2025 මාර්තු 15 වන සෙනසුරාදා

රජරට දොස්තර නෝනාගේ ඛේදාන්තය!

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03 195

“මම වැඩ කරන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ. පළමුවැනි වතාවට මම ශික්ෂණ රෝහලේ වැඩට එන්නේ 2006 දී. මේ ගතවූ අවුරුදු 19 ම මට ගෙවාගන්න පුළුවන් වෙන්නේ මේ රෝහල ආශ්‍රිතව. මම දන්නේ මෙච්චර කල් මම ජීවත්වෙලා තියෙන්නේ ඉතාම අනාරක්ෂිත සේවා ස්ථානයක කියන එක පමණයි.”

මුහුණුපොතේ පිටු අතර මේ දීර්ඝ සටහන හමුවූයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය කිලෝෂණී හෙන්දවිතාරණ මහත්මිය දැමූ සටහනකිනි. මේ දිනවල මුළු රටේම ආන්දෝලනාත්මක ඛේදවාචකයක් දෙස බොහෝ දෙනා ඇසිපිය නොහෙලා බලා සිටිති. ඒ උත්තරීතර පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් නිසාය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකාගාර පරිශ්‍රයේදී වෛද්‍යවරියකට අතවරයක් වී ඇති බවට මුල් වරට අනාවරණය වූයේ මැතිසබයෙනි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරියක් විශේෂඥ වෛද්‍ය නිල නිවෙස වෙත යමින් සිටියදී ඇය පසුපස ලු‍හුබැඳ පැමිණි කාමාතුරයකුගේ ගොදුරක් බවට පත්වූයේ ඉකුත් 10 වැනිදාය. පොලිසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා ඇති අතර එහි සඳහන් ආකාරයට වෛද්‍යවරිය පසුගිය 10 වැනිදා සවස 3:30 දක්වා රාජකාරි කළ බවත් ඉන්පසු පිටතට ගොස් යළි නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේදී තම කාමරයට ඉදිරිපස කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයකු බෙල්ලට පිහියක් තබා අනෙක් අතින් කට වසා තමා බියගන්වා තමා ලවාම කාමරයේ දොර විවෘත කරගෙන ඇතැයිද පැමිණිල්ලේ සඳහන් වෙයි.

එක් අවස්ථාවක සැකකරු අත තිබූ පිහියෙන් තමා ඔහුට අනින්න උත්සාහ කළ බවත් එයින් තම අත කැපුණු බවත් ඒ අවස්ථාවේ ඔහු දැඩි කෝපයට පත් වූ බවත් එවිට තමා මරා දමාවි යැයි බියක් දැනුණු බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි. එසේම සැකකරුගේ ස්වභාවය සම්බන්ධයෙන් සහ සැකකරුගේ එම අවස්ථාවේ හැසිරීම සම්බන්ධයෙන්ද පැමිණිල්ලේ සඳහන් වෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිමනක් පැවසීමට මම උත්සාහ නොකරමි.

සැකකරු ඇයට අතවර කර ඇයගේ ජංගම දුරකතනයද රැගෙන පලා ගොස් ඇති අතර වෛද්‍යවරිය නැවත රෝහලට පැමිණ වාට්ටුවේ වෛද්‍යවරයාට දන්වා ඔහුගේ දුරකතනයකින් සිය පියාට සහ සමන්තුරේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු වන තම ළඟම මිතුරාට දන්වා රෝහල්ගත වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කාලයක් යුද හමුදා සේවයේ කටයුතු කර ඇති අතර ඉන්පසු වෙඩි වැදීමකින් පසු හමුදාවෙන් පැන ගොස් පැවිදි දිවියක් ගත කර ඇතැයිද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ගල්කිස්ස ප්‍රදේශයේ කොල්ලකෑම් සිද්ධියකට අත්අඩංගුවට පත් වී රිමාන්ඩ් බාරයේ සිට ඇති සැකකරු ඉකුත් 10 වැනිදා ඇප ලබා නිවෙසට යමින් සිටියදී මෙම අපරාධය කර ඇති බවටද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. සිද්ධියෙන් පසු දුරකතන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කිරීමේදී දුරකතනයක් ගල්නෑව අවුකන දුම්රියපොළ ආසන්නයේ ඇති බව නිරීක්ෂණය වී ඇති අතර ඒ දත්ත අනුව යමින් සැකකරු ගල්නෑව හෙලබදුගම ප්‍රදේශයේ ගල් වළක් ආසන්නයේ නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් පරීක්ෂණවලින් මේ වනවිට සොයා බලන ආකාරයට සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇල්මක් දක්වන්නේද ඒ සඳහා මුදල් සොයා ගැනීමේ අදහසින් රෝහල වෙත පැමිණියේද යන්න විමසුමට ලක්වෙයි. එසේම සැකකරු වෛද්‍යවරියගේ දුරකතනයෙන් එවැනි අවස්ථාවක හින්දි සිංදු ශ්‍රවණය කිරීම මගින් ඔහු යම් රෝගී තත්ත්වයක පසුවනවා දැයි පරීක්ෂණ සිදු කෙරේ.

අපරාධයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරු පැය 48 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය. එසේම වෛද්‍යවරියගෙන් පැහැරගත් බව කියන දුරකතනයක් ළඟ තබාගැනීම සහ සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුගේ සොහොයුරිය ද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට විරෝධය පාමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් රට පුරා සංකේත වැඩවර්ජනයක් දියත් කළ අතර සැකකරු අත්අඩංගුවට ගත් පසුවත් වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක විය. කෙසේ වුවත් වින්දිත වෛද්‍යවරියගේ සිදුවීම දිගින් දිගටම පැවසීමට වඩා මෙහි ඇති හරය අවබෝධ කරගැනීම වටිනා බව මම සිතමි. එහෙයින් තැලෙන යකඩය දිගින් දිගටම තැලීම වින්දිත වෛද්‍යවරිය ඇතුළු ඇයගේ පවුලේ සමීපතමයන්ට කරන තවත් දරුණු ගණයේ අපරාධයකි. එහෙත් මෙම සිදුවීමේ පැවසිය යුතුම කරුණු රැසක් අන්තර්ගත වෙයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේත් විවිධ අදහස් මතවාද ඉදිරිපත් වන අතර වර්තමානයේ ඇසෙන දෙයක් වනුයේ මෙම සිදුවීම මෙතෙක් සිදුවූ පළමු සිදුවීම දැයි ප්‍රශ්න කරන ඇත්තන්ද මේ මිහිපිට සිටින වග අපි මාධ්‍යයෙන් දුටුවෙමු. ඔවුන් නිවැරැදි වන්නේද? නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය. මෙය පළමු සිදුවීම නොවීමය. ඒ නිසාම ඉතිහාස කතා පෙළක සාරාංශය මෙසේ ගෙනහැර දැක්වීමට සිදුවීම නොකරම බැරිය.

ඉන්දියාවේ කොල්කොටා රෝහලක පුහුණු වෛද්‍යවරියක ලෙස සේවය කළ 31 හැවිරිදි කාන්තාවකට අතවර කර ඝාතනය කිරීමේ චෝදනාවට රෝහලේ සේවකයෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියා සිතුවාට ඒ වගේම මීගමුව මහ රෝහලේ 6 වැනි තට්ටුවෙන් පහළට වැටී මියගිය ඇඟලු‍ම් සේවිකාවට වූ අතවර චෝදනාවකට රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට පත් විය.  

වල්පිට කංකානමලාගේ සුනිල් පෙරේරා යනුවෙන් බොහෝ දෙනා නොදන්නා වුවද  ගෝනවල සුනිල් යැයි කිවහොත් බොහෝ දෙනා දනිති. ඔහු හැත්තෑව දශකයේ නම තැබූ ලයිසන් චණ්ඩියකු ලෙස ප්‍රකටය. ඔහු 1981 දී වසර 15 ක සිරදඬුවමකට හිරේට නියම වූයේ වෛද්‍යවරයකුගේ දැරියකට අතවර කිරීමේ අපරාධයකටය. මෙම අපරාධය වූයේ ගාලු‍මුවදොර පිටියේදීය. එහෙත්  හැත්තෑඅටේ මැතිවරණයෙන් බලයට පත් වූ ජේ.ආර්. 1981 සර්වජන ඡන්ද බලයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් වූ ජනාධිපති සමාව යටතේ ඔහුට නිදහස ලැබිණි.

අනුරාධපුර රෝහලේ සිද්ධියෙන් පසු මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මැතිසබේදී මෙසේ පැවසුවේය.

“මේ සිදුවීමට කලින් මේ තරම් බරපතළ නොවුණත් මෙයට ආසන්න සිදුවීම් කිහිපයක් පසුගිය වසර කිහිපයේම මෙම රෝහල් පරිශ්‍රයේ නිල නිවාස ආසන්නයේ ඉඩම්වල සිදුවී තිබෙනවා. එහෙත් රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා, රෝහලේ පරිපාලනය මෙම සිදුවීම් වළක්වාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කිසිවක් අරගෙන නෑ. ඒ සිදුවීම් වර්ධනය වී ඕනෑම කෙනකුට රෝහලට ඇතුළු වීමට හැකි තත්ත්වයට පරිසරය නිර්මාණය වී තිබෙනවා. රෝහලේ දැනට තිබෙන ආරක්ෂක සේවයේ අඩුපාඩු තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට සූදානම්.” සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මෙම ප්‍රකාශයෙන්ද තහවුරු වන්නේ වෛද්‍ය කිලෝෂිණීගේ සටහනේ සත්‍යතාවයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ රවි කුමුදේෂ් මහතා පවසනුයේ රෝහල්වල රාජකාරි සැපයීමේදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් පවතින බවයි. සෞඛ්‍ය ආයතනවල රෝගීන්ට සිදුවන අතවර හෝ අපරාධ පිළිබඳ සාධාරණය ඉටු කරගැනීම සඳහා රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන බිහිවිය යුතු වුවද මෙතෙක් ඒ සඳහා හඬක් නගන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිති බවයි.

සෞඛ්‍ය සේවයේ පමණක් නොව මෙරට වෙසෙන සෑම පුද්ගලයකුටම කාන්තාවකටම දරුවකුටම නිදහසේ ජීවත්වීමේ ව්‍යවස්ථානුකූල අයිතියක් ඇත. එය තහවුරු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වී තිබේ.

• සසංක චලන ගිම්හාන