මේ රටේ නීතිය බොහෝ අයට සෙල්ලමක් වී ඇත. නීතිය මැටි ගොඩක් සේ ගෙන ඒ ඒ අයට ඕනෑ විදිහට ඕනෑ ප්‍රමාණයෙන් සාදාගෙන රස විඳින්නට ඇතැම් බලවන්තයෝ පුරුදු වී සිටිති. එක්තරා පොලිස්පතිවරයෙක් නීතිය නවන්න ද උත්සාහ කළේය. එහෙත් නීතියේ වෙනසක් නොමැත. නීතිය තලන්න තලන්න මුවහත් වනවා මිස මොට්ට වන්නේ නැත. අවසානයේ කාටවත් නොදැනීම එසේ නීතිය සමඟ සෙල්ලම් දැමු බොහෝ දෙනකුට සිදුවූයේ එකී නීතියෙන්ම ගෙල සිඳලා ගැනීමටය.
මේ රටේ දේශපාලන ගොදුරු බවට පත් වී නීතියෙන් විනාශ වූ පොලිස් ලොක්කෝ බොහෝ වෙති. රොනී ගුණසිංහ, ඩග්ලස් පීරිස් එවකට පැවති ආණ්ඩු සතුටු කරන්නට ගොස් විනාශයට පත් වූහ. ඉන් පසුව මහින්ද බාලසූරිය, අනුර සේනානායක, වාස් ගුණවර්ධන පසුගිය කාලයේ ඒ අතරට එක්වූහ. මෑතක පුජිත ජයසුන්දරය. අද දේශබන්දු තෙන්නකෝන්ය. අසීමිත දේශපාලන අතපෙවීමත්, අසීමිත දේශපාලන සම්බන්ධතාත්, නොසිතූ විරූ තනතුරු තාන්න මාන්නත් නිසා මේ සියල්ලන්ට නීතිය නවන්නට ගොස් නීතියේ දෙවඟනගේ කඩුවෙන්ම ගෙල සිඳගැනීමට සිදුවිය.
මේ අතරින් අද කතානායකයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාය.
2023 දෙසැම්බර් 31 දා මධ්‍යම රාත්‍රියේ වැලිගම W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අට දෙනකුගෙන් යුත් අබිරහස් මෙහෙයුම් කණ්ඩායමේ පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියේය. තවත් අයෙක් තුවාල ලැබීය. කොළඹ සිට වෑන් රථයකින් පොලිස් කණ්ඩායමක් W15 හෝටලය වෙත ගියේ මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට බවත් හෝටලය දෙසින් පිරිසක් වෙඩි තැබූ බවත් පසුව එම කණ්ඩායම ද වෙඩි තැබූ බවත් මේ වෙඩි හුවමාරුව දුටු වැලිගම පොලිසියේ ජංගම මුර සංචාර රථය එළවා එලවා මේ වෑන් රථයට වෙඩි තැබූ බවත් එය අත්වැරදීමක් නිසා සිදුවු සිදුවීමක් ලෙසත් ඒ කතාව එවකට මාධ්‍ය ප්‍රකාශකවරු රසවත් ලෙස පැවසූහ.
එලෙස ලස්සනට කීවත් ඇත්තටම ඒ තුළ ප්‍රශ්නකාරී ප්‍රධාන ගැටලුවක් විය. පළමුවැන්න නම් මෙලෙස හඹා ගිය පිරිස වෙඩි වැදුණු දෙදෙනකු වෑන් රථයේ දමාගෙන ළඟම රෝහල වෙත යාම වෙනුවට වෙඩි කාගෙන කොළඹට පැන යාමට උත්සාහ ගැනීමයි. එහිදී මරණීය තුවාලකරුවන් දෙදෙනකු ළඟම රෝහල වෙත රැගෙන නොගියේ ඇයි? වෙඩි කාගෙන ඉමදූව අධිවේගී පිවිසුමෙන් කොළඹට පැන යාමට උත්සාහ කළේ ඇයි? මේවා ඔළුව මඤ්ඤං කරන ප්‍රශ්න වුවත් සරලවම මෙය නීතියට පිටින් සිදු කළ ක්‍රියාවක් බැවින් කොළේ වසා ගේම ගහන්නට ගොස් වරද්දා ගැනීමක් බව පැහැදිලිය.
ඒ වනවිට වැඩ බලන පොලිස්පති වූයේ දේශබන්දු තෙන්නකෝන් මහතාය. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ද ඔහුය. කොළඹ අපරාධ කොට්ඨාසය පාලනය වූයේ ඔහු යටතේය. මේ වාතාවරණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සිවිල් ඇඳගත් පිරිසක් වෑන් රථයකින් ගොස් මේ දාපු සෙල්ලම කුමක්ද? පැහැදිලිවම එය මෙයම යැයි කීමට නොහැකි වුවත් W15 හෝටලයේ හිමිකරුට දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් සමඟ මරදාන ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් පැවති බවට කනින් කොණින් තොරතුරු ලැබේ. එහෙත් හේතුව 100% ක්ම එයද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් වැලිගම ගිය ගමන පිරිසුදු නැත.
මේ සිදුවීම පසුව අධිකරණය වෙත ඇදී ගියත් පසුගිය වසර එකහමාරක කාලය තුළ මෙහි පරීක්ෂණ කඩිනම් වූයේ නැත. කෙසේ වෙතත් අවසානයේ ගින්න ඇවිලී ගියේ 2025 පෙබරවාරි 27 දාය. මාතර මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර වහාම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබීය. එම නියෝගය නිකුත් කළ දිනයේ පටන් දේශබන්දු තෙන්නකෝන් අතුරුදන් විය. එපමණක් නොව අනෙක් පොලිස් නිලධාරීන් සොයා ගැනීමට නැත. අවසානයේ පොලිසිය මගින් පොලිස්පතිව සෙවීම මහා මෙහෙයුමක් බවට පත්වූයේ එලෙසය.
මේ අතර කාලයේ දේශබන්දු තෙන්නකෝන් ඔහුට හිතවත් ඇමැති කෙනකුගේ නිවෙසේ සිටින බව කියැවිණි. තවත් විටෙක පන්සලක සිටින බව කියැවිණි. මේ ආකාරයෙන් ඔහු සිටින තැන් ගැන නොයෙක් කතා පැතිරිණි. එහෙත් දේශබන්දු සොයාගන්නට පොලිසියට නොහැකි විය. කෙසේ වෙතත් නඩුව මාර්තු 11 දා කැඳවූ අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. අනතුරුව සැඟවී සිටි දේශබන්දු තම නීතිඥයන් හරහා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කරමින් තමාව අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර මහේස්ත්‍රාත් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙසට ඉල්ලා සිටියේය. මෙලෙස ක්‍රියා කළේ කිසිවෙක් නොව මේ රටේ පොලිසිය බාර පොලිස්පතිවරයාය. ඔහු නීතියට අවනත නොවී නීතියේ සිදුරුවලින් රිංගා යාමට සැලසුම් සකස් කරමින් සිටියේය. එහෙත් අභියාචනාධිකරණය ඊට එකඟතාවය පළ කළේ නැත. නීතියට අවනත විය යුතු, නීතියට ගරු කළ යුතු පොලිස්පතිවරයා වරෙන්තුවක් තිබියදී සැඟවී වරෙන්තුව බල රහිත කිරීමට ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය කරුණු පැහැදිලි කරමින් රිට් පෙත්සම විසිකර දැමීය. ඒ මාර්තු 17 දාය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් විය.
ඒ අනුව දේශබන්දු සිටින බවට සැක කෙරෙන ගම්පහ ප්‍රදේශයේ නිවාස රැසක් පරීක්ෂා කෙරිණි. ඔහුගේ කෝටිපති මිත්‍රයන්ගේ නිවාස ද ඒ අතර විය. එසේම විහාරස්ථාන ද විය. එහෙත් පුදුමය ඒ කිසිදු තැනක දේශබන්දු සිටියේ නැත. මේ අතර ආණ්ඩුවේ ජාම බේරා ගැනීමටත් පොලිසියේ ලැජ්ජාව වසා ගැනීමටත් අලුත් තර්කයක් ඉදිරිපත් විය. ඒ දේශබන්දුගේ දේපළ තහනම් කිරීමය. එසේ කටයුතු කිරීමට හැකියාවක් ඇත. ඒ වරෙන්තුකරුවන්ට අදාළවය. ඒ අනුව එම තර්කය අනුව කටයුතු කෙරිණි.
මේ අතර දින කිහිපයක් අතුරුදන් වී සිටි දේශබන්දුගේ බිරිඳත් පුත්‍රයාත් හදිසියේ ගෙදරින් මතු විය. පසුව ඔවුන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළත් ඔවුන් කීවේ දේශබන්දු ගිය තැනක් තමන් නොදන්නා බවය. මේ අතර 18 දා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දුට අයත් හෝකන්දර නිවෙස පරීක්ෂා කළේය. එම නිවෙස පරීක්ෂා කරන විට එහි තිබී විස්කි සහ වයින් බෝතල් 1000 කට අධික සංඛ්‍යාවක් ද, ඔහුගේ නිල ගිනි අවිය ද, දුරකතන දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ දේශබන්දුව අත්අඩංගුවට ගත්තා හා සමාන ප්‍රචාරයක් ද ලබා දෙමිනි.
ඊට පසුදින 19 දා උදෑසනම පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ දේශබන්දු එදින මාතර උසාවියට බාරවෙන බවය. ඒ අනුව කියූ පරිදිම දේශබන්දු උදෑසනම මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත් මහජන ආරක්ෂක ඇමැති පාර්ලිමේන්තුවේදී මහා පම්පෝරියක් ඇද බෑවේය. ඔහු දේශබන්දුගේ ගෙදරින් ලබාගත් බඩු ලැයිස්තුව කීවේය. එලෙස පම්පෝරි ගැහුවත් දේශබන්දුව අත්අඩංගුවට ගැනීමට නොහැකිවීමේ පරාජය නිහතමානීව බාර ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. එසේම හොඳ වෙලාවට දේශබන්දු බාරවුණු බවත් පැය කිහිපයක් ගියා නම් දේපළ තහනම් කරන බවත් කීය.
අවසානයේ දේශබන්දු බාර වුවත් නඩුව මෝසමක් මගින් නැවත කැඳවීම දහවල් 2 දක්වා කල් තැබිණි. එතෙක් දේශබන්දු අධිකරණයේ බංකුවක වාඩි වී සිටියේය. නැවත දහවල් දෙකට නඩුව කැඳවීය. විත්තිකරුගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයෝ ඇප ඉල්ලා සිටියහ. එහිදී මහේස්ත්‍රාත්වරයාට ඇප නොදී සිටීමට ඇප කොන්දේසි දෙකක් උල්ලංඝණය කළ යුතු බව ඔවුහු පැවසූහ. පළමුවැන්න නම් සැකකරු එළියට ගොස් සාක්ෂිකරුවන්ට තර්ජනය කරනු ඇති බවත්, දෙවැන්න විමර්ශන මගහරිමින් විමර්ශනවලට බාධා කරන්නේ නම් පමණක් ඇප ලබා නොදිය හැකි බවත්ය. කෙසේ වෙතත් විත්තිකරු යුක්තිය මෙහෙයුම හරහා සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති නිසා සැකකරුට තර්ජන එල්ල විය හැකි බැවින් බන්ධනාගාර ගත නොකරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියහ.
මේ අවස්ථාවේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් නැගී සිටියේය. (උපුටා ගැනීම බී.බී.සීය)
“ස්වාමීනී... අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට්වලින් සැරසී බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැලවීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම්දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාළු ගෙයි වළං බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට්වලින් සැරසිලා ඉදිරි පෙළේ බංකුවක වාඩි වී සිටියා. ස්වාමිනී මම අහන්න කැමැතියි මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ.
මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවකු උසාවියට එන්න ඕනෙ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවැනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සෙ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමුවැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා,” යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.
තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ”මේ සැකකරු පොලිස්පති ධුරයේ කටයුතු කරනකොට ප්‍රකාශ කර තිබුණා අපරාධකරුවන්ව ආරක්ෂා කරන්නේ නීතිඥවරු කියලා. එහෙම කියපු එයා අද නීතිඥවරුන්වත් වට කරගෙන උසාවියට ඇවිල්ලා ඉන්නවා. ස්වාමීනි... මේක W15 හෝටලයට වෙඩි තැබීමේ දඬුවම නෙවෙයි. මෙය කර්මය පඩිසන් දීමක් හැටියට සඳහන් කරන්න සිදුවෙනවා. දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ මොකක්ද කියලා මොහුට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක දැන් ඔහුගේ ඇස් පනාපිටම ප්‍රදර්ශනය වෙනවා. කරුමය තමයි ඔහුට මේ ආත්මයේදීම පල දීලා තියෙන්නෙ,” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේද පැවසීය.
“ස්වාමිනී.. මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබුණු ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කිහිපයේදීම මෙයා ගැන පොලිසිය නිලමේවරු, දේශපාලකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයොත් එක්කයි. මේ සැකකරුගේ නිවෙස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795ක් සොයාගෙන තියෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයා ගත්තා. හැම්පර් විතරක් එකසිය ගාණක් තිබුණා. රජයේ සේවකයන්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබාගත්තේ කොහොමද? මොහුගේ නිවෙස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසිම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. ඒත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා.”
මෙම සැකකරු “අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයකු” බවත් “සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක්” ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ, මොහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
(උපුටා ගැනීම අවසන්)
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් මහතාව ඊට පසුදින (20) දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය. ඔහුව රැගෙන ගියේ අඟුණකොළපැලැස්ස බන්ධානාගාරය වෙතය. 20 වැනිදා නඩුව නැවත කැඳවීය. ඒ සවස 2 ටය.
එදින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විවෘත අධිකරණයේදී පවසා සිටියේ තමන් අවසන් වරට මෙම නඩුව සඳහා අද දිනයේ පැමිණෙන බවත්, නැවත පැමිණෙන්නේ නැති බවත්ය. එසේම පොලිසියට සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත්, සැකකරු සැඟවී සිටින මොහොතේ භාවිත කළ විද්‍යුත් උපකරණ අධිකරණයට ලබා දෙන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ දිලීප පිරිස් වැදගත් කතාවක් කළේය. (උපුටා ගැනීම බිබීසී)
“ස්වාමිනී... මේ සතිය තුළ මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ඉවහල් වන ඉතා වැදගත් නඩු තීන්දු දෙකක් ප්‍රකාශයට පත් වුණා. ඒ ගැන අප සතුටු විය යුතුයි. අද මේ නඩුවට පෙනී සිටීම සඳහා මටත් විමර්ශන නිලධාරීන්ටත් අධිකරණයට පැමිණීමට සිදුවී තිබුණේ දැඩි ආරක්ෂක විධි විධාන මැදයි. ඒ සම්බන්ධයෙන් අප ලැජ්ජාවට පත්විය යුතුයි. මේවා අසමත් රාජ්‍යයක ලක්ෂණ. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහායි මා මේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නෙ.
මේ නඩුව කැඳවන අවස්ථාවේ උසාවි ශාලාවේ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ඇතුළු උසස් නිලධාරීන් ඇවිත් ඉන්නවා. ඔවුන් කළ යුත්තේ මාධ්‍යයට පේන්න මේ වගේ පැමිණීම නෙවෙයි. මේ අපරාධය පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරලා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තමයි ඔවුන්ගෙන් ඉටුවිය යුතු වැදගත්ම රාජකාරිය. ඒ වගේම මේ අපරාධයට වගකිව යුතු සැකකාර පොලිස්පතිවරයාටත් ඉහළින් සිටින පුද්ගලයන් පිළිබඳවත් සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
මේ නඩුවේ තවත් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තියෙනවා. ඔවුන්වත් නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් වගබලා ගත යුතුයි. අද මා මේ නඩුවට පෙනී සිටින අවසන් දිනයයි. මට රාජකාරි පැවරිලා තිබුණේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ පෙනී සිටීමට පමණයි. එම රාජකාරිය අදින් අවසන් වෙනවා. එම නිසා ඉදිරි කාලයේ මහේස්ත්‍රාත්තුමාගේ මගපෙන්වීම යටතේ මෙම නඩුවේ විමර්ශන නොපමාව සම්පූර්ණ කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විමර්ශන නිලධාරීන් වගබලා ගත යුතුයි,” යනුවෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය අමතමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් පැවසීය.
(උපුටා ගැනීම අවසන්)
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව ලබන 3 තෙක් බන්ධානාගාර ගත කරනු ලැබීය. එදින රාත්‍රියේ ඔහුගේ ආරක්ෂාව පතා බෝගම්බර බන්ධානාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මතය.
• ගයාන් ගාල්ලගේ