicle Importers Association හි ලේකම් අනිල් අධිකාරි පවසන්නේ අලුතෙන් වාහන ආනයනය දැනට ඇති වාහන වෙළෙඳපොළ බිඳවැටීමට හේතු වන බවයි. එය නිවැරදි වීමට සෑහෙන කාලයක් ගත විය හැකි බව ඔහු කියයි.
“මුලින්ම අපි රජයට ප්‍රශංසා කරනවා වාහන ආනයනයට ඉඩ දීමෙන් අපේ ව්‍යාපාරවල ප්‍රගතියක් ඇතිවීමට අවස්ථාව සැලසීම ගැන. මෙතෙක් කල් අවුරුදු පහක පමණ කාලයක් අපේ රටේ තිබුණේ කෘත්‍රිම වාහන වෙළෙඳපොළක්. එයට හේතුව ඉල්ලුම සැපයුමක් නොමැති වීමයි. එහිදී පරණ වාහන අසාධාරණ මිල ගණන්වලට අලෙවි වුණා. එසේම වාහන අලෙවියද අඩු වුණා. මෙයින් ව්‍යාපාරිකයාට මෙන්ම පාරිභෝගිකයාටද පාඩුවක් සිදුවුණා. ආනයනය විවෘත වීම නිසා ගබඩා කර ඇති වාහනවල මිල සෑහෙන්න අඩු වෙනවා. එහිදී ගෙනැවිත් ඇති එක් වාහනයකින් ලක්ෂ 150 ක පමණ පාඩු වෙන්න පුළුවන්. ඒ පාඩුව ආවරණය කිරීමට සෑහෙන කාලයක් යාවි.

දැනට ආනයනය කෙරෙන්නේ මිල වැඩි සුඛෝපභෝගී වාහනයි. එසේම බස් සහ වෑන් ආදී විශාල වාහනයි. ඩබල් කැබ් වාහනද ඒ අතර වෙනවා. වෙළෙඳපොළේ 2020 වර්ෂය අවසානයේදී වාහනවල තිබුණු මිල 2024 දී ආනයනය කරන වාහනවල මිලට සමාන වෙනවා. එවිට තිබුණු පැරණි වාහන බලාපොරොත්තු වූ මිලට අලෙවි කරගන්න ලැබෙන්නෙ නැහැ. විශාල එන්ජින් ධාරිතාවෙන් යුතු පාවිච්චි කළ වාහනවල මිල විශාල වශයෙන් කඩා වැටෙනවා.

ඒ වගේම තමයි සී.සී. 1000ට අඩු වාහනවල මිලද 2019 තිබූ මිල විශාල ලෙස අඩු වෙනවා. එයට හේතුව අලුතින් ගෙනෙන පොඩි වාහනවල මිලද ඒවාට සමාන වෙන හින්දා. සාමාන්‍ය ජනතාවට අඩු මිලට පාවිච්චි කළ කුඩා මෝටර් රථයක් මිලට ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අද වනවිට මහමග දුවන වාහනවල මිලද අඩු වෙන්න පුළුවන්. 2010 – 2013 පැරණි වාහනවල මිලට මෙම තත්ත්වයෙන් එතරම් බලපෑමක් ඇති නොවන බව කිව යුතුයි. ලක්ෂ 50 – 60 මිල වන වාහනවලට කිසිදු වෙනසක් ඇති නොවී පැවති මිලටම තියෙනවා. එයට හේතුව ඒවාට සමාන වන වාහන ආනයනය නොවීමයි.

ඒ.එම්.ඩබ්ලිව්. සමාගම ඉන්දියාවෙන් අඩු එන්ජින් ධාරිතාවේ මිල අඩු වාහන අද ඇණවුම් කළත් ඒවා අපට ලැබෙන්න තව මාස හයක විතර කාලයක් ගත වෙනවා. එයට හේතුව නිෂ්පාදන සමාගම් ඒවා අලුතින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට සැපයිය යුතු නිසයි. නිෂ්පාදනය කළ වාහන ගබඩාවල නැහැ. ඒ නිසා ඇණවුම් ලැබුණාට පසු නිෂ්පාදනය කරලයි පිට කරන්න වෙන්නෙ. ඒ නිසයි මම කිව්වෙ දැන්ම ඒවායින් බලපෑමක් ඇති නොවන බව.

ජපානයේ නිෂ්පාදනය කර අවුරුදු තුනක් පාවිච්චි කළ වාහන ගෙන්වන්න පුළුවන්. ඒ වාහන හොඳ ධාවන තත්ත්වයෙන් යුක්තයි. ඒවා ඇණවුම් කළ විගසම වගේ ලබාගන්න හැකි වෙනවා. කොහොම වුණත් මෙයට වඩා පැරැණි වන තරමට නඩත්තු කිරීමේ වියදම් වැඩි වෙනවා. ඒවාට අවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීමට වැඩියෙන් විදේශ විනිමය වැය වෙනවා. කොහොම වුණත් අප බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව පියවරෙන් පියවර වාහන ආනයන කොන්දේසි සංශෝධනය කරාවි කියලා. එවිට අද තියෙන තත්ත්වය වෙනස් වෙනවා. ඒ නිසා සිදුවන්නේ කුමක්ද යන්න අප නිරීක්ෂණය කළ යුතුයි. ලැබෙන ඇණවුම්වලට ආනයනය කර සැපයීම තමා වැදගත් වෙන්නෙ. එහෙම නැතිව අධික ලෙස වාහන ගෙන්වා ගබඩා කර තබා ගැනීම රටට අහිතකර වෙනවා. ඒ නිසා ඇණවුම අනුව ආනයනය කරන්නට අවසර දීම හොඳයි. එවිට අනවශ්‍ය ලෙස විදේශ විනිමය නාස්ති වීම වැලකෙනවා.
වාහන ආනයනයට අවසර දීම නිසා අනාගතයේදී වාහන වෙළෙඳපොළ සාමාන්‍යකරණය වේ යැයි බලාපොරොත්තු තබාගන්න පුළුවන් වෙනවා.”

• යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05