විදේශ ගමන් බලපත්‍රය යනු හුදෙක් රටකින් තවත් රටකට ගමන් කිරීමට පවතින බලපත්‍රයම පමණක් නොවෙයි. එහි මූලික අරමුණ විදේශ ගමන් සඳහා අවසර පත්‍රයක් ලෙස කටයුතු කිරීම වුවද, යම් රටක විදේශ ගමන් බලපත්‍රය එම රාජ්‍යයෙහි අභිමානය සහ කීර්තිය ප්‍රදර්ශනය කරන සාධකයක් වෙයි. යම් රටක විදේශ ගමන් බලපත්‍රයකට ඉහළ පිළිගැනීමක් ලැබේද, එම රාජ්‍ය ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහිත රාජ්‍යයක් බව අවිවාදිතය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ කථිකාව, අභිමානය සහ කීර්තියක් රැගෙන එන්නක් නොවෙයි. එරට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම පිළිබඳ පවතින ගැටලුව වසරකට අධික කාලයක් තුළ තවමත් විසඳී නොමැත. එසේම විදේශ ගමන් බලපත්‍රයේ ගුණාත්මකභාවය ද ක්‍රමිකව අවම වෙමින් ඇති බවට චෝදනා නැගෙයි.
පසුගිය සතියේ මෙම චෝදනාව බරපතළ ලෙස නැගුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය. ඔහු කියා සිටියේ අලුතින් මුද්‍රණය වන විදේශ ගමන් බලපත්‍ර තොරතුරු වැරදි ලෙස මුද්‍රණය වී ඇති බවකි.
“අලුත් පාස්පෝට් පොතේ ආරක්ෂණය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. අලුත් පාස්පෝට් එකේ ආරක්ෂිත අංකය තියෙන්නෙ නියමිත තැන නෙවෙයි. කවුරු හරි මේ ගැන අධිකරණයට ගියොත් අලුත් පාස්පෝට් අවලංගු කරන්න සිදු වෙනවා. එමෙන්ම අලුත් පාස්පෝට් එකේ ජාත්‍යන්තර ප්‍රමිතිය නැහැ.
අලුත් පාස්පෝට් එකේ පිටු අංක 36 බලන්න. එහි යාපහුව වෙනුවට තියෙන්නෙ වෙන නමක්. පිටු අංක 31 හි තලෙයිමන්නාරම වෙනුවට ගහලා තියෙන්නෙ වෙන නමක්. අකුරු වැරදියි. ඉතින් රටේ ජාත්‍යන්තර අභිමානයට වෙන්නෙ මොකක්ද?”
දේශපාලන අභිලාෂ සහිතව ඉදිරිපත් වුවද මෙය බැහැර කළ නොහැකි චෝදනාවකි. විදේශ ගමන් බලපත්‍රය යනු රාජ්‍යයක ප්‍රමුඛ ලියැවිල්ලක් වන නිසාම, මෙම චෝදනාව පිළිබඳව දේශපාලන අර්ථ විවරණයන්ගෙන් තොරව සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි.
මන්ද යත් ලොව තුළ විදේශ ගමන් බලපත්‍ර දෝෂ සහිත වීමෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳව පිළිගැනීම් කිහිපයක් වෙයි. යම් හෙයකින් ශ්‍රී ලංකාවේ නව විදේශ ගමන් බලපත්‍රය ද දෝෂ සහිත මුද්‍රණයක් වන්නේ නම් මෙම ගැටලුවලට ශ්‍රී ලාංකිකයන්ටද මුහුණ දීමට සිදුවනු ඇත.
විදේශ ගමන් බලපත්‍ර දෝෂ සහිතව මුද්‍රණය වීමෙන් ඇතිවන ගැටලු:
1. ආරක්ෂක දුර්වලතා - දෝෂ සහිත මුද්‍රණය නිසා ආරක්ෂක සංකේත හා ලක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගැටලු මතුවිය හැකිය.
2. යන්ත්‍ර මගින් හඳුනා නොගැනීම - පාස්පෝට් කියැවීමේ යන්ත්‍රවලට දෝෂ සහිත පාස්පෝට් හඳුනා ගැනීමේ අපහසුතා ඇතිවීමේ අවදානමක් තිබේ.
3. වලංගුභාවය පිළිබඳ ගැටලු - දේශසීමා පරීක්ෂාවලදී පාස්පෝට් එක අවලංගු ලෙස සැලකුවහොත් ගැටලු මතුවිය හැකිය.
4. ව්‍යාජ ලේඛන සඳහා ඉඩ ලැබීම - මුද්‍රණ දෝෂ පවතින විට ව්‍යාජ පාස්පෝට් හඳුනා ගැනීම අපහසු වීම හේතුවෙන් අදාළ විදෙස් ගමන් බලපත්‍රය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක් පවතී.
5. ජාත්‍යන්තර විශ්වාසනීයත්වය අඩුවීම - රටක දෝෂ සහිත පාස්පෝට් නිතර දැකීමෙන් එම රටේ විදේශ ගමන් ලේඛන පිළිබඳ විශ්වාසනීයත්වය අඩුවීම සිදුවේ.
මෙම ගැටලු සියල්ලම එක විට ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය අරභයා බලපැවැත්වෙන බව අපි නොකියමු. එහෙත් යම් හෙයකින් චෝදනා සත්‍ය වුවහොත් ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයටද ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. බලධාරීන්ගේ කඩිනම් අවධානය මේ සඳහා යොමුවිය යුත්තේ එබැවිනි.
පසුගිය ආණ්ඩුවට එල්ල වූ චෝදනා අතර ප්‍රමුඛ චෝදනාවක් වූයේ පාස්පෝට් ප්‍රශ්නය විසඳීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීමයි. ඒ පිළිබඳ කඩිනම් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමේ පොරොන්දුව වර්තමාන පාලකයන් මැතිවරණයට පෙර ලබා දුන් බව අමතක නොකළ යුතුය. එබැවින් තවදුරටත් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ අර්බුදය අප අතර ඉතිරි වී තිබීම කනගාටුවට කරුණකි. ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවීමද එම කනගාටුව තීව්ර කරයි.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මතු කරන කරුණු අතර පෙර විදේශ ගමන් බලපත්‍රයට වඩා නව බලපත්‍රය පිටු 16 කින් ප්‍රමාණාත්මකව අඩුවීමද යම් අවධානයක් යොමුකළ යුතු කරුණකි. එසේම විදේශ ගමන් බලපත්‍ර සඳහා අය කරගනු ලබන මුදලට සාධාරණයක් සිදුවන්නේද යන්නද නැවත බලධාරීන් තමන්ගෙන්ම ප්‍රශ්න කරගත යුතුව තිබේ. එසේම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදු කරගෙන යනු ලැබූ ජාවාරම් සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්න වගකිවයුත්තන් මහජනතාවට පැහැදිලි කළ යුතුය. එසේම අදාළ වංචා සිදු නොවීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද යන්න ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් වර්තමාන පාලකයන් සතු වේ.
එහෙත් ඇතැම් තැනක අසන්නට ලැබෙන්නේ තවදුරටත් වංචනිකයන් සිය කටයුතු රහසිගතව කරගෙන යන බවකි. තත්ත්වය එසේ නම් සැබෑවටම විදෙස් ගමන් බලපත්‍ර අර්බුදය තවමත් විසඳී නොමැත.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එය ඉකුත් ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමක් බව වාර්තා විය. කෙසේ වෙතත් අමතක නොකළ යුතුම කරුණ නම් මෙම ලැයිස්තුවට පවා නම් කරනු ලබන්නේ ස්ථාන 99ක් පමණි. එසේ නම් සලකා බැලූ ස්ථාන 99 න් 91 වැනියා බවට පත්වීම රටක් ලෙස අපට සතුටු වීමට කරුණක් දැයි සිතා බැලිය යුතුය.
හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් ආයතනය, එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා ගුවන් ගමන් බලපත්‍රවල ප්‍රබලත්වය ශ්‍රේණිගත කරන ලොව ප්‍රධානතම ආයතනයකි. ඔවුන්ගේ මෙවර ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ප්‍රබලතම ගුවන් ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන් කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි. 91 වැනි ස්ථානයේ රැඳෙන ශ්‍රී ලංකාවට වීසා රහිතව ගමන් කළ හැකි රටවල් සංඛ්‍යාව 42 කි.
විදේශ ගමන් බලපත්‍රයක (පාස්පෝට්) ප්‍රබලතාවය මැන බැලිය හැකි සාධක කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් අපට හඳුනාගත හැකිය.
1. වීසා නිදහස් රටවල් සංඛ්‍යාව - පාස්පෝට් එකක ප්‍රධානතම ප්‍රබලතා දර්ශකයකි. වීසා අවශ්‍යතාවයකින් තොරව පිවිසිය හැකි රටවල් සංඛ්‍යාව වැඩි වූ තරමට පාස්පෝට් එකක ප්‍රබලතාවය ඉහළය.
2. වලංගු කාලසීමාව - පාස්පෝට් එකක වලංගු කාලසීමාව (සාමාන්‍යයෙන් වසර 5-10) එහි ප්‍රබලතාවට බලපායි.
3. භෞතික ආරක්ෂක සාධක - නවීන පාස්පෝට්වල ඇති ජීවමිතික දත්ත, RFID චිප්, හෝලෝග්‍රෑම්, අධෝරක්ත තීන්ත, සූක්ෂම අක්ෂර වැනි ආරක්ෂක සාධක ප්‍රමාණය.
4. සාර්වත්‍රික පිළිගැනීම - ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හා දේශසීමාවල පාස්පෝට් හඳුනා ගැනීමේ පහසුව.
5. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලතාවය - ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම.
6. හැඳුනුම්පත් දර්ශකාංක - හෙන්ලි පාස්පෝට් දර්ශකාංකය, ආර්තෝන් කැපිටල් ගෝලීය සංචරණ දර්ශකාංකය වැනි ජාත්‍යන්තර දර්ශකාංක.
වීසා රහිතව ගමන් කළ හැකි රාජ්‍යයන් සංඛ්‍යාව තීරණය කිරීම සඳහා කටයුතු කිරීම රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකි. එහෙත් මෙහි සඳහන් අනෙකුත් කරුණු විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු ඒවාය. මෙරට නව විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේදීද මෙයාදී කරුණු සලකා බැලූ බව පසුගිය සමයේදී ප්‍රකාශයට පත් වී තිබුණි. එම කටයුතු විධිමත්ව සිදුවී තිබේ නම් කිසිදු ගැටලුවක් නොමැත. එහෙත් මේ වන විට එල්ල වෙමින් පවතින චෝදනා හමුවේ ඒ පිළිබඳ නැවත විමසා බැලීමක අවශ්‍යතාවය මතුවෙමින් පවතී.
මේ අනුව නව විදේශ ගමන් බලපත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳ අගැයීමක් සහ පැහැදිලි කිරීමක අවශ්‍යතාවය ශ්‍රී ලාංකිකයෝ අවධාරණය කරති. එසේම විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් ගැටලු සහගත ස්වරූපයේ කඩිනම් වෙනස්කමක්ද ශ්‍රී ලාංකික පුරවැසියෝ බලාපොරොත්තු වෙති.
• චමිඳු නිසල් ද සිල්වා