2025 මාර්තු 15 වන සෙනසුරාදා

අඩු මිල බෝතලේ ළඟදීම එනවා!

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:05 167

මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වසරේ ජනවාරි මස 11 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන මත්පැන් හා මද්‍යසාර නිෂ්පාදනවල මිල ගණන් 6% කින් ඉහළ දැමීමට කටයුතු කර තිබිණි. ඒ මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද සමඟය. එම ගැසට් පත්‍රයට අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 106 කින් පමණ ඉහළ ගිය අතර, දුම්වැටියක මිල රුපියල් 10 කින් පමණ ඉහළ ගොස් ඇත.

ජනවාරි මාසයේ සිදු කරන ලද මිල වැඩි කිරීමෙහි අරමුණ වී ඇත්තේ, රාජ්‍ය සුරාබදු ආදායම වැඩිකර ගැනීම සහ මත්පැන් භාවිතය අඩුකර ගැනීමය. එමගින් සෞඛ්‍ය, ආර්ථික හා සමාජයීය ගැටලු‍ ගණනාවකට ධනාත්මකව බලපෑමක් ඇතිවන බව රජය උපකල්පනය කළ නමුත් අද වන විට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. ඒ ජනතාව නීති විරෝධී මත්පැන්වලට හුරුවීමය.

මෙම ගැටලු‍වට පිළියමක් වශයෙන්, නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩු මිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. පසුගිය දිනක රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්, උදය කුමාර මහතා පැවසුවේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීති විරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවය.

එමගින් රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පවසා සිටියේය.

“මන්ත්‍රීවරයකු කිව්වා නීති විරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත. එදා ඉඳන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීති විරෝධී මත්පැන් පැත්තට ගිය අයව නීත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්. දැන් පසුගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්දනය කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ. බද්ද වැඩි කිරීම නෙවෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් නියාමනය කරනකොට අපේ ආදායම වැඩි වෙන්න පටන් ගත්තා. ඒ නිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙවෙයි, නීති විරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානුකූල පැත්තට ආවා. ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනවා තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්.

අඩු මිලට හොයන පාරිභෝගිකයාට ගැලපෙන විදිහට ඒ මිලට අලු‍ත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50 කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඒකට අදාළ යෝජනාවක් ගෙනල්ලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා.”

එහිදී අදහස් දැක්වූ සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ 2022 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සැර මත්පැන් භාවිතය වාර්ෂිකව අඩුවෙමින් පවතින බවයි.

නීති විරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රව්‍යයන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බව ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙහි පළමු අදියර ලෙස මිලිලීටර් 180 ක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇති අතර, එමගින් රුපියල් බිලියන 50 ත් 100 ත් අතර බදු ආදායමක් ද ලබාගත හැකි බවයි.

මේ පිළිබඳව “දේශය”‍ කළ විමසීමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක කපිල විජේසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“මේක තවම තියෙන්නේ යෝජනා මට්ටමේ. අපි යෝජනා කරනවා ආයතන මට්ටමෙන් මේ වගේ අඩු මිලට මත්පැන් වර්ගයක් හඳුන්වා දුන්නොත් නීති විරෝධී මත්පැන්වලට යන අය එතැනින් මුදවාගෙන මෙතැනට ඇදගන්න පුළුවන් වෙයි කියලා.”‍ මෙම නව මත්පැන් වර්ගය වෙළෙඳපොළට නිකුත් වන දිනය පිළිබඳ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එය නිශ්චිතව කිව නොහැකි බවයි.

“අපිට එහෙම හරියටම කියන්න බැහැ. මොකද මත්පැන් නිෂ්පාදනය කරන්නේ සමාගම්වලින්. රජයෙන් මත්පැන් හදන්නේ නෑ. අපි ඒ සමාගම්වලට යෝජනාවක් විදිහට තමයි මේක ඉදිරිපත් කරල තියෙන්නෙ, සැර අඩු මත්පැන් වර්ගයක් හදන්න කියලා. මොකද සැර වැඩි වුණොත් අඩු මිලට දෙන්න බැහැ. සැර වැඩි වුණොත් බද්ද අදාළ වෙනවා.”‍

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නීති විරෝධී මත්පැන්වලට පුරුදු වී ඇති පිරිස, අඩු මිලට හඳුන්වාදෙන මත්පැන් සඳහා යොමු කරවාගත හැකි බවයි. නමුත් මත්පැන් වර්ග ප්‍රවර්ධනයට අවසරයක් නැති බැවින් ඒ සඳහා කළ හැකි වන්නේ ජනතාව දැනුම්වත් කිරීම පමණක් බව හෙතෙම පැවසීය. අඩු මිලට ලබා දෙන මත්පැන් වර්ගයෙහි ප්‍රමිතිය පිළිබඳ අදහස් දක්වමින් කපිල විජේසිංහ මහතා කියා සිටියේ, “අඩු මිලට ලබාදෙනකොට කොලිටි එක ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් මත්පැන් වර්ගයක් නිපදවනකොට ලංකාවේ යොදාගන්න ස්ප්‍රීතුවේ සැර 95% ප්‍රමාණය තමයි යොදාගන්නෙ. ඒ කියන්නේ මද්‍යසාර ප්‍රමාණය 95% ප්‍රතිශතයෙන් අරගෙන තමයි අඩු කරලා මත්පැන් නිපදවන්නෙ. නමුත් අඩු මිලට මත්පැන් නිපදවීමේදී ස්ප්‍රීතුවේ සැර 85% ප්‍රමාණයට යොදාගෙන තමයි මත්පැන් නිපදවීමට සිදුවෙන්නෙ. මද්‍යසාර ප්‍රමාණය 85% ප්‍රතිශතයට අරගෙන මත්පැන් නිපදවලා, ඒක රසපරීක්ෂක වෙත යොමු කරලා අනුමැතිය අරගෙන තමයි වෙළෙඳපොළට නිකුත් කිරීමට අපි යෝජනා කරලා තියෙන්නෙ.”‍ යනුවෙනි.

මත්පැන් නිෂ්පාදනයෙන් ආර්ථිකයට ලැබෙන වාසිය ගැන විමසීමේදී, එය ගණනය කරනුයේ ඒ සඳහා යොදාගන්නා ස්ප්‍රීතු ප්‍රමාණය අනුවය. ආසන්න වසර දෙක විමසා බැලීමේදී මද්‍යසාරයට යොදා ගැනීමට භාවිත කරනු ලබන ස්ප්‍රීතු ප්‍රමාණය දළ වශයෙන් ලක්ෂ අටකින් පමණ අඩු වී තිබේ. ඊට සාපේක්ෂව රජයට ලැබෙන බදු මුදල් ද අඩු වී තිබේ. එසේ සිදුවීමට එක් හේතුවක් වශයෙන් නීති විරෝධී මත්පැන්වලට ජනතාව යොමුවීම ද බලපා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක කපිල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. නීති විරෝධී මත්පැන් වැටලීම සඳහා ලංකාව පුරා සුරාබදු කාර්යාල හැට දෙකක් ඇති අතර, විශේෂ මෙහෙයුම් ඒකක පහක් පිහිටුවා තිබේ. ඒ හරහා දිනපතා වැටලීම් සිදු කරන බවද හෙතෙම පැවසීය.

• මංගලා පවිත්‍රානි