2025 මාර්තු 22 වන සෙනසුරාදා

සම්බා - කීරි සම්බා පාලන මිලට කොහේද තියෙන්නේ?

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:05 66

උත්සව සමය ආසන්න වනවිට යළිත් වරක් රටේ සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් දක්නට ඇත. ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි මත පළ වේ. ඇත්තවශයෙන්ම මෙය හිඟයක් නොව කෘත්‍රිමව ඇතිකළ තත්ත්වයක් බව දැනගන්නට තිබේ. සහල් සඳහා රජය පැනවූ උපරිම සිල්ලර තුට්ටුවකටවත් ගණන් නොගෙන වෙළෙඳුන් විසින් මෙම මිල ඉහළ නැංවීම සිදුකර තිබෙන බව අවබෝධ වෙයි. සහල් නිෂ්පාදනය සහ අලෙවිය මහා පරිමාණ වෙළෙඳුන් කිහිප දෙනකුගේ ග්‍රහණයට ලක්ව ඇති අතර මුළු වෙළෙඳපොළම පාලනය කරනු ලබන්නේ ඔවුන් විසින් බව දැකගත හැකිය.

මුලින් තිබූ කැකුළු සහල් සහ නාඩු සහල් හිඟය මේ වනවිට යන්තම් සමනය වී ඇති අතර අලුතෙන් එක්ව ඇති වෙළෙඳ මාෆියාව වන්නේ කීරි සම්බා සහ සම්බා සහල් හිඟයයි. සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා දෙගුණයකින් පමණ මේ වනවිට මේවායේ මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. මේ වනවිට කීරි සම්බා සහල් වෙළෙඳපොළෙන් අතුරුදන්ව ඇති අතර, කීයටවත් මිලදී ගැනීමට නොහැකි බව පාරිභෝගිකයෝ පවසති. වෙළෙඳපොළ තුළ යම් භාණ්ඩයක හිඟයක් ඇතිවූ වහාම එහි මිල ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වෙයි. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල කීරි සම්බා කිලෝව රුපියල් 400 දක්වා මිල ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ. එසේම සම්බා සහල් කිලෝවද රුපියල් 300 මට්ටම සඳහා ගෙතෙමින් පවතී.

කෙසේ වුවද රජය මෙලෙස සහල් මිල ඉහළ යාම පිළිබඳ අවදියෙන් සිටින්නේද යන්න ගැටලුවකි. ඒ ගැන කතා කරන වගකිවයුත්තෙක් නොමැති තරම්ය. මෙලෙස අසීමාන්තිකව සහල් මිල ඉහළ යාම පිළිබඳ සොයා බලා කඩිනමින් අවශ්‍ය පියවර නොගතහොත් තව සති දෙකකින් පැමිණෙන උත්සව සමයේදී පාරිභෝගිකයා විශාල අපහසුතාවකට පත්වීමට ඉඩ තිබේ. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව සැලකිය යුතුය.

කෘෂිකර්ම, ඉඩම් හා මහාමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසන්නේ ගොවියා ලාභ ලබන කෙනකු බවට පත් කිරීමට කටයුතු කරන බවය. පාරිභෝගිකයා ගැන කතා කිරීමට පෙර ගොවියා ගැන කතා කළ යුතු යැයි පසුගියදා හෙතෙම පැවසීය. “පසුගිය මහ කන්නයේ හාල් හදන්න යන වියදමට අඩුවෙන් වී විකුණන්න වුණාය කියලා ගොවියන්ගෙන් පැමිණිලි ආවේ නැහැ. වී විකුණන විට පාඩුය කියලා කියන ගොවියන් අද නැහැ.”

ඇමැතිවරයා එසේ පැවසුවද ගොවියාට සතුටුදායක මිලක් ලැබුණේ රජය නිසා නොව පෞද්ගලික මෝල් හිමියන් නිසා බව කිව යුතුය. ඒ අය එලෙස වී නොගත්තා නම් ගොවියාට “අබ සරණයි” කියනු විනා වෙනත් කියන්නට දෙයක් නොමැති වනවා ඇත. කෙසේ නමුදු පෞද්ගලික වෙළෙඳුන් නිසා ගොවියාට සිදුවූ වාසියේ “ක්‍රෙඩිට් එක” තමාට හරවා ගන්නට කෘෂි ඇමැති උත්සාහ ගන්නේ නම් එය හෙලා දැකිය යුතුය.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනුයේ සහල් තොග සහ සිල්ලර මිල කිසි ලෙසකින්වත් වෙනස් නොකරන බවය. සහල් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වෙනස් කළ බව සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශ කරමින් සහල් වැඩි මිලට විකිණීමට ඇතැම් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇත. සිල්ලර වෙළෙඳුන් මේ පිළිබඳ නිරතුරුව අධිකාරියෙන් විමසන අතර, අධිකාරිය තරයේ පවසන්නේ ගැසට් මගින් නියම කර ඇති සිල්ලර උපරිම මිල කිසි ලෙසකින් වෙනස් නොකළ බවය. ඒ අනුව කැකුළු කිලෝව රුපියල් 220, නාඩු 230, සම්බා 240 සහ කීරි සම්බා 260 ක් විය යුතු බවට අධිකාරිය නිවේදනය කරයි.

මේ මාර්තු 12 දින දක්වා වෙළෙඳසල් 5500 ක් පමණ විමර්ශනය කර වෙළෙඳුන් 1555 කට නීතිමය පියවර ගෙන ඇති අතර සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 462 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසල් 1004 ක් සහ සහල් සඟවා තැබූ වෙළෙඳුන් 89 ක්ද ඒ අතර වන බව අධිකාරිය කියයි.

► වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ අසාර්ථකයි

මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන්නේ මේ වනවිට සහල් මිල තීරණය කිරීමේ බලධාරීන් බවට පෞද්ගලික මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් පත්ව සිටින බවය. ගොවීන්ගෙන් වී මිලට ගැනීමට රජය පටන්ගත් වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ නිසා මිල පිළිබඳ තරගයක් ඇති කිරීමට වී අලෙවි මණ්ඩලය අසමත් වී ඇත. ඒ නිසා පෞද්ගලික අංශයට රටේ සහල් මිල තීරණය කිරීමට අවකාශ ලැබී ඇති බව පෙනෙන සත්‍ය බව ඔහු කියයි. “එහෙත් මෙහිදී ගොවියාට යහපතක් සිදුවුණා. ඒ තමා රජය ප්‍රකාශිත මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශයට සහල් අලෙවි කරලා වැඩි ආදායමක් ලබාගන්න හැකි වුණා. එය ගොවියන්ට සිදුවූ යහපතක්. ඒත් පාරිභෝගිකයාට මොකද වුණේ? පෞද්ගලික ව්‍යාපාරිකයන් නියම කරන මිලට සහල් ගන්න සිදු වුණා. ආණ්ඩුව ගැසට් මගින් සහල් මිල නියම කළාට වෙළෙඳපොළේ පවතින මිල එයට වඩා වැඩියි.

පෞද්ගලික මෝල් හිමියන් සහල් මිල නියම කරන්නේ තමුන් ගත් වී වල මිලට සාපේක්ෂවයි. ඔවුන් විශාල මුදලක් යට කරලා වී මිලට ගන්නේ වැඩි මිලට අලෙවි කරලා ලාභයක් ලබන්නයි. එහෙම නැතිවුණොත් ඔවුන්ට ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙනවා. සමස්ත දකුණු ආසියාවේම සහල් මිල නියම වෙන්නේ වී මිල වගේ දෙගුණයකටයි. අපේ රටෙත් එයට සමාන තත්ත්වයකට තමා මිල නියම වෙන්නේ. රජය බලාපොරොත්තු වුණේ අලෙවි මණ්ඩලයේ ගබඩාවලට වී මිලට ගෙන ගබඩා කර තබලා වෙළෙඳපොළේ මිල ඉහළ ගියහොත් මුදාහැරීමටයි. එහෙත් වී අලෙවි මණ්ඩලයට වී මිලට ගත නොහැකිවීම නිසා සහල් මිලට බලපෑම් කරන්න බැරිවෙලා තියෙනවා.

අනිත් අතට සහල් මිල රජය ගැසට් කරලා තිබුණට වී මිල ගැසට් කරලා නැහැ. ඒ නිසා අවශ්‍ය මිලට වී ගන්න තහනමක් නැහැ. එහෙත් වී මිල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වුණත් ඒ මිල ප්‍රායෝගික නැහැ. රුපියල් 120 ට වී ගත්තද රුපියල් 230 ට සහල් දෙන්න බැහැ. ඒ නිසා වී මිලට ගන්න වැය වූ මිලට සමානුපාතිකව තමා සහල් අලෙවි කරන්නේ. එයට බලපෑම් කරන්න රජයට බැහැ. වී මිල සහ සහල් මිල තීරණය කිරීමේදී රජය එයට අදාළ කරුණු ගැන සැලකිලිමත් වුණා යැයි හිතන්න අමාරුයි.

සහල් මිල උත්සව සමයේදී ඉහළ ගියහොත් පසුගිය වර මෙන් ආනයනය කරන්න සිදුවේවි. ඒ මොකද රජය ළඟ තොග නැති නිසා. කොහොම වුණත් අද පවතින තත්ත්වය අනුව ඉදිරියේදී සහල් මිල ඉහළ යන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවට පුළුවන් ගැසට් කළ මිල තරයේම අනුගමනය කළ යුතු බවට වෙළෙඳුන්ට බලපෑම් කිරීමට. එහෙත් එය ප්‍රතිඵලදායකද කියලා කියන්න අමාරුයි. වැඩි මිලට අලෙවි කරන ස්ථාන වැටලීමෙන් හා උසාවියට දාලා දඩ ගැසීමෙන් මෙය ඉවරයක් කරන්න බැහැ. කතාවක් තියෙනවා හාල් යන්නේ වෙළෙඳසල්වල ඉස්සරහ දොරෙන් නොව පිටුපස දොරෙන් කියලා.

කොහොම වුණත් මුදලාලිලාට සහල් තොග දිගටම ගබඩා කර තබාගන්න බැහැ. හැමදාම විශාල මුදලක් යට කරලා බලා ඉන්න බැහැ. ඒ නිසා තමන් ළඟ ඇති තොග ප්‍රමාද නොවී අලෙවි කළ යුතුයි. අලුතින් මිලට ගන්නා වී ගබඩා කිරීමටත් ඉඩ අවශ්‍ය වෙනවා. රටේ ප්‍රධානම සහල් මෝල්කරුවා දිනකට සහල් කිලෝ ලක්ෂ 4 ක් වෙළෙඳපොළට මුදාහරිනවා. දිනකට අපට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6500 යි. කිලෝ ලක්ෂ 65 යි. (6500x1000=65) ප්‍රධාන මුදලාලිලා කිහිප දෙනා ලක්ෂ 4 බැගින් නිකුත් කළත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණයට සෑහෙන්නේ නැහැ. කොහොම වුණත් ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවීමට කටයුතු කළ යුතු වෙනවා. මෙහිදී මෝල් හිමියන්ට තර්ජනය කර නීති දමා මෙය කරන්න බැහැ. සාකච්ඡා කර තීරණයකට එළැඹිය යුතුය. රජයට වෙළෙඳපොළට බලපෑම් කරන්න බැරි නිසයි සාකච්ඡාවෙන් විසඳාගත යුත්තේ. සිදුවෙන්නේ මොකක්ද කියල ඉදිරියේදී බලා සිටීමට සිදුවෙලා තියෙනවා.”

► මේක වී මිල අඩුවීම ගැන පමණක් අර්බුදයක් නොවේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් 75 දෙනකුගේ සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි මාසයේ අවසන් සතියේ මහවැලි කලාපයේ ගිරාදුරුකෝට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල දින තුනක ක්ෂේත්‍ර පරීක්ෂණයක් සාර්ථකව සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ බරපතළ ලෙස උද්ගත වී ඇති සහල් ගැටලුව හුදෙක් මිල පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. එයට බාහිර වශයෙන් හේතු ගණනාවක් මෙම අර්බුදයට බලපා ඇති බව ඔහු කියයි. ඒ සියල්ලටම විසඳුම් සෙවීම මෙහිදී ඉතා වැදගත් බව ඔහු පවසයි. ඔහු මෙසේද කියයි.

“බත් කියන්නේ අපේ රටේ ප්‍රධාන ආහාරය. මෙවර සහල් මිල වෙන කවරදාටත් වඩා ජනතාවට දරාගන්න බැරි තත්ත්වයට පත්ව තියෙනවා. එසේම අනිත් පැත්තෙන් ගත්තොත් සහල් මිලට සාපේක්ෂව වී වලට හොඳ මිලක් ගොවියාට ලැබුණේ නැහැ. මෙතැනදි පැහැදිලිව පෙනෙනවා යම් ආකාරයක නොගැලපීමක් තිබෙන වග. මේ නොගැලපීම නිසා තමයි වී මිල අඩුවෙලා සහල් මිල වැඩිවෙලා තියෙන්නෙ. මෙහිදී රටට අවශ්‍ය සහල් රටේ නිෂ්පාදනය වෙන්නේ නැතිද? එහෙම සිදුවෙනවා නම් එතැන ගැටලුවක් තියෙනවා.

රටේ විශාල කුඹුරු ප්‍රමාණයක් තියෙනවා. වාරිමාර්ග පහසුකම්වලට විශාල මුදලක් වැය වෙලා තියෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතියට අපි විශාල වශයෙන් ණය වෙලා තියෙනවා. මෙතරම් මුදලක් ආයෝජනය කරලත් ඊට සරිලන ආකාරයේ වාසියක් ජනතාව අතට ගිහින් නැහැ. මේ සල්ලි කොහේ හරි තැන්පත් වෙලා තියෙනවා. ගොවියාට හෝ පාරිභෝගිකයාට වාසියක් අත්වෙලා නැහැ. ඔවුන්ට මේ ණය සඳහා බදු මුදල් වශයෙන් වක්‍රාකාරව ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඒත් පාරිභෝගිකයාට වැඩි මුදලකට සහල් ගන්න සිදුවෙලා තියෙන අතර ගොවියාට අවම මිලකට අස්වැන්න අලෙවි කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ නොගැලපීම නැති කළ යුතුයි.

අපේ පර්‌යේෂණවලින් පෙනී ගොස් තියෙන්නේ මෙය වී මිල අඩුවීම ගැන පමණක් වූ අර්බුදයක් නොවන බවයි. එයින් ඔබ්බට ගිය කරුණු තියෙනවා. වකුගඩු රෝග වැනි රෝග බෝවීමද මේ වී වගාවට සම්බන්ධයි. මේ ප්‍රදේශවල විශාල ලෙස වකුගඩු රෝගීන් දක්නට ලැබෙනවා.

අනිත් අතට රජය හා ගොවියා අතරේ ඇති දුරස්ථභාවය විශාලයි. ඔවුන්ගේ අවශ්‍යතා රජය හඳුනාගෙන නැහැ. මෙච්චර දේවල් කරලත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය නොවේ නම් එය විශාල ගැටලුවක්. අපේ තියෙනවා කෘෂිකර්ම පර්යේෂණ ආයතන. කෘෂිකර්ම අමාත්‍යංශයක්, දෙපාර්තමේන්තුවක් තියෙනවා. සහල් පිළිබඳ දත්ත මේ එකම තැනකවත් නිවැරදිව නැහැ. මේ වනවිට අවම වශයෙන් 2030 වසර දක්වාවත් සැලසුම් තියෙන්න ඕනෑ කොතරම් සහල් අවශ්‍යද කියලා. ඒත් නැහැ. මෙහිදී අප දුටු විශේෂම දෙයක් තමයි එහෙම ගොවීන් සමඟ සම්බන්ධ වෙන රාජ්‍ය ආයතන ක්‍රමවේදයක් රට තුළ නොමැති වීම.

රජය හා පෞද්ගලික අංශයේ වී මිලට ගැනීමේ ක්‍රමවේද දෙකක් දක්නට ලැබෙනවා. රජය තෙත වී මිලට ගන්නේ නැහැ. ආපසු හරවා යවනවා. ඒත් පෞද්ගලික වෙළෙඳුන් ළඟට ඇවිත් අත්පිට මුදල් දීලා තෙත වී මිලට ගන්නවා. රට පුරා ඇති වී පිළිබඳ සංගණනයක් ගන්න අවශ්‍ය නිලධාරීන් ඕනෑතරම් ඉන්නවා. එය නොකර රජය කරන්නේ පෞද්ගලික වෙළෙඳුන් අධෛර්යමත් කරලා රජයට වී දෙන්න කියන එක. ඒක හරියන ප්‍රතිකර්මයක් නෙවෙයි. මේ අනවශ්‍ය බලපෑම් නිසා තමයි සහල් මිල දිගටම වැඩි වෙමින් යන්නෙ.”

• යසවර්ධන රුද්රිගු