ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන ‘‘කොන්ඩේ නාස්ට් ට්‍රැවලර්’’ හෙවත් සී.එන්. ට්‍රැවලර් සඟරාව 2025 මාර්තු කලාපයේ 2025 වසරේ පවුලකට එක්ව සංචාරය කළ හැකි ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ‘‘කොන්ඩේ නාස්ට් ට්‍රැවලර්’’ (Condeé Nast Traveler) සංචාරක ව්‍යාපාරය සඳහා වෙන් වූ සඟරාවක් මෙන්ම, වෙබ් අඩවියක් ද පවත්වාගෙන යයි. එය විචක්ෂණශීලී, යාවත්කාලීන, නිවැරදි සහ ප්‍රායෝගික සංචාරක තොරතුරු ලබා දීම සඳහා ප්‍රකටය.
ඔවුන් ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තය ලෙස නම් කර ඇත්තේ රටවල් 82 ක, නිර්ණායක 24 ක් සලකා බලමිනි. ස්වීඩනය සහ නොර්වේ රාජ්‍ය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලෙස නම් කර තිබේ. පළමු ස්ථාන 10 ට අයත් එකම ආසියානු රට ශ්‍රී ලංකාවය. නවසීලන්තය, අයිස්ලන්තය, ජර්මනිය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව පළමු ස්ථාන 10 අතර සිටියි.
තම පවුලත් සමඟ වෙනත් රටකට සංක්‍රමණය වීමේදී රටේ සංස්කෘතිය, රැකියා සොයා ගැනීමට ඇති හැකියාව, ප්‍රවාහන පහසුකම් වැනි කරුණු රාශියක් සලකා බැලිය යුතු වන අතර අදාළ රාජ්‍යයේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳව ද සොයා බැලිය යුතු යැයි එම සඟරාව සඳහන් කරයි. ජෛව විවිධත්වය, ජාතික වන උද්‍යාන, සුන්දර වෙරළ තීර, තේ වතු, සහ ආහාර පාන මෙන්ම සාප්පු සවාරි සඳහා ද ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ බවද එම සඟරාව සඳහන් කරයි.
රජය, අධ්‍යාපන ක්‍රමය සහ ළමා රැකවරණය සඳහා ශ්‍රී ලංකාවට ඉහළම ලකුණු හිමි වී ඇති අතර පවුල් වශයෙන් සංචාරය කිරීමට ඉතාමත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.
කොන්ඩේ නාස්ට් තම ශ්‍රේණිගත කිරීම් සඳහා ප්‍රධාන සාධක ලෙස එම රටේ සංචාරකයන් පිළිගැනීමේ ස්වභාවය, එළිමහන් ක්‍රියාකාරකම් සහ එහි පවුල් හිතකාමී හෝටල් පිළිබඳව ද සොයා බලයි. ශ්‍රී ලංකාවේ මිල ගණන් දැරිය හැකි වන අතර පවුලේ නිවාඩු සඳහා වඩාත් සුදුසු ආකර්ශනීය ස්ථාන රාශියක් ඇති බවද එමගින් තහවුරු කර ඇත.
“ශ්‍රී ලංකාව දුෂ්කර කාලයකට මුහුණ පා ඇත. නමුත් කඳුළු බිඳුවක් බඳු මෙම දිවයින නැවත නැගී සිටියි. එය දැන් නැවතත් හිරු එළියෙන් පිරුණු ගමනාන්තයක් ලෙස ඉදිරියට පැමිණ ඇත. ලොව හොඳම හෝටල් සහිත ශ්‍රී ලංකාව ආකර්ශනීය වෙරළ තීර, සන්සුන් කඳුකර ප්‍රදේශ සහ පුරාණ නටබුන් වශයෙන් විවිධත්වයක් ගන්නා අතර අලි ඇතුන්, දිවියන් සහ බොහෝ පක්ෂීන්ගෙන් පිරී ඇති අපූරු ජාතික වනෝද්‍යාන ද ඇත. කෙසේ වෙතත්, එය සුන්දර ස්ථාන පිළිබඳව පමණක් නොව සුපිරි ආගන්තුක සත්කාරයට ලැදි, කරුණාවන්ත සහ මිත්‍රශීලී ජනතාව ද සිටින රටකි. ප්‍රසිද්ධ ‘සිලෝන් ටී’ තේ කෝප්පයක් මෙන්ම ඉතා රසවත් කුළුබඩු සහිත ආහාර ද භුක්ති විඳිය හැකිය.
ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට බොහෝ ස්ථාන ඇත. බොහෝ විට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කර ඇති හෝටල් තුළ ඇත්තේ නූතනවාදී නිවර්තන පෙනුමකි. බොහෝ දේ වෙනස් වෙමින් පවතින අතර පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ නව හෝටල් කිහිපයක්ම ඉදිවී ඇත. ආගන්තුක සත්කාරයේ සීමාවක් නොමැති තරම්ය. කොළඹ යනු ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් වෙනස් වන අගනුවර වන අතර එහි අපූරු කෝපි අලෙවිසල්, අලංකාර ගැලරි සහ සුන්දර සාප්පු සංකීර්ණ රැසක් ඇත. ඔබේ නිවාඩුව දකුණු වෙරළ තීරයේ ද ගත කළ යුතුය. එහිදී මනරම් වෙරළ තීර, මුහුදු වෙරළ ආදිය, රසවත් ආහාර පාන සහ උණුසුම් කාලගුණය භුක්ති විඳිය හැකිය. වෙරළ තීරයේ මෙන්ම ඉන් ඔබ්බෙහි ද ආකර්ශනීය හෝටල් ඇත. වෙරළ තීරය වටා යන්න, එවිට ඔබට දිවියන් බහුල යාල ජාතික වනෝද්‍යානයේ අපූරු නවාතැන් සොයාගත හැකිය. ඔබේ නිවාඩුව කෙටි නොවේ නම් වෙරළ තීරය මෙන්ම කඳුකර ප්‍රදේශය ද නරඹන්න. බෞද්ධාගමේ වඩාත්ම පූජනීය සිද්ධස්ථානවලින් එකක් වන පූජනීය දළදා මාලිගාව ඇත්තේ මහනුවරය. දිවයින මධ්‍යයේ ඔබට සංස්කෘතික ත්‍රිකෝණයත් අසාමාන්‍ය සීගිරි පර්වතය සහ පුරාණ ස්මාරක රාශියක් ද දැකගත හැකිය. දෙසැම්බර් සිට අප්‍රේල් මැද දක්වා සංචාරය කිරීමට සුදුසු කාලය ලෙස සැලකේ. එය නිවර්තන රටක් බැවින්, පැහැදිලි තෙත් සහ වියළි සෘතු ඇත, නමුත් වැසි සමයේ වුවද දිවයිනේ ඇතැම් ප්‍රදේශ හිරු රැසින් බබලයි. මැයි සහ අගෝස්තු අතර නිරිතදිග මෝසම් සමයේදී සහ නොවැම්බර් සිට ජනවාරි දක්වා නැගෙනහිර වෙරළ තීරයට සහ සංස්කෘතික ත්‍රිකෝණයට බලපාන ඊසානදිග සමයේදී කාලගුණය වඩාත් අනපේක්ෂිත වේ. දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය හොඳම සංචාරක සමය ලෙස සලකනු ලබන බැවින් ශ්‍රී ලංකාවේ හොඳම හෝටල්වල මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇත.” යනුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
2024 වසරේ එම සඟරාව ශ්‍රී ලංකාව නම් කර තිබුණේ 7 වැනි ස්ථානයටය. පාඨක ඡන්දය අනුව එවර පළමු ස්ථානයේ සිටියේ කොස්ටාරිකාවයි.
මෙම සඟරාව සෑම වසරකම පැවැත්වෙන Condeé Nast සංචාරක පාඨක සම්මාන ඇතුළු සම්මාන කිහිපයක් පවත්වයි. එමෙන්ම Readers' Spa Awards, වඩාත්ම සුඛෝපභෝගී හෝටල් (The Gold List) සහ හොඳම නව හෝටල් (The Hot List) සඳහා සම්මාන ප්‍රදානය කරයි.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා